ඉදිරියටත් තීන්දු ගන්නේ අදාළ විශේෂඥයන්ගේ නිර්දේශ මත පදනම්වයි | දිනමිණ

ඉදිරියටත් තීන්දු ගන්නේ අදාළ විශේෂඥයන්ගේ නිර්දේශ මත පදනම්වයි

රජය අවධාරණය කරයි

කොරෝනා වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීන්දු ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ නිර්දේශ මත පදනම් වෙමින් බව රජය පවසයි.

රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මේ සෞඛ්‍ය ගැටළු පාලනයෙන් ගිලිහී යා නොදී කළමනාකරණය කර ගැනීමට හැකි වූ බව එහි දී අනාවරණය වූ බවත් කෙසේ වෙතත් අවදානම තවම පහව ගොස් නොමැති බව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දියත් කළ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට ලක් වුණ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආසාදිතයන් සහ ආසාදිතයන් යැයි සැක කරන පිරිස් මෙන්න ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවට ද මෙහිදී තීරණය වූ බව පවසන ජනාධිපති මාධ්‍ය අංශය ආසාදිතයන් සහ ඔවුන් ඇසුරු කළ අය නිවැරැදිව හඳුනා ගැනීමට හැකිව ඇති බව ආරක්ෂක බලධාරීන් සඳහන් කළ බව ප්‍රකාශ කරයි.

කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමු වූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා ව්‍යාප්තවීමේ තර්ජනයක් දැනට නැති බවත් අලුත් අවුරුදු සමය අවසන්වීමත් සමඟ අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ඇතුළු සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බවද රජය සඳහන් කරයි.

වර්තමානයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන කොරෝනා මර්දන වැඩසටහන අලුත් අවුරුද්ද අවසානය වන තෙක් විධිමත්ව පවත්වාගෙන යෑමටත්, අනතුරුව තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර ගැනීමටත් එහි දී රජය තීරණය කර තිබේ.

එමෙන්ම වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කර සුදුසු පරිදි පිළිපැදීමට ද දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යෑමටද සාකච්ජාවේ දී එකඟත්වය පළ වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාව සඳහා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිලධාරීහු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නුවන් කොඩිකාර සහ චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න