ජීවිතය කියැවීමට කාලය ලැබී ඇත! | දිනමිණ

ජීවිතය කියැවීමට කාලය ලැබී ඇත!

බෞද්ධයන්ගේ තෙමඟුල උදාවී ඇතත්, එහි යම් ශෝකයක් ද පවතී. ඒ ලෝකය වෙලාගත් කොවිඩ් 19 වසංගතය නිසා ය. ශ්‍රී  ලාංකික බෞද්ධයාට ගිය වසරේ වෙසක් උළෙල ද සැනසිල්ලේ පැවැත්වීමට නොහැකි විය. හේතුව පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවයි. මෙවර පසුබිම ඊටත් වඩා දරුණු වී ඇත. වසංගතය නිසා ලෝක ජනතාවගේ චර්යා රටා මුළුමනින්ම වෙනස් කිරීමට සිදු වී ඇත. සමූහ ක්‍රියාකාරකම් තහනම් ය. නිදහස්කාමී ලෙස හැසිරීමට ඉඩක් නැත. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ මෙන්ම මුළුමනින්ම වසා දමන ලද කලාප ද තිබේ. මෙවන් වටපිටාවක් තුළ වෙසක් සැමරීමට සිදු වී ඇත.
 
බුද්ධ ධර්මය ආගමටත් වඩා, ගැඹුරු දර්ශනයක් බව කියනු ලැබේ. ලෝකයේ හා පුද්ගලයාගේ යථා ස්වභාවය හඳුනා ගැනීමත්, පුද්ගලයා දුකෙන් මුදාගන විමුක්තිය ලබා දීමත් එහි අර්ථය බව කිව හැකි ය. ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් බව ද බුදුහු දේශනා කළහ. බුදුන්ගේ උපදේශනයට අනුව  හුදෙකලා පුද්ගලයකුට මහා පින්කම් කළ හැකිය. බෞද්ධ ‍දර්ශනයෙහි අවසන් ඉලක්කය වූ නිවන සාක්ෂාත් කර ගත හැක්කේ ද තනි පුද්ගලයන් වශයෙන් සිදු කරන බවුන් වැඩීමෙන් ය.
 
සිංහල බෞද්ධයාගේ මෑත කාලීන වෙසක් උත්සවය පින්කම් පිළිබඳ මහා තරගයක් සේ සැලැකිය හැකි ය.  ගමක් නගරයක් කලාපයක් පාසා මහා දන්සල්,  මහා තොරණ, මහා පෙරහර, මහා පුජා පවත්වනු ලැබේ. එවකට නො දෙවැනි  ලෙස අනෙක පැවැත්වීමට නිසා නිසගයෙන්ම උග්‍ර තරගයක් හට ගනී. සමහරු බත් දන්සල් දෙති. තව සමහරු කොස් දන්සල් දෙති. තවත් සමහරු අඹ දන්සල් දෙන අය ද සිටියෝ ය. මීට වසර කිහිපයකට පෙර වෙසක්  දා අරක්කු දන්සල් පවත්වා ගෙන ගිය පුද්ගලයකු වහාම අත්අඩංගුවට ගැනිණි. ‍අපේ දන්සල්වල ස්වභාවය ඒ අනුසාරයෙන් වටහා ගත හැකි ය.
 
කොවිඩ් 19 වයිරසය මිනිසා ට වැදගත් පාඩම් ගණනාවක් උගන්වා ඇති බව සඳහන් ය. ඉන් එක පාඩමක් වන්නේ ස්වභාව ධර්මයට එකඟ ලෙස ජීවත් වීමය. තව පාඩමක් වන්නේ අල්පේජතාවයට නැඹුරුවීම ය. මේ දෙකම  බුදුදහම අනුමත කරන කාරණා වෙයි. සිද්ධාර්ථයන්ගේ සමස්ත ජීවිතය වනය, උද්‍යාන හා ගංගාවන් කැටුව එකට ගැට ගැසී තිබිණි. බුදුන් වහන්සේ අතිශය අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කළ අතර එහි අගය ද පහදා දුන්හ. කොරෝනා වසංගතය නිසා පුද්ගලයා ඉබේම මෙන් සරල චාම් පැවැත්මකට නැඹුරු වෙයි. ලද දෙයින් සතුට වීමට සිදු වී ඇත. ලැබෙන ආහාර පාන පිළිගැනීමට සිදුවී ඇත. නාස්තිකාර වියදම් අඩු වී ඇත. පුද්ගලයා සරල වන්නට පටන්ගෙන තිබේ.
 
