පසුගිය රජයේ ණය ගෙවීමට හැකි වන සේ ආර්ථිකය හැසිරවීමට හැකි වුණා | දිනමිණ

පසුගිය රජයේ ණය ගෙවීමට හැකි වන සේ ආර්ථිකය හැසිරවීමට හැකි වුණා

පසුගිය රජය සමයේ ලබා ගෙන ඇති ණය ගෙවීමට හැකි වන පරිදි රටේ ආර්ථිකය හැසිරවීමට මේ වන විට රජයට හැකි වී ඇතැයි ද රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ණය පියවීමට වැය වන අතර, ඉතිරි කොටස සංවර්ධනය සඳහා යොදවන බව ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය මුදල් කෙසේ හෝ අය-වැයෙන් ලබාදීමට රජයට හැකි වී ඇතැයි ද එම විශාල ණය ප්‍රමාණය ගෙවීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ඇති කර ගනිමින් ඉදිරියට යන අතර, එය ගෙවා දැමිය හැකි බව රජයේ විශ්වාසය යැයි ද වික්‍රමසිංහ මහතා කීය.

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (30) ගොඩකවෙල, රංවල, කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.

එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

රංවල ප්‍රදේශයට රත්තරන් නැටුම් කණ්ඩායමක් තිබෙන බව මම මුලින්ම කියන්න කැමතියි. මට රංවල හුරුපුරුදු ප්‍රදේශයක්. ඇල්ෆ්ර්ඩ් කුලරත්න මැතිතුමා මම හොඳින් හඳුනා ගත්තේ 1973 – 74 කාලයේ දී අතුරු මැතිවරණ සඳහා අප එක කණ්ඩායමක් ලෙස කටයුතු කරන විටදීයි. කුලරත්න මැතිතුමා 1965 – 70 කාලයේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුවේත්, 1977 න් පසුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේත් හොඳින් කටයුතු කළ දේශපාලනඥයෙක්.

එකල පඬුවස්නුවර පැවැති වප්මඟුල් උත්සවයකට මමත්, කුලරත්න මැතිතුමාත්, නන්ද මැතිව් ඇමැතිතුමා සහ හිටපු ආණ්ඩුකාරතුමාත් සහභාගි වූ අයුරු මට මතකයි. ඒ කාලයේ අප කටයුතු කළේ එක කණ්ඩායමක් ලෙසයි. අපි මේ සුන්දර ග්‍රාමීය ප්‍රදේශයට පැමිණ කුලරත්න මහතාගේ නිවෙසින් නිවී සැනසිල්ලේ තේ කෝප්පයක් බීමට පුරුදුව සිටියා. මම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස එදා රංවල ආසනයේ පැවැති උත්සවයට සහභාගි වීමෙන් පසුව උදාගම්මාන ව්‍යාපෘතියටත් අලුත් සංගීතයක් ලැබුණු බව මට මතකයි.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේ දී අධික වර්ෂාව මධ්‍යයේත් මම වැලිගෙපොළ ප්‍රදේශයට පැමිණියා. එහිදීත් මම මේ රංවල ප්‍රදේශය පිළිබඳව මතක් කළා. කුලරත්න මහතාගෙන් පසුව එදා අපට තේ පැන්වලින් සංග්‍රහ කළ කුලරත්න මැතිනිය මේ නිවෙස ළමා නිවාසයට පරිත්‍යාග කළා. ඉන් අවුරුදු 25 කට පසුව මට නැවත මෙහි පැමිණීමට අවස්ථාව ලැබී තිබෙනවා. එම නිසා මම පළමුව මේ ළමා නිවාසයේ පාලක මණ්ඩලයට ස්තුතිය පළ කරනවා.

