දෙමළ ජනයා රවටන්න ටී.එන්.ඒ. නාට්‍ය රඟදක්වනවා | දිනමිණ

දෙමළ ජනයා රවටන්න ටී.එන්.ඒ. නාට්‍ය රඟදක්වනවා

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු ඉංග්‍රීසි මාධ්‍යයක් සමඟින් ද කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය අවතක්සේරු කරමින් සුමන්තිරන් මහතා ප්‍රකාශයක් සිදු කළ බවත් දෙමළ ජාතික සන්ධානය ද ඊට මුනිවත රකිමින් අනුග්‍රහය සැපයූ බවත් ආනන්ද සංගරී මහතා සඳහන් කර සිටියේය.

සමාජ ජාලා සමඟින් සංවාදයකට එක්ව කොටි සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය පිළිනොගන්නා බවට සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

“2010 වසරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසි එම්.ඒ. සුමන්තිරන් මහතා ඒ වසරේ දී ඉංග්‍රීසි මාධ්‍යයක් සමඟින් සංවාදයකට එක්ව ආයුධ සන්නද්ධ අරගලයක් ආරම්භ කළේ උතුරේ රැකියා විරහිත තරුණයන් බවටත් ආරක්ෂක හමුදාවට වඩා සාමාන්‍ය ජනතාව ඝාතනය කළේ කොටි සංවිධානය බවටත් ප්‍රකාශයක් සිදු කර තිබුණා. එවක රජයට එරෙහිව කොපමණ විමර්ශන පැමිණියත් ඊට මුහුණ දීමේ සාක්ෂියක් ලෙසින් තමන් කටයුතු කරන බවට සුමන්තිරන්ගේ ප්‍රකාශයෙන් නොකියා කියා තිබුණා. බන්ධනාගාර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ කාරණයේ දී සුමන්තිරන්ගේ දායකත්වය ආණ්ඩු හිතවාදීව සහ දෙමළ දේශපාලන සිරකරුවන්ට ප්‍රතිවාදීවයි සිදු වුණේ. ඒ බව එදා දෙමළ ජාතික සන්ධානයට තේරුණේ නැද්ද? මේ කාරණය සම්බන්ධයෙන් මා හැර අන් කිසිවකු හෝ කතා කළේ නැහැ.

“එවන් පුද්ගලයකු වූ සුමන්තිරන් පසුගිය 2015 මැතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කර ඔහුව ජයග්‍රහණය කරවීමට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් කටයුතු කළා. එදා සුමන්තිරන් සිදු කළ ඒ ප්‍රකාශය ගණනකට නොගෙනයි දෙමළ ජාතික සන්ධානය ඔහුව ජයග්‍රහණය කරවූවේ. ඒ ප්‍රකාශයම තමයි වෙනත් ආකාරයකින් සුමන්තිරන් විසින් පසුගියදා සිංහල සමාජ මාධ්‍යයක් සමඟින් සිදු කරනු ලැබුවේ. මේ නිසා දෙමළ ජාතික සන්ධානයේ කිසිවකුට සුමන්තිරන් ගැන විවේචනය කිරීමට සුදුසුකමක් නැහැ.

“2015 මහ මැතිවරණයේ දී සුමන්තිරන්ට මනාප 58,000ක් ලැබුණා. ආයුධ සන්නද්ධ අරගලයක් ආරම්භ කළේ උතුරේ රැකියා විරහිත තරුණයන් බවටත් ආරක්ෂක හමුදාවට වඩා සාමාන්‍ය ජනතාව ඝාතනය කළේ කොටි සංවිධානය යැයි කියන ස්ථාවරයත් පදනම් කරගෙන නැවතත් ඒ බව අවධාරණය කරන්නට ඔහු කටයුතු කළා. එතුළ ඔහුගේ කිසිදු වරදක් නැහැ. ඔහු කී දේ නිවැරදියි කියල පිළිගන්න නිසයි 2015 වසරේ දී සුමන්තිරන්ට අපේක්ෂකත්වය ලබා දීමට දෙමළ ජාතික සන්ධානය කටයුතු කළේ. මෙය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දෙමළ ජාතික සන්ධානය පිළිගත යුතු සත්‍යයක්.

“කාලයෙන් කාලයට දෙමළ ජනතාව රැවටීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය රඟදක්වන තවත් නාට්‍යක් තමයි මේ .මැතිවරණ කාලය නිසා තව තවත් මේ වගේ නාට්‍ය බලාගන්න පුළුවන්.”

නව අදහස දක්වන්න