බොලිවුඩයේ හිටියානම් ශානිට වෙන දේ | දිනමිණ

බොලිවුඩයේ හිටියානම් ශානිට වෙන දේ

බොලිවුඩයේ හිටියානම් ලෝක ප්‍රසිද්ධ වෙන්න තිබුණා

ශානිකා බණ්ඩාර

ඇය මේ දිනවල තිරගත වන රබීන් චන්ද්‍රසිරිගේ පටීභාන සිනමාපටයේ ලතා නම් වූ ප්‍රධාන නිළි භූමිකාවට පණ පොවන්නියයි. ටෙලි නිර්මාණ ගණනාවකින් සිය දක්ෂතාවය මනාව විදහාලූ මේ සුරූපිණිය නමින් ශානිකා බණ්ඩාර වේ.

ශානිකා පටීභාන සිනමාපටය ඔබට විශේෂයි නේද? ඒ ගැනයි මං මුලින්ම ඔබෙන් අහන්නේ?

මං සිනමාවට සම්බන්ධ වුණේ සිරි දළදාගමනය සිනමාපටය හරහා. මං එහි ප්‍රධාන චරිතයක් නෙවෙයි රඟපෑවේ. නමුත් පටීභානහි තමයි මං හා හා පුරා කියලා ප්‍රධාන චරිතයකට ජීවය දුන්නේ. මට ඒ හින්දා හරිම සුවිශේෂියි එම චිත්‍රපටය.

සාමාන්‍යයෙන් නව පරපුරේ නිළියකට නොලැබෙන අවස්ථාවක් ඔබට පටීභාන හරහා ලැබුණේ?

ඒක නම් ඇත්ත. මගේ වයසේ ගොඩක් අයට සිනමාපටයන්හි ලැබෙන්නේ දඟකාර පෙම්වතියගේ චරිතය. නමුත් ලතා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ චරිතයක්. ලතා සිරකරුවකුගේ බිරියක්. හරිම සංකීර්ණ චරිතයක්. දෙබස්වලට වඩා මුහුණෙන් හැඟීම් ප්‍රකාශ කරන්න තිබුණා. මං හිතනවා මං ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තා කියලා.

ඔබත් සිනමාවෙහි පෙම්වතිය වන්නට ආසාවෙන් හිටියා කියන්නේ ඇත්තද?

කොහෙන් කොහොම ආරංචි වුණත් ඔබේ ඔය කතාව නිවැරදියි. මමත් ආසයි සිනමාවේ පෙම්වතිය වන්න. නමුත් ලැබුණේ ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. එහි ගති පැවතුම් මත එය ප්‍රතික්ෂේප කරන්න මට බැරි වුණා.

ලතාට පණ පොවන්නට පෙර මොන වගේ අධ්‍යයනයක් ද ඔබ විසින් සිදු කරනු ලැබුවේ?

පළමුව මං පිටපත බැලුවා. එය අම්මටත් පෙන්නුවා. මගේ තාත්තා පොලීසියේ. ඉතින් මං තාත්තා එක්ක ඔහුගේ ඔෆිස් එකට ඇතැම් අවස්ථාවල ගිහින් තියෙනවා. එහිදී මං සිරකරුවන්ව දැක්කා. ඔවුන්ගේ බිරින්දෑවරු ඔවුන් හා ගනුදෙනු කරන ආකාරය මගේ මතකයේ තිබුණා. මං ඒ තැනැත්තියන්ගේ ස්වභාවයන් මේ චරිතයට එකතු කර ගත්තා. ඇත්තම කතන්දරේ මං ලතාගේ චරිතයට බැහැලාමයි රඟපෑවේ.

චිත්‍රපටය තුළින් ඔබ සිටින ඔබ කැමැතිම දර්ශනය කුමක්ද?

මෙහි නඩු තීන්දුවක් දෙන දර්ශනයක් තිබුණා. මට ඒ අවස්ථාව තදින්ම දැනුණා. මට ඒ වෙලාවේ කොහොමටවත් හිතුවේ නැහැ මේ මම කියලා. එතන හිටියේ ලතා.

චිත්‍රපටයේ රුගත කිරීම් තිබුණු දිනයේ ඔබ නොනවත්වාම වමනෙ කළාලු නේද?

