කොවිඩ් වසංගතය මැද කොරියාවේ බේස්බෝල් ඇරැඹේ | දිනමිණ

කොවිඩ් වසංගතය මැද කොරියාවේ බේස්බෝල් ඇරැඹේ

ගෝලීය වසංගතයක් බවට පත්වූ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොව සියළු රටවල්වල ජන ජීවිතය උඩුයටිකුරු වෙද්දී දකුණු කොරියාව බේස්බෝල් ක්‍රීඩාව ආරම්භ විය. මීට පෙර මාර්තු මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ එරට වෘත්තීමය බේස්බෝල් ලීග් තරගාවලිය පසුගියදා ආරම්භ වූයේ ක්‍රීඩාලෝලීන්ගෙන් හිස් වූ පිටියේදීය. එහෙත් කණ්ඩායම් දිරිගැන්වීම සඳහා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් අසුන්ගෙන සිටින අයුරු දැක්වෙන ජීවමාන ප්‍රමාණයේ රුව රැගත් කටවුට් ක්‍රීඩාංගණයේ සවි කිරීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි. KBO නමින් ලොව පුරා ජනප්‍රිය මේ තරගාවලිය ආරම්භ කරමින් ඉන්චේන් නුවර දී පළමු තරගය පැවැත්වූයේ එස්.කේ. වයිවර්න්ස් සහ හැන්වා ඊගල්ස් කණ්ඩායම් අතරය.

පුද්ගලයන් දසදහසකට වැඩි පිරිසක් කොවිඩ් ආසාදිතයන් බවට පත්වූ දකුණු කොරියාවේ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 250කට වැඩිය. එහෙත් කොවිඩ් වසංගතය පාලනය අතින් ඉදිරියෙන් පසුවන රටක් ලෙස ප්‍රකට දකුණු කොරියාව පසුගියදා එරට මහමැතිවරණය ද සාර්ථකව පැවැත්වූ අතර කොවිඩ් වසංගතය තිබියදී මැතිවරණයක් පැවැත්වූ එකම රට බවට ද පත්විය.

නව අදහස දක්වන්න