පසුගිය වසරේ දී මේ ළමා නිවාසයේ ශිෂ්‍යාවක් විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලබාගත් බව අපේ පළාත් සභා ඇමැතිවරයා මට පැවසුවා. එවැනි දක්ෂ ශිෂ්‍යාවන් සහ රැකියා කරන තරුණියන් ද මෙහි සිටිනවා. එවැනි ස්ථානයක් ඉතා හොඳින් පාලනය කරන මේ පාලක මණ්ඩලය මේ පළාතට ගෞරවයක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ළමා නිවාසවල විවිධ ප්‍රශ්න ඇති වුණත් මේ ළමා නිවාසයේ එවැනි ගැටලුවක් ඇති වී නැහැ. මා එය අගය කරන අතර, එම තත්ත්වය ඉදිරියටත් ආරක්ෂා කර ගනීවි යැයි මාගේ බලාපොරොත්තුවයි.

සෝමා ජයවර්ධන මැතිතුමා මගෙන් එක් ඉල්ලීමක් කළා. ඒ මේ ළමා නිවාසයට ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසයි. ගොඩනැගිල්ලක අවශ්‍යතාව පිළිබඳව මම ද කල්පනා කළා. හේෂා මන්ත්‍රීතුමා මට ඒ පිළිබඳ අවශ්‍ය තොරතුරු පාර්ලිමේන්තුවේ දී ලබා දෙන්න. ඒ අනුව කටයුතු කරමින් එම ගොඩනැගිල්ල ලබා දෙන බව මම කියන්න කැමතියි. මෙතරම් විධිමත්ව වැඩ කටයුතු සිදු කරන මේ ළමා නිවාසයට අපි යම් උදවුවක් කළ යුතුයි. එමෙන්ම මගේ පැරැණි මිත්‍ර හැරල්ඩ් කුලරත්න මැතිතුමා සහ ඉන් පසුව සිටි තිස්ස සිල්වා මැතිතුමා වෙනුවෙනුත් එම උපකාරය මා සිදු කරන බව කියන්න කැමතියි.

රජයක් ලෙස මෙලෙස අපි හැකි සෑම අවස්ථාවකදීම අදාළ අංශවලට උදවු උපකාර කරනවා. හැකියාවක් තිබේ නම් මීටත් වඩා මුදල් ප්‍රතිපාදන ලබා දීමට මා කැමතියි. නමුත් ඒ සඳහා අපට විශාල ගැටලුවක් ඇති වී තිබෙනවා. එය රජයටත්, පළාත් සභාවටත්, සියලුම දෙනාටත් බලපානවා. මේ රටේ ආර්ථිකය අතීතයේ ගත් ණයවලට යට වී තිබීම ඊට හේතුවයි. අසාමාන්‍ය ණය ගැනීම නිසා සාමාන්‍ය පුද්ගලයකු වූවා නම් සිය දිවි නසා ගන්නවා. නමුත් රටකට එම ඉරණම අත්විය යුතු නැහැ. අපි ආරම්භ කළේ කෙසේ හෝ මේ රට සංවර්ධනය කිරීමේ කාර්යයයි.

අපේ රටේ විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 3600ක්. දේශීය ණය ප්‍රමාණය පැවසුවොත් ඔබ සියලු දෙනා මේ ස්ථානයේ සිහි නොමැතිව ඇද වැටේවි. මේ සියල්ල අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම ණය ප්‍රමාණයෙන් වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ 2026 වසර දක්වායි. අවසාන ණය ප්‍රමාණය ගෙවීමට සිදු වන්නේ 2038 වසරේදීයි. එවැනි අති විශාල ණය ප්‍රමාණයක් අපට ගෙවීමට සිදු වෙනවා. මේ සියල්ල විදේශ ණය පමණයි. ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය ගැන පවසා ඔබව බියවැද්දීමට මා අපේක්ෂා කරන්නේ නැහැ.