අපේ දර්ශන තල තිබුණේ ඇත්තම මුඩුක්කුබද පරිසරයක. ටිකක් ගඳයි. පුංචි ගෙදරක තමයි අපි එදා නැවතිලා හිටියේ. මොකක් හරි අප්පිරියාවක් වෙලා මට එක දිගට වමනේ ගියා. අන්තිමේ බෙහෙත් බීලයි වමනේ නැවතුණේ. මං හින්දා එදා පැය දෙකක් විතර රූපගත කිරීම් නැවතුණා.

පටීභාන චිත්‍රපටය ගැන ගොඩක් දේවල් කතා කළා. නමුත් ඔබ කොහොමද චිත්‍රපටයට එකතු වුණේ කියලා අහන්න බැරි වුණා.

ලෙස්ලි සිරිවර්ධන තමයි පටීභාන චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන රබීන් චන්ද්‍රසිරි මහත්මයාට මාව හඳුන්වා දුන්නේ.

ශානිකා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ කොයි කාලේ විතරද?

දෙදහස් එකොළහෙදි.

කවුරු විදිහටද?

ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් විදිහට.

මොකක්ද ඔබේ පළමු ටෙලි නිර්මාණය?

මලී.

ඔබේ චරිතය?

මාධිනි.

ඊට පසුව ශානිකා රඟපෑ ටෙලි සිතුවම් පෙළ මතක් කළොත්?

සේපාලිකා, මුතුවරුසා, වැහිලිහිනි, හිම කඳු, රිදී සිත්තම්.

මේ අතරින් ඔබව වඩාත් ජනප්‍රිය කළේ?

හිම කඳු ටෙලි සිතුවමේ ඩිනීගේ චරිතයෙන්.

මේ දිනවල ඔබ සිටින ටෙලි නිර්මාණයක් විකාශය වෙනවාද?

නැහැ. මං ටික දිනකට කලාවෙන් ඈත් වෙලා ඉන්නේ. පටීභාන චිත්‍රපටය කලකට ඉහතදී තමයි රූගත කළේ.

ඇයි ඔබ කලාවෙන් ඈත් වුණේ?

ඈත් වුණා කියලා ගොඩක්ම ඈත් වුණේ නැහැ. මං ව්‍යාපාරික කටයුතුවල නියැලෙනවා. ඒ හේතුවෙන් තමයි පොඩි කාලයකට කලාවෙන් ඉවත් වුණේ.

ශානිකාට කටකතා හැදිලා තියෙනවාද?

අපෝ නැහැ.

මේ වන විට ඔබ පෙම්වතියක්ද?

ඒකටත් නැහැ කියලා තමයි උත්තර දෙන්න වෙන්නේ.

නළුවෝ කී දෙනෙක්ගෙන් විතර ශානිකාට විවාහ යෝජනා ඇවිත් තියෙනවාද?

වාසනාවට එක් කෙනෙකුගෙන්වත් නැහැ.

කොයි කාලේ විතරද ඔබ විවාහ වන්නට බලාපොරොත්තු වන්නේ?

තව අවුරුදු තුනකින් විතර.

ශානිකාගේ උපන් දිනය කියමු?

අනූතුනේ නව වැනි මාසේ විසිහත.

ඉගෙන ගත්තු පාසල?

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විදුහලෙන්.

එතකොට ගමත් එහෙමද?

නැහැ, නැහැ. තාත්තාගේ රාජකාරිමය මාරුවීම හේතුවෙන් එහෙ හිටියේ. මගේ ගම නුවර. වර්තමාන පදිංචිය මහරගම.

ශානිකාට නිළියක විදිහට ලැබෙන පිළිගැනීම ගැන මොකද කියන්න තියෙන්නේ?

ගොඩක් හොඳයි.

වෙන රටක හිටියා නම් නිළියක විදිහට මීට වඩා පිළිගැනීමක් තියේවි කියලා හිතෙන්නේ නැතිද?

එහෙම හිතෙනවා. විශේෂයෙන් බොලිවුඩයේ හිටියා නම් ලෝක ප්‍රසිද්ධ වෙන්න තිබුණා.

ශානිකාට ක්ෂේත්‍රයේ යාළුවෝ කවුද ඉන්නේ?

සමාධි අරුණිඡායා තමයි හොඳම යෙහෙළිය. මං වැඩි දෙනෙකුව අතේ දුරින් ඇසුරු කරන නිසා වැඩිය යාළුවෝ නැහැ.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

ශක්තිමත් හිතක් තියෙන කෙනෙක්.

 

අදහස් 1ක් ඇත

why there is no one else in Bollywood just act in some cinema & dramas don't think your self as a big person cause you never done anything to make proud this country or it's people

නව අදහස දක්වන්න