වෙසක් සැමරිය යුතු ආකාරය ගැන උපදේශන ගණනාවක් නිකුත් වී ඇත. උපදේශනවලට වඩා කාරුණික ඉල්ලීම් ලෙස  ඒවා සැලකිය හැකි ය. ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දී කටයුතු කරන්න යන්න එක ඉල්ලීමකි. ස්වකීය නිවසෙන්  බැහැරට  නො‍ගොස් පින්කම්වල යෙදෙන්න යන්න තව ඉල්ලිමකි. තවත් උපදේශන හා ඉල්ලිම් ඇතත්, මේ දෙක හෝ පිළිපැදිය හැකි නම්, පවතින වසංගත තත්ත්වය සටහන් කිරීමට  එය හේතුවෙක් වෙයි. මේ මඟින් අටෝප සාටෝප නැති යථාර්ථවත් වෙසක් උත්සවයක් සැමරිය හැකි ය. සැබෑ බෞද්ධයා පුහු මාන්නය ප්‍රතික්ෂේප කරයි.  අටෝප සාටෝප ප්‍රතික්ෂේප කරයි. එය බෞද්ධයාට උරුම ශික්ෂා මාර්ගය සේ සැලකිය හැකි ය.  
 
නායක හිමිවරුන්ගේ තවත් ඉල්ලීමක් වන්නේ ගෙදර සිට සිල් සමාදන් වන්න යන්න ය. ඊට ඉතා සුදුසු පසුබිමිමක් ද මේ තත්ත්වය තුළ නිර්මාණය වී තිබේ. අවට පරිසරය කලබලයකින් තොර ය. ඝෝෂා නැත. ජන රාශිවීම් නැත. ජන මාධ්‍ය ව්‍යාප්ත වී ඇති බැවින් දවස පුරාම බණ අසන්නට, සාකච්ඡා, සම්මන්ත්‍රණවලට කන් දෙන්නට අවස්ථාව තිබේ. මේ හැරෙන්නට සිල් සමාදන් වීමට හා සිල් පවාරණයට අවශ්‍ය පිළිවෙත් ද ජනමාධ්‍ය ඔස්සේ විකාශය කෙරේ. පවතින තත්ත්වයට අනුව එක ගෙදරක වැඩි දෙනකුට සිල් සමාදන් වීමේ අවස්ථාව උදාවනු ඇත. එයින් නිසි ප්‍රතිඵල නෙළා ගැනීමට බෞද්ධයන් උත්සුක විය යුතුව තිබේ.
 
පවත්නා අර්බුදවලට අර්ථවත් විසැඳුම් සොයන අවස්ථාවක් ලෙස ද වෙසක් දිනය භාවිත කළ හැකි ය. ලෝකය හා මිනිස් ජීවිතය පිළිබඳ යථාර්ථවත් විග්‍රහයක් බෞද්ධ දර්ශනය තුළ සංගෘහිත ය. එය  වටහා ගැනීමෙන් ලෝකයේ ස්වභාවය මෙන්ම ජීවිතයේ අර්ථය ද උකහාගත හැකි ය. අද වැඩි දෙනකු ‍තමන්ගේ චර්යා රටා හසුරවන්නේ ජීවිතයේ සැබෑ අර්ථවලට පටහැනි ලෙස ය. එබැවින් විවිධාකාර අර්බුද මිනිස් ජීවිත හඹා එන බවක් පෙනෙන්ට තිබේ. අර්බුද හා ආපදා ඉතිහාසයේ ද පැවැතිණි. වර්තමානයේ ද පවතී. අනාගතයේ ද එය එසේම වනු ඇත. එහෙත් ප්‍රඥා සම්පන්න මිනිසා වීර්යයෙන් යුතුව අර්බුද ගැටලු විසඳාගෙන තම ඉල්ක්ක කරා ගමන් කරයි. කොරෝනා අර්බුදය ද එලෙස පරාජය කළ යුතු ය.
 
හුදෙකලා වීම ද එක්තරා භාග්‍යයක් කොට සලකන්නට පුළුවන. හුදෙකලා වීම තුළ අධ්‍යාත්මයට දොර හැරෙයි. අධ්‍යාත්මික ශක්තිය හා පුද්ගල විමුක්තිය අතර සහ සම්බන්ධයක් තිබේ. බුදුන් සත්‍යය වටහා ගත්තේ ද හුදෙකලාව බවුන් වැඩිමෙන් ය. එම වටහා ගැනීමට අනුව ආරිය ඇත්තේ සතරෙකි. එය ලෝක‍යේ ඕනෑම ගැටලුවක් විසඳාගත හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක් බව ප්‍රඥාවන්තයන්ගේ පිළිගැනීම ය. මේ ධර්ම කරුණු වටහා ගැනීමට කාය විවේකය සේම චිත්ත විවේකය ද පැවැතිය යුතු ය. දැන් උදාවී ඇත්තේ එම අවස්ථා නොවේ ද?
 

නව අදහස දක්වන්න