රටක් ලෙස අප පියවා ගැනීමට නොහැකිව ණය බරට යට වුවහොත් ජාත්‍යන්තරයේ වහලුන් බවට පත් වෙනවා. එම නිසා මේ ණය පියවීමට සිදු වෙනවා. අපි සෑම උත්සාහයක්ම දරන්නේ ඒ ණය පියවීමටයි. එම විශාල ණය ප්‍රමාණය ගෙවීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ඇති කර ගනිමින් අප ඉදිරියට යන අතර එය ගෙවා දැමිය හැකි බව අපේ විශ්වාසයයි. ණය පියවීම ජාතික ප්‍රශ්නයක් නිසා අප පළමුවෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කර ගැනීමට කටයුතු කළා. ඉන් පසුව එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක් වී ජාතික ආණ්ඩුවක් ඇති කර ගත්තා. දැන් අපට ණය බරින් මිදීමට හැකි වෙනවා.

එම ණය ප්‍රමාණය වීමට හැකි වන පරිදි රටේ ආර්ථිකය හැසිරවීමට මේ වන විට අපට හැකි වී තිබෙනවා. රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ණය පියවීමට වැය වන නිසා ඉතිරි කොටස සංවර්ධනයට යෙදවීමට සිදුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් කෙසේ හෝ අය-වැයෙන් ලබාදීමට අපට හැකි වී තිබෙනවා. ගම්මාන සංවර්ධනයට, සෞඛ්‍ය, අධ්‍යාපනය දියුණු කිරීමට, මෙවැනි ගොඩනැගිලි ආදිය ලබා දීමට, තරුණ නිපුණතා සංවර්ධනයට අප මුදල් ලබා දෙනවා. නමුත් අපට අවශ්‍ය පරිදි මුදල් ලබාදීමට නොහැකි වීම පිළිබඳව කනගාටු වෙනවා.

ණය පියවීමට අපහසුම වර්ෂ ලෙස හඳුනාගෙන තිබෙන 2017 සහ 2018 වැනි වර්ෂයන්වල දී වුවත් අවශ්‍ය මුදල් සොයා ගනිමින් රට ඉදිරියට ගෙන යනවා. ඒ අතරතුර රට සංවර්ධනය කිරීමත් සිදු කරනවා.

විවිධ රටවලට ගොස් විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට පෙළඹෙන ආකාරයට ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රසාදයක් ජාත්‍යන්තරය තුළ ඇති කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, මටත් සිදුව තිබෙනවා.

ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරුන්ගේ කාලයේ විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනය කර හෝටල් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමෙන් පසුව අපේ රටේ විශාල සංවර්ධනයක් ඇති වුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ දී ඇඟලුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට මා මේ ප්‍රදේශයටත් පැමිණ තිබෙනවා. නමුත් යුද්ධය හේතුවෙන් එදා ආරම්භ වූ දියුණුව නැති වී ගියා. නැති වී ගිය දියුණුව නැවත රට තුළ ඇති කිරීමට කාලය එළැඹ තිබෙනවා. නමුත් ඊට පෙර අප ණය බරින් නිදහස් විය යුතුයි. ඔබේ මහජන මුදල් හරහා ඇති වන ආදායම ණය පියවීමට යොදවන අතර විදේශ ආයෝජන හරහා මෙරට විශාල දියුණුවක් ඇති කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

රුහුණු ආර්ථික කලාපය ඇති වී හම්බන්තොට වරාය චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමකට බාර දීමෙන් පසුව මේ ප්‍රදේශයට රැකියා අවස්ථා දහස් ගණනක් ඇති වෙනවා. ඉදිරියේ දී මේ ප්‍රදේශයට තෙල් පරිපහදු මධ්‍යස්ථානයක් ද ගෙන එනවා. අතීතයේ ඉන්ධන පිරවුම්හලක්වත් නොමැතිව තිබූ මේ ප්‍රදේශයට එවැනි විශාල සංවර්ධනයක් දැන් ඇති කිරීමට අප බලාපොරාත්තු වෙනවා.

