වගකීමට මුල් තැන දෙන ලොතරැයි මණ්ඩලය | දිනමිණ

වගකීමට මුල් තැන දෙන ලොතරැයි මණ්ඩලය

සියල්ලන් දැනුවත් කරමින් රු. 2500ක දීමනාව ලොතරැයි අලෙවිකරුවන් අතර බෙදාදීමට පියවර ගත්තේ ද මේ අසීරු අවස්ථාවේදී යම් පමණකින් හෝ ඔවුනට අස්වැසිල්ලක් වීමට ය

උදා වී ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ රට ම යම් අසීරු තත්ත්වයකට පත් ව සිටින කාල පරිච්ඡේදයකි. මේ අවස්ථාවේ සහන ලැබිය යුතු පාර්ශ්වයන් වෙත සහන සැලසීම වෙනුවෙන් රජය ගෙන යන සහන වැඩපිළිවෙළට අමතර ව දිවයින පුරා වෙසෙන මානව හිතවාදීන් ඇතිහැකි අයුරින් තම පෞද්ගලික ධනය සහ ශ්‍රමය යොදවමින් සහන සේවාවන්හි නියැලී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත.

මහමඟ ලොතරැයි අලෙවි කරමින් දිවි පෙවෙත ගෙන ගිය ලොතරැයි අලෙවිකරුවන් ද මේ අසීරු තත්ත්වය යටතේ හව්හරණක් නැති ව සිටින බව පැහැදිලි ය. ඔවුන් වෙනුවෙන් යම් සහන වැඩපිළිවෙළක් දියත් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක් ව තීරණය කළේ එබැවිනි. මහමඟ ලොතරැයි විකුණීම සිය ජීවිකාව කරගත් ලොතරැයි අලෙවිකරුවන්ට අප නියෝජිතයන් හරහා රුපියල් 2500ක බඩු මල්ලක් ලබාගැනීමට ආධාර කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක ය.

මේ වන විට ලොතරැයි අලෙවිකරුවන් 10 000කට වැඩි ප්‍රමාණයකට එම දීමනාව ලබාදී අවසන් ය.

මෙම රු. 2500ක දීමනාව අලෙවි ජාලය පුරා නිවැරදි ව ව බෙදා දෙනවා ද? ඔවුන් ඒ මුදලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නවා ද? යන්න අපගේ දිස්ත්‍රික් මට්ටමේ නියෝජිතයන්ගේ සහ නිලධාරින්ගේ අධීක්ෂණයට ලක්වන බව ද කිව යුතු ය.

රටක් ලෙස මෙතෙක් අප මුහුණ දුන් අනෙක් ආපදා තත්ත්වයන් හා සැසඳීමේදී මෙම කොරෝනා උවදුර වනාහි සම්පූර්ණයෙන් ම වෙනස් තත්ත්වයකි. මේ අවස්ථාවේදී වගකිව යුතු පුරවැසියකු ලෙස රට වෙනුවෙන් කළ හැකි හොඳ ම දේ හැකිතාක් දුරට ආරක්ෂිත පියවර අනුගමනය කරමින්, මාධ්‍ය ඔස්සේ වෛද්‍යවරුන් නිරන්තරයෙන් ලබාදෙන සෞඛ්‍ය උපදෙස් ද පිළිපඳිමින් නිවෙසට වී රාජකාරි කිරීම ය. එක් අයකුගේ වගකීම් විරහිත භාවය ඔහුගේ ම සමීපතමයින් ඇතුළු තවත් බොහෝ දෙනා අනතුරේ හෙළනු ඇත.

කොරෝනා වසංගත ව්‍යාප්තියේ ආරම්භය සිදු වූ මුල් දින කිහිපය තුළ ම ලොතරැයි අලෙවි කටයුතු නවතා දැමීමට අප පියවර ගත්තේ ජාතික ලොතරැයි මණ්ඩලය ලෙස අපේ කාර්යභාරය සහ වගකීම නිවැරැදි ව හඳුනාගත් බැවිනි. ලොතරැයි අලෙවිකරණය සහ මිලදී ගැනීම හරහා මෙම රෝගය පැතිර යෑමට ඇති ඉඩකඩ අවම කිරීම එහිදී අපගේ අරමුණ බවට පත් විය. ඉන් අනතුරු ව අපගේ ජාලය තුළ සියල්ලන් දැනුවත් කරමින් රු. 2500ක දීමනාව ලොතරැයි අලෙවිකරුවන් අතර බෙදාදීමට පියවර ගත්තේ ද මේ අසීරු අවස්ථාවේදී යම් පමණකින් හෝ ඔවුනට අස්වැසිල්ලක් වීමට ය.

කොරෝනා ආපදා තත්ත්වය යටතේත් අපි මේ වන විට ආයතනික වශයෙන් සිදු විය යුතු බොහෝ කටයුතු අඛණ්ඩව ඉදරියට ගෙන යමින් සිටිමු . රටේ පවත්නා තත්ත්වය තුළ අනාගතයේදී විශේෂයෙන් ම මූල්‍යමය වශයෙන් සහ ආයතනික වශයෙන් අර්බුද පැනනැගිය හැකි ය.

ඒ සියලු තත්ත්වයන් සඳහා මුහුණ දෙන්නේ කෙලෙස ද? යන කාරණය මේ අවස්ථාවේදී අප විශේෂ අවධානයකට ලක්කරමින් සිටින බව ද කිව යුතු ය. මේ වන විට නිවාඩු ලබාදී තිබුණ ද සියල්ලන් නිවෙසේ සිට තම තමන්ගේ රාජකාරී ඉටු කරන වාතාවරණයක ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයත් නිලධාරිනුත් ඉදිරියේදී ඇතිවිය හැකි මූල්‍යමය ගැටලු සහ ආයතනික මට්ටමෙන් පැනනැඟිය හැකි ගැටලු පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරමින්, සැලසුම් නිර්මාණය කරමින් සිටිනුයේ ඉදිරියේදී ඒ ඕනෑම තත්ත්වයකට සාර්ථක ව මුහුණ පෑමේ අභිප්‍රායෙනි.

ඉතා ඉක්මනින් කොරෝනා උවදුර දුරු වී රට යථා තත්ත්වය පැමිණීම, යම්කිසි කාලයක් ගත වී කොරෝනා අවදානම පහව ගොස් නැවත යථා තත්ත්වයට පැමිණීම මෙන් ම අප නොසිතන තරම් දිගු කලක් මෙම උවදුර හේතුවෙන් පීඩා විඳීමට සිදු වීම වැනි කුමන තත්ත්වයක් යටතේ වුව ආයතනයක් ලෙස අප ඉදිරියට යන්නේ කෙසේ ද රඳා පවතින්නේ කෙසේද යන කාරණා සම්බන්ධයෙන් මේ වන විට අප සිටිනුයේ සැලැසුම් සකසමිනි. පෙර කී කුමන තත්ත්වය යටතේ වුව ද ආයතනය ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් අපට ආයතනික වගකීමක් පැවරී ඇත.

වගකිව යුතු පුරවැසියකු ලෙස මට කීමට ඇත්තේ ඔබ වගකීමෙන් ක්‍රියා කළහොත් ඔබටත් ඔබේ සමීපතමයන්ටත් රටටත් කොරෝනා උවදුර දුරින්දුරු කිරීමට වාසනාව ලැබෙන බව ය. නොඑසේ නම් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල ලැබෙන බව ද සිහි තබාගත යුතු ය. එසේ හෙයින් පවත්නා අවදානම් තත්ත්වය යටතේ අවදානයෙන්, වගකීමෙන් සහ මානුෂීය ගුණදම් පෙරටු කරගනිමින් කටයුතු කිරීමට අප සියල්ලන් උත්සුක විය යුතු ය.

 

සටහන - කාංචනා සිරිවර්ධන

 

නව අදහස දක්වන්න