දෙණියාය මූලික රෝහලේ නිහඬ විරෝධතාවක් | දිනමිණ

දෙණියාය මූලික රෝහලේ නිහඬ විරෝධතාවක්

රඹුටන් ඇටය සිර වී දරුවා මියගිය සිද්ධිය:

දෙණියාය මූලික රෝහලේ හෙද නිලධාරීහු ඇතුළු කාර්ය මණ්ඩලය පසුගියදා (03) දහවල් නිහඬ විරෝධතාවක නිරත වූහ. රෝහලේ සිට පාගමනින් දෙණියාය, බෙවරලිය ප්‍රධාන මාර්ගයට පැමිණ රෝහල් හන්දියේ දී විරෝධතා පුවරු අතැතිව පැය භාගයක පමණ කාලයක් නිහඬ විරෝධතාවක් පවත්වා පසුව නැවැත රෝහල වෙත ගියහ.

රෝහලට පැමිණෙන මාර්ගයේ සහ රෝහල් භූමිය තුළ කළු කොඩි ඔසවා පැවැත්වූ මෙම විරෝධතාවට හේතුව ලෙස විරෝධතාකරුවන් පවසන්නේ පෙර දින රාත්‍රී 8.45ට පමණ කොටපොළ, කොස්මෝදර ප්‍රදේශයේ වයස මාස 11ක දරුවකු රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් රෝහලට රැගෙන ආ බවත් එහිදී දරුවා මියගිය බවයි. දරුවා රෝහලට රැගෙන ඒමෙන් පසු වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කටයුතු නොකළ බවත් ඒ අවස්ථාවේ සේවය කළ වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම නිසා දරුවා මියගිය බවට පවසමින් මියගිය දරුවාගේ ඥාතීන් පිරිසක් රෝහල් කාර්ය මණ්ඩලයට පහරදී රෝහලේ තිබූ උපකරණ ඇතුළු දේපළවලට හානි කර ඇති බවත් එයට සම්බන්ධ මැර පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් මෙම විරෝධතාව පැවැත්වූ බවයි. මෙයට විරෝධය දක්වමින් දෙණියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය පසුගියදා (03) දෛනික කටයුතුවලින් ද ඉවත්ව වර්ජනයක නිරතව සිටී අතර නේවාසික රෝගීන්ට සහ හදිසි ප්‍රතිකාර පමණක් මෙදින රෝහල තුළ සිදු කරනු ලැබීය.

මෙම පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනකු එදින රාත්‍රියේම දෙණියාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම පහරදීමට විරෝධය දක්වා දෙණියාය මූලික රෝහලේ බාහිර රෝගී අංශය ඇතුළු දෛනික කටයුතුවලින් රෝහල් කාර්ය මණ්ඩලය ඉවත්ව තිබූ අතර හදිසි ප්‍රතිකාර සහ නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර පමණක් එදින සිදු විණි.

ඒ. පී. දයාචන්ද්‍ර - ඌරුබොක්ක විශේෂ

නව අදහස දක්වන්න