නමුත් මේ සියල්ලටම පෙර විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිදු වන බව අප මතක තබා ගත යුතුයි. එම ණය බර ජනතාවගේ හිස මත පැටවිය නොහැකි නිසා කෙසේ හෝ ජනතාවට බරක් නොවන ලෙස එම ණය පියවීමට අප කටයුතු කරනවා. ජනතාවට බර පැටවීමේ සීමාවක් තිබිය යුතුයි. එබැවින් ඊට අවශ්‍යය මුදල් අප සොයා ගත යුතුයි. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දිය යුතු වෙනවා. ඔවුන්ට ණය බරක් සමඟ ජීවිතය ආරම්භ කිරීමට ඉඩ දිය යුතු නැහැ. රට වෙනුවෙන් රජයකට කළ හැකි සේවයක් ලෙස සලකා අප එම ණය පියවීමට කටයුතු කරනවා.

අපට අවශ්‍ය වන්නේ තවදුරටත් ණය ලබා ගැනීම නොවෙයි. මෙවැනි ප්‍රදේශවල අධ්‍යාපනය දියුණු කිරීමටයි. අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය දැන් අනිවාර්ය කර තිබෙනවා. ජාතික සහ පළාත් සභාවල පාසල්වලට ගුරුවරුන් සහ මුදල් ලබා දිය යුතුයි. අප අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අධ්‍යාපනය වන අතර, අනෙක් අංශය මහජන සෞඛ්‍යයයි. අපට ඖෂධ මිල පාලනය කිරීමට හැකි වුණා. දියුණු රටක් ලෙස ඉදිරියට යාමට රටට අයිතියක් තිබෙනවා. ගමේ ජනතාවට හොඳ අනාගතයක් ඇති කර දීමට දේශපාලනඥයන් ලෙස අපට වගකීමක් තිබෙනවා. දක්ෂ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට අපට වගකීමක් තිබෙනවා.

මේ සියල්ල සිදු කිරීමට නම් අපේ රට දියුණු කළ යුතුයි. අතීතයේ රංවලට පැමිණි අවස්ථාවක අප කතා කළේත්, උදාගම, මහවැලි ව්ය්‍යාපෘතිය ආදිය හරහා මේ රට දියුණු කරන්නේ කෙසේ ද යන්න ගැනයි. එවැනි විශාල වැඩ සටහනක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එකතු වී අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ණය ගෙවීමට තිබුණේ නැහැ. නමුත් අප ණයත් ගෙවමින් සංවර්ධනයත් ඇති කරමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපට සහයෝගය දක්වන ලෙස බාල, මහලු, වැඩිහිටි ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා. මේ ළමා නිවාසයේ සිටින ශිෂ්‍යාවන්ට හොඳ අනාගතයක් ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා යැයි ද අගමැතිවරයා කීය. 

අදහස් 2ක් ඇත

ඔබ ණය සහ ණය ගෙවීමට අරමුදල් සෙවිය යුතුද? ඔබ නොගෙවන ලද බිල්පත් සමඟ ගැටලු ඇතිව සිටිනවාද? යන්න හැරිය යුතුද? ඉක්මන් ණය ණය අරමුදල පහත දැක්වෙන ආකාරයේ ණය සපයනු ලබයි * ණය සම්බන්ධීකරණ ණය * පඩේජ් ණය ව්යාපාර ණය *පෞද්ගලික ණය නිවාස ණය * කාර් මුදල් * ගොවි ණය කොමර්ෂල් ණය * ආයෝජන ණය ණය මුදල ආපසු ගෙවීමට 3% ක අඩු පොලී අනුපාතයක් සහ ණය වසර 1 සිට 20 දක්වා ණය ලබා දෙනවා. ඔබේ මූල්ය ගැටළුවලට විසඳුමක් සඳහා ඔබ ඉක්මනින් අප සමඟ සම්බන්ධ විය යුතුය. හරහා විද්යුත් [email protected]

පොලී අනුපාතය අඩුු ණය මුදලක් ලබාගත හැකිනම් මෙම ණය මුදල පියවීමට ගැටළුවක් නැත . මාසික ව ලැබෙන වැටුප මගින් බැංකුවට එම ණය පියවීම සිදුකළ හැකිය

නව අදහස දක්වන්න