එංගලන්තය ටෙස්ට් තරගාවලිය අත්හැර ලන්ඩන් යයි | දිනමිණ

එංගලන්තය ටෙස්ට් තරගාවලිය අත්හැර ලන්ඩන් යයි

ප්‍රින්ස් ගුණසේකර
කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේදී කිසිවෙකුට හෝ අතට අත නොදෙන බවට එංගලන්ත ක්‍රීඩකයෝ ප්‍රකාශ කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පී.සරා පිටියේ පැවැති පුහුණු තරගයේදී එංගලන්ත පිලේ ජෝ රූට් විසින් සභාපතිගේ කණ්ඩායමේ නායක ළහිරු තිරිමාන්න වෙත සහෝදරත්වය පළ කළ අයුරු.

කොරෝනා වෛරසය හේතුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අත්හැර සියරට බලා නැවත යාමට සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ තීරණය කළේය.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවැති සාකච්ඡාවකින් පසුව මේ තරගාවලිය කල්දමා ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය නැවත කැඳවීමට තීරණය කර තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම පරිදි මේ තරගාවලියට කල් දැමීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් මේ තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත්ව ඇති බැවින් ඉදිරියේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

ලෝක ටෙස්ට් ශූරතාවලිය අයටත් ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ 19 දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත්, දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය 27 වැනිදා සිට කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

මේ අතර මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවීමට නියමිතව තිබූ වේල්ස් කුමර විදුහල සහ සාන්ත සෙබස්තියන් විදුහල අතර 70 වැනි මොරටු රන් සටන ක්‍රිකට් තරගයද කල් දැමීමට තිරණය කර ඇති අතර මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භවීමට නියමිතව තිබූ මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විදුහල අතර කන්ද උඩරට නිල් මහා සටන ක්‍රිකට් තරගය ද කල්දමා ඇත.

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර හෙට එස්. එස්. සී පිටියේ පැවැත්වමට නියමිතවූ 46 වැනි සුලෝහිත සංග්‍රාමය එක්දින ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දැමීමට සංවිධායකයෝ තීරණය කරති.

මේ මස 20 හා 21 පී. සරා ඕවල් පිටියේ පැවැත්වීමට නියමිත ඩී. එස්. සේනානායක - මහනාම රන් සටන මහා ක්‍රිකට් තරගය, එම සති අන්තයේ ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැත්වීමට නියමිත රිච්මන්ඩ් - මහින්ද ආදරවන්තයන්ගේ සටන ආදී මහා ක්‍රිකට් තරග ද කල්දැමීමට සිදුව ඇත.

 

නව අදහස දක්වන්න