ඊළඟ වසරේදිත් සභාපති ‘සංගා‘ | දිනමිණ

ඊළඟ වසරේදිත් සභාපති ‘සංගා‘

ෆවුස් මොහොමඩ්

එංගලන්තයේ සුප්‍රකට මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ (MCC) සභාපති කුමාර් සංගක්කාරට තවත් වසරක කාලයක් සිය ධුරකාලයේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටීමට එම ක්‍රිකට් සමාජයේ කමිටුව අපේක්ෂා කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 1 වැනිදා මෙම තනතුරට පත්වූ කුමාර් සංගක්කාරගේ ධුර කාලය එම ක්‍රිකට් සමාජයේ සම්ප්‍රදායට අනුව මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා නිමාවට පත්වීමට නියමිත වූවත් ඊළඟ වසරේදිත් එම තනතුරෙහි කටයුතු කිරීමේ අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් ඔහුගේ ධුරකාලයෙන් මාස කිහිපයක් මඟ හැරෙන බැවිනි.

ලෝඩ්ස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගත් මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ සභාපතිධුරයට පත් පළමු විදෙස් ජාතිකයා කුමාර් සංගක්කාර වන අතර ඔහු දෙවැනි වරටත් එම තනතුරෙහි කටයුතු කිරීම වාර්තාවක් වනු ඇත. එය වාර්තාපොතට එක්වන්නේ යම්කිසි පුද්ගලයකු මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ සභාපතිධුරයේ එක් වාරයකට වඩා කටයුතු කරන තුන්වැනි අවස්ථාව ලෙසටය. වසරකට පමණක් සීමා වන මාර්ලිබන් ක්‍රිකට් සභාපති තනතුරෙහි මීට පෙර එක් වාරයකට වඩා කටයුතු කරනු ලැබුවේ පුද්ගලයන් දෙදෙනකු පමණි. එම අවස්ථා ද්විත්වයත් වර්තමානයේ මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව පසුබෑමකට ලක්වූ අවස්ථාවන් විය. පළමු ලෝක මහා යුද සමයේදී හව්කේ සාමිවරයා වසර 1914 සිට 1918 දක්වා සභාපතිධුරයේ රැඳී සිටි අතර ඉන් පසුව දෙවැනි ලෝක මහා යුද සමයේදී ස්ටැන්ලි ක්‍රිස්ටෝපර්සන් 1939 සිට 1945 දක්වා අතර කාලයේ දී තනතුරෙහි කටයුතු කළේය.

මාර්ලිබන් ක්‍රිකට් සභාපති තනතුර දීර්ඝ කිරීමේ යෝජනාවට එහි සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍ය වන අතර ලබන ජූනි මස 24 වැනිදා පැවැත්වීමට නියමිත වාර්ෂික මහ සභා රැස්වීමේදී එය සිදුවනු ඇතැයි වාර්තා වෙයි. 42 හැවිරිදි කුමාර් සංගක්කාරගේ දෙවැනි ධූරකාලය ඒ අනුව වසර 2021 සැප්තැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කෙරෙනු ඇත.

වසර 2011 දී මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික කොලින් කවුඩ්රි දේශනය ඉතා ප්‍රබලව හා අමතක නොවන ලෙස සිදු කරමින් එම ක්‍රිකට් සමාජයේ පූර්ණ ගෞරවයට පාත්‍ර වූ කුමාර් සංගක්කාරට ඊළඟ වසරේදී මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ යාවජීව සාමාජිකත්වය හිමිවිය. එම වසරේදීම ඔහු මාර්ලිබන් ක්‍රිකට් සමාජයේ ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකු බවට පත්විය.

 

නව අදහස දක්වන්න