මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ ගුවන් හමුදා කඳවුරක් ඉදිකිරීමට අක්කර 200ක් | දිනමිණ

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ ගුවන් හමුදා කඳවුරක් ඉදිකිරීමට අක්කර 200ක්

01. මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළේ (MRIA) ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීම සඳහා අක්කර 200ක භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන ඇමැතිවරයා, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුබසාධන ඇමැති චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු ගුවන් තොටුපොළවල ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරී ඇති අතර ඒ අනුව ඉන්දීය සාගර කලාපයේ උපාය මාර්ගික වැදගත්කමකින් යුත් ගුවන් තොටුපොළක් ලෙස හඳුනාගෙන ඇති මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට ආරක්ෂාව ලබාදීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සමානව ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව, මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට යාබද අක්කර 200ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කරදීමටද ඇමැති මණ්ඩලය විසින් තීරණය කර ඇත.

ඇපයෙන් සීමිත සී.එෆ්.සී.ෆවුන්ඩින් සමාගම විසුරුවා හැරීම

02 ඇපයෙන් සීමිත සී.එෆ්.සී.ෆවුන්ඩින් සමාගම විසුරුවා හැරීමට මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන ඇමැති වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ මූල්‍ය නගරය ස්ථාපිත කිරීමේ සහ එහි කටයුතු පවත්වාගෙන යාමේ අරමුණින්, 2016 වර්ෂයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි ඇපයෙන් සීමිත සී.එෆ්.සී.ෆවුන්ඩින් සමාගම ස්ථාපිත කළ අතර මේ සමාගම වර්තමානයේ සිදු කරන කටයුතුවල විෂය පථය සමාලෝචනය කිරීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ විශේෂ ප්‍රාගුණ්‍යයක් දක්වන විශේෂඥයන් පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර එකී සමාගම තවදුරටත් පවත්වාගෙන යාම අවශ්‍ය නොවන බව එම කමිටුව විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත. ඒ අනුව, 2007 අංක 07 දරන සමාගම් පනතේ 319(ආ) වගන්තියේ විධිවිධාන අනුගමනය කරමින් එම සමාගම විසුරුවා හැරීම සඳහා යෝග්‍ය පියවර ගැනීමටත්, ඊට අදාළ අනෙකුත් අවශ්‍ය කටයුතු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පැවරීමටත් අනුමැතිය ලබාදී ඇත.

මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ අක්කර 2ක් බදු ක්‍රමයට

මහමෙව්නා බෞද්ධ

විද්‍යාලයට

03 මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය ස්ථාපිත කිරීම සඳහා මාලඹේ ප්‍රදේශයේ පිහිටි අක්කර 04ක පමණ ඉඩමක් සහනදායී ගෙවීම් පදනම මත ලබා දෙන ලෙස සේරුවිල විල්ගම්වෙහෙර සෝමාවතී රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් කර ඇති ඉල්ලීමක් පරිදි මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ පිහිටි ප්‍රමාණයෙන් අක්කර 02 රූඩ් 2 පර්චස් 0.70ක් වූ ඉඩම් කොටසක් ඒ සඳහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව, අදාළ කාර්යය සඳහා එකී ඉඩම් කොටස මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය වෙත අවුරුදු 30ක කාලයකට බදු පදනමින් බැහැර කිරීමට අනුමැතිය ලැබී ඇත.

ජාතික වෘත්තීය සුදුසුකම් ලාභීන්ට නිපුණතා බලපත්‍රයක්

04 ජාතික වෘත්තීය සුදුසුකම්ලාභීන් සඳහා 'නිපුණතා බලපත්‍රයක්' නිකුත් කිරීමට නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය ලබාදී ඇත.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභ විසින් පවත්වාගෙන යන ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව (NVQ) හඳුන්වා දී ජාතික වශයෙන් සුදුසුකම් ප්‍රදානය කිරීමේ ක්‍රමවේදය සඳහා පවතින පිළිගැනීම තවදුරටත් පුළුල් කිරීම පිණිස ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ලංකා සේව්‍ය සම්මේලනය සමඟ ඒකාබද්ධව ජාතික වෘත්තීය සුදුසුකම් සහිත නිපුණ ශිල්පීන් හා සංක්‍රමණික විදේශ සේවා නියුක්ත ශ්‍රමිකයන් සඳහා 'නිපුණතා බලපත්‍රයක්' හඳුන්වාදීම පිණිස නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ඉදිකිරීම්, සත්කාරක සේවා සහ ගෘහස්ථ /රැකවරණය සැපයීම වැනි ක්ෂේත්‍රවල ශීඝ්‍ර ලෙස වර්ධනය වන කර්මාන්ත තෝරාගෙන ඇත. ඒ අනුව, අවම වශයෙන් එක් වසරක පළපුරුද්ද සහිත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත්ලාභී නිපුණ ශ්‍රමිකයන් සඳහා සුහුරු (SMART) කාඩ්පතක් ලෙසින් තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් 'නිපුණතා බලපත්‍රයක්' නිකුත් කිරීමට අනුමැතිය හිමිව ඇත.

වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීමට ඉඩමක් ගන්න මිලියන 70ක

05 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් අත්පත් කර ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් ඇමැති මණ්ඩලයේ අනුමැතිය මත වෙන් කරනු ලැබ ඇත.

එහෙත් වර්තමාන වටිනාකම අනුව එකී ඉඩම අත්පත් කරගැනීම සඳහා රුපියල් මිලියන 92ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, එකී ඉඩම පවරා ගැනීම සඳහා වෙන් කරන ලද මුදල රුපියල් මිලියන 92 දක්වා වැඩි කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

යාපනය විශ්වවිද්‍යාලය සහ

එක්සත් රාජධානියේ

බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

06 යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය පර්යේෂණ සඳහා වන ජාතික ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ඒට්‍රියල් ෆයිබ්‍රිලේෂන් (Atrial Fibrillation) කළමනාකරණය' පිළිබඳ ගෝලීය සෞඛ්‍ය කණ්ඩායම් පර්යේෂණය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට යෝජනා වී ඇත. යෝජිත අවබෝධතා ගිවිසුම මගින් යාපනය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන්ගේ සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා පිටිවහලක් සැලසෙනු ඇත. මේ සඳහා බර්මින්හැම් විශ්වවිද්‍යාලය විසින් පූර්ණ මූල්‍ය ආධාර සහ උපදේශන ආධාර වශයෙන් බ්‍රිතාන්‍ය පවුම් 209,000ක මුදලක් පර්යේෂණ ප්‍රදානයක් ලෙස වෙන් කිරීමට යෝජිතය. ඒ අනුව, යෝජිත පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ඒ අනුව අනුමැතිය ලබා දී ඇත.

පාසල් පෙළපොත්

මුද්‍රණයෙන් 45%ක

කොටසක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට

07 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂය සඳහා නොමිලේ බෙදා හරිනු ලබන පාසල් පෙළපොත් මුද්‍රණයෙන් 45%ක කොටසක් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පිරිනැමීමට අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

2018 වර්ෂයේදී සහ 2019 වර්ෂයේදී පාසල් පෙළපොත්වලින් කොටසක් මුද්‍රණය කිරීම ටෙන්ඩර් පටිපාටියෙන් පරිබාහිරව සෘජුවම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත පවරා ඇත. ඒ අනුව, එම සංස්ථාවේ ධාරිතාව හා අතීත කාර්යසාධනය සැලකිල්ලට ගෙන, 2021 වර්ෂය සඳහා අවශ්‍ය මුළු පාසල් පෙළපොත් ප්‍රමාණයෙන් කොටසක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුව විවෘත ටෙන්ඩර් පරිපාටියෙන් පරිබාහිරව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව‍ වෙත ලබාදීමට අනුමැතිය හිමිව ඇත.

දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා ක්‍රීඩා

ඇකඩමිය ක්‍රීඩා සරසවියක් ලෙස සංවර්ධනය කිරීම

08 දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා ක්‍රීඩා ඇකඩමිය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියගම පිහිටි අක්කර 125ක පමණ භූමිභාගයක ක්‍රීඩා ඇකඩමියක් සහ අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් අවශ්‍ය සියලු පහසුකම් සහිතව ඉදි කෙරෙමින් පවතී. 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශයේ යෝජනා කරනු ලැබ ඇති පරිදි ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමට හැකිවන අයුරින් එම ක්‍රීඩා සංකීර්ණයේ සැලසුම් සංශෝධනය කර සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනට අනුමැතිය ලැබී ඇත.

එසේම යෝජිත ක්‍රීඩා විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ක්‍රියාවලියට අදාළව සියලු කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආරම්භක උපකුලපති වශයෙන් කටයුතු කළ ආචාර්ය චන්ද්‍රා ඇඹුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට අනුමැතිය හිමිව ඇත.

වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීම

09 සීමාසහිත ජාතික කඩදාසි සමාගම සතු වාලච්චේන කඩදාසි කම්හලෙහි නිෂ්පාදන කටයුතු විවිධාංගීකරණ ව්‍යාපෘතියක් වශයෙන් නැවත ආරම්භ කිරීමට කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව ලබා දී තිබේ.

විභවතාවක් ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම ප්‍රමුඛ කාර්යයක් වශයෙන් රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, වාලච්චේන කඩදාසි කම්හල විවිධාංගීකරණ ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රතිව්‍යූහගතකරණය කර නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු දැනට සිදු කෙරෙමින් පවතී. ඒ අනුව, කර්මාන්තශාලා පරිශ්‍රයේ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම, කර්මාන්තශාලාවේ කටයුතු සඳහා ජලය සපයා ගැනීමෙන් පසුව අතිරික්ත ජලය පිරිසිදු කර ඉන් කොටසක් යොදාගෙන පානීය ජල බෝතල් සකස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම, වාලච්චේන කම්හල පිහිටි භූමි ප්‍රමාණයෙන් හිස්ව පවතින ඉඩම්වලින් අක්කර 100ක සුදුසු ඉඩම් ප්‍රමාණයක් තෝරාගෙන එකී භූමියේ එම ප්‍රදේශයට සුදුසු බෝග වගා කිරීම සහ වැඩබිමක් හා නිවාඩු නිකේතනයක් ආරම්භ කිරීම යන උප ව්‍යාපෘති සහිතව යෝජිත විවිධාංගීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ද අනුමැතිය හිමිව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවට

දීප ව්‍යාප්ත විදුලි සංදේශ

පද්ධතිය ප්‍රසම්පාදනය

10 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය ප්‍රසම්පාදනය කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් ලබාදී ඇති අතර, එම අරමුදල්වලින් කොටසක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය මිල දී ගැනීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත. ඒ අනුව, ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමැති මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි JV of Ms/ Dialog Axiata PLC and Ms/ Dialog Broadband Network (Pvt.) Ltd., වෙත ප්‍රදානය කිරීම එලෙස අනුමැතිය ලබාදී ඇත.

විදුලිබල මණ්ඩලය කේබල සහ සන්නායක වර්ග මිලදී ගැනීමේදී දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාව

11 දේශීය වශයෙන් නිපදවන කේබල සහ සන්නායක වර්ග ලංකා‍ විදුලිබල මණ්ඩලය සහ එයට අනුබද්ධ ආයතන සඳහා මිලදී ගැනීමේදී දේශීය නිෂ්පාදකයන්ට ප්‍රමුඛතාව ලබාදීම විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය අනුමැතිය හිමිව ඇත.

මෑතකදී ලංකා විදුලිබල මණ්ඩලය සහ එයට අනුබද්ධ ආයතන සඳහා භාණ්ඩ ආනයනයේ දී ලබා දී ඇති තීරුබදු සහනය හේතුවෙන් දේශීය නිෂ්පාදන සමඟ සැසඳීමේ දී විදේශීය නිෂ්පාදිතයන්ගේ මිල අඩුවීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය හා එයට අනුබද්ධිත ආයතන විදේශීය නිෂ්පාදන වැඩි වශයෙන් මිල දී ගැනීමට නැඹුරු වී ඇති අතර, එය දේශීය කේබල් නිෂ්පාදන කර්මාන්තයට අහිතකර අන්දමින් බලපා ඇත. එම තත්ත්වය යටතේ දේශීය නිෂ්පාදකයන්ට සාධාරණ තරගකාරීත්වයක් තහවුරු කිරීම පිණිස ලංකා විදුලිබල මණ්ඩලය සහ එයට අනුබද්ධිත ආයතන විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන විදුලි කේබල්, සන්නායක, ගැල්වනයිස් කරන ලද යකඩ වැනි භාණ්ඩ හා උපකරණ මිලදී ගැනීම සඳහා සිදු කරනු ලබන ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී, ලංසු ඇගයීමේදී දැනට පවතින දේශීය නිෂ්පාදන සඳහා ලබාදෙනු ලබන 20%ක ප්‍රමුඛතාවට අමතරව, අතිරේක සහනයක් වශයෙන් එවැනි භාණ්ඩ හා උපකරණ ආනයනය කරනු ලබන අවස්ථාවේදී අදාළ වන සියලු බදු ප්‍රමාණ අදාළ ආනයනකරුවන් ගෙවිය යුතු සේ සලකා තාක්ෂණික ඇගයීම සිදු කිරීමට අනුමැතිය හිමිව ඇත.

විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය

12 විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩි දියුණු කිරීමට සහාය වීමේ ව්‍යාපෘතිය - පැකේජ 7 ලොට් A2 බියගම ග්‍රිඩ් උපපොළෙහි ස්ථිතික Var පද්ධතියක් (±100 MVar) ස්ථාපනය කිරීම විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයඅනුමැතිය හිමිව ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් විදුලිබලය සැපයීමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට සහාය වීමේ ආයෝජන වැඩසටහන යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය මුදලක් ලබා දී ඇති අතර, එම ව්‍යාපෘතිය යටතේ බියගම ග්‍රිඩ් උපපොළෙහි ±100 MVar ස්ථිතික Var පද්ධතියක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Hyosung Heavy Industries Corporation වෙත ප්‍රදානය කිරීමට අනුමැතිය හිමිව ඇත.

පොහොර ප්‍රසම්පාදනය කිරීම

13 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2020 (අප්‍රේල්) ට මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන ඇමැති චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංව‍ර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) සඳහා 2020 අප්‍රේල් මාසයේ ආනයනය කළ යුතු රසායනික පොහොර තොග ආනයනය කිරීම පිණිස වූ ප්‍රසම්පාදනයන්, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් ආයතන වෙත පිරිනැමීම පිණිස සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 27,400 ± 5%ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 270.74කට වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා යූරියා (ප්‍රිල්ඩ්) මෙට්‍රික් ටොන් 2,040 ± 5%ක් මෙට්‍රික් ටොන් 1ක් ඇමෙරිකානු ඩොලර් 288.30කට ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටර්ප්‍රයිසස් ලිමිටඩ් වෙත.

සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 3,000 ± 5%ක් මෙට්‍රික් ටොන් 1ක් අමෙරිකානු ඩොලර් 263.00කට ගෝල්ඩන් බාලි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් වෙත.

 බුද්ධිකා ඉඹුලාන සහ නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න