මල්වතු අස්ගිරි විහාරයන් හි උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දමයි | දිනමිණ

මල්වතු අස්ගිරි විහාරයන් හි උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දමයි

‍අසේල කුරුළුවංශ

සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් හි වාර්ෂිකව සිදු කෙරෙන්නා වූ උපසම්පදා විනය කර්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට මහනායක ස්වාමින්ද්‍රන් වහන්සේ දෙනම ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

කොවිඩ්-19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම පිණිස සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අවස්ථාවක උපසම්පදා විනයකර්ම මෙම අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරයීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කිරීමෙන් පසු මෙම කල් දැමීම සිදුකර ඇත.

සෑම වර්ෂයකම වෙසක් පුන් පොහෝ දින සිට පොසොන් පුන් පොහෝ දිනය දක්වා මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් කේන්ද්‍ර කර ගනිමින් උපසම්පදා විනයකර්ම සිදු කරන බවත් මෙම වසරේ මැයි මස 07 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයෙන් මෙම පුණ්‍ය උත්සවය ආරම්භ වීමට නියමිතව තිබූ බවත් මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියෝ පැවසූහ. සම්බුද්ධ ශාසනය ආරක්ෂා වන්නේ මහ සංඝරත්නය හා සැදැහැවතුන් ආරක්ෂා වීමෙන් බවත් මෙම අවස්ථාවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබාදී තිබෙන උපදෙස් අනුව සියලු දෙනා නිවෙස් වලට වී සිටීම වැදගත් බවත් කී සුමංගල නාහිමියෝ සියලු කරදර වලින් රට මිදුණු පසු උපසම්පදා විනය කර්ම කටයුතු සිදුකරන බවද අවධාරණය කළේය.

මල්වතු අස්ගිරි උභය මහ විහාරයන් මූලිකත්වයෙන් සිදු කෙරෙන්නා වූ වෙසක් උත්සවද මෙවර නොපැවැත්වීමට තීරණය කළේ යැයි උන්වහන්සේ කීහ.

නව අදහස දක්වන්න