තමන් සමඟම තරග කරන්න | දිනමිණ

තමන් සමඟම තරග කරන්න

ගෙවී ගිය වසර අපට වැදගත් වන්නේ කුමක් නිසාද සහ උදා වූ වසර අර්ථවත් කරගන්නේ කෙසේද යන්න මහනුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී, ශාස්ත්‍රපති,කොට්ටාවේ සමිත හිමි මෙසේ බෞද්ධ දර්ශනයට අනුව පැහැදිලි කරති.

මහනුවර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී, ශාස්ත්‍රපති, කොට්ටාවේ සමිත හිමි

සාමය සමඟිය පිරුණු ලොවක් උදාවේවා කියල ජනමාධ්‍යවලින් සුබ පතනවා. ‘සුබ අලුත් අවුරුද්දක් වේවා’ කියල එකිනෙකා හමු වී ප්‍රාර්ථනා කරගන්නවා. ඒකත් චාරිත්‍රයක් පමණක් බවට පත්වෙලා. කවුරු කවුරුත් සුබ පතනවා; එතනින් ඉවරයි. එහි කිසිම තේරුමක් නැහැ. වචනයෙන් පමණක් නෙවෙයි අපි එය ක්‍රියාවට නගන්නත් ඕන.

ස්වාමීන්වහන්ස, වසරක් නිමා වී තවත් අලුත් වසරක් ආරම්භ වුණා. මෙම ක්‍රියාවලියට බෞද්ධයන් පෙළ ගැසීම බෞද්ධ දර්ශනය අනුව දකින්නේ කෙසේද?

ජනවාරි පළමුවනදායින් ආරම්භවන අලුත් වසර බෞද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැහැ. ක්‍රිස්තු වර්ෂය ලොව ව්‍යවහාර වර්ෂය වශයෙන් පිළිගෙන තිබෙන නිසා ලෝකයේ සියලු රටවල් ඒ අනුව කටයුතු කරනවා. ඒ සඳහා බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි වශයෙන් ආගම්වල බෙදීමක් නැහැ. බෞද්ධ දර්ශනය නීතියක්, සම්මතයක් නොවෙයි. ජීවිත යථාර්ථය අවබෝධකර දීමක් පමණයි. ඒ නිසා වසර ආරම්භ වෙන්නෙ කවදද, මාසය ආරම්භ වෙන්නෙ කවදද, දවස උදාවෙන්නෙ කවදද කියන කාරණය බෞද්ධ දර්ශනයට අදාළ නැහැ. බුදු දහමෙන් පෙන්වා දෙන්නේ උදාවන සෑම මොහොතකම අකුසලයෙන් ඈත්වෙන්න, කුසල් රැස් කරන්න කියලයි.

ගෙවීගිය වසර අමතක කර කටයුතු කිරීමට බොහෝ දෙනා පුරුදු වී සිටිනවා. එය එසේ කළ යුතුද?

ලෝක ධර්මතාවය අනුව ගෙවී ගිය සෑම මොහොතක්ම නැවත උදා වෙන්නෙ නැහැ. හැබැයි ගෙවී ගිය කාලය තුළදී අප කළ කටයුතු නැවත ආවර්ජනය කර, කළ යුතුව තිබූ නමුත් අතපසුවූ කාර්යයන් යළි ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් උදා වෙනවා. ඒ නිසා ගෙවී ගිය වසර සහමුලින්ම අමතක කර දමනවාට වඩා එම වසරේදී සිදු වූ අඩුපාඩු උදාවූ වසරේදීවත් මගහරවා ගැනීමට අධිෂ්ඨාන කරගැනීම වටිනවා. අතීතයෙන් ලද අද්දැකීම් තුළින් වර්තමානය සාර්ථක කරගන්න උත්සාහ ගන්න ඕන. එවිට අනාගතය යහපත් වේවි. අතීතය ප්‍රයෝජනයට නොගෙන කිසිවකුට අනාගතය ජයගන්න බැහැ. බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලයි . ඒ නිසා අපට අතීතය බොහොම වටිනවා. හැබැයි ඒ දෙස බුද්ධියෙන් බලන්න ඕන.

බෞද්ධ දර්ශනයට අනුව උදා වූ වසර සාරවත් කරගන්නේ කොහොමද?

කෙනෙකුගේ ජීවිතය යහපත් කරගන්න නිවැරදි සිහිය සහ නිවැරැදි දැක්ම අවශ්‍ය වෙනවා. නිවැරදි සිහියෙහි පිහිටා කරන කටයුතු සාර්ථක වෙනවා. බුදු දහමට අනුව නිවැරදි සිහිය යනුවෙන් අදහස් කරන්නේ යහපත් සිතුවිලි. යහපත් සිතුවිලි ක්‍රියාවට නගනවා නම් එහි ප්‍රතිඵලයත් යහපත් වෙනවා. යහපත් දේ ක්‍රියාත්මක වෙද්දි පින්, කුසල් උපදිනවා. පින සහ කුසලය තුළින් තමයි ජීවිතයේ සැනසීම ලැබෙන්නෙ. ලෝකයේ මිනිසුන් කරන කටයුතු අවබෝධයෙන් මෙන්ම අනවබෝධයෙන් සිදුවන අවස්ථා තිබෙනවා. ඒ අවස්ථා දෙකේදිම යහපත් දේ හා අයහපත් දේ සිදුවෙනවා. අප කරන කටයුතු හොඳ අවබෝධයෙන් කරනවානම් යහපත් දේම පමණක් සිදු වේවි. මිනිසාට, සත්ත්වයාට, පරිසරයට හිතකර ආකාරයට කටයුතු කරනවානම් ඒවා යහපත් ක්‍රියාවන්. නමුත් අද සමාජයේ එවැනි යහපත් ක්‍රියා දකින්න අඩුයි.

මිනිසා තුළින් යහපත් ක්‍රියාදකින්න නොලැබෙන හේතුව මොකක්ද?

ප්‍රධානම දේ තමයි ආත්මාර්ථකාමීත්වය. තමන් පමණක්, තමන්ගේ සතුට පමණක් කියන චේතනාව නිසා මිනිසා වැරදිවලට පෙළඹෙනවා. අද මිනිසුන් තුළ මිනිස්කම වෙනුවට වර්ධනය වෙන්නෙ තරගකාරීත්වය. එකිනෙකා අබිබවා යන විකෘති මානසිකත්වය. මෛත්‍රිය, කරුණාව, දයාව වර්ධනය කරගන්නවා වෙනුවට වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් සිත් පුරවා ගන්නවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව තුළින් මිනිසා දියුණු වෙනවා වෙනුවට විනාශ වෙනවා. එවැනි පුද්ගලයන් කොතරම් උගත්, බුද්ධිමත්, වයසින් වැඩි වුවත් බුදු දහමේ ඉගැන්වෙන්නේ බාලයන් විදියටයි. යම් පුද්ගලයකු තරග කළ යුත්තේ තවත් කෙනෙකු සමඟ නොව තමා සමගමයි. තමන් සතුව පවතින යහපත් ගුණාංග වර්ධනය කරගැනීමටයි. බුදුරජාණන් වහන්සේ නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිස අන්‍ය ආගමිකයන් සමඟ තරග කළේ නැහැ. උන්වහන්සේ සතුව පවතින ඥානය වැඩිකර ගැනීමට සෑම මොහොතකම උත්සාහ කළා. පුද්ගලයකු දියුණු වෙන්නෙ තමන් තුළ පවතින යහපත් ගුණාංග වර්ධනය කරගැනීමෙන් පමණයි.

නව වසරක් උදාවන සෑම මොහොතකම ‘සාමය හා සමගිය’ යන වචන පෙළ නිතර කියැවෙනවා. ඒත් එවැනි දෙයක් ක්‍රියාවට නැගෙන්නෙ නැහැ නේද?

සාමය සමගිය පිරුණු ලොවක් උදාවේවා කියල ජනමාධ්‍යවලින් සුබ පතනවා. ‘සුබ අලුත් අවුරුද්දක් වේවා’ කියල එකිනෙකා හමු වී ප්‍රාර්ථනා කරගන්නවා. ඒකත් චාරිත්‍රයක් පමණක් බවට පත්වෙලා. කවුරු කවුරුත් සුබ පතනවා; එතනින් ඉවරයි. එහි කිසිම තේරුමක් නැහැ. වචනයෙන් පමණක් නෙවෙයි අපි එය ක්‍රියාවට නගන්නත් ඕන. බුදුරජාණන් වහන්සේ තරම් සාමය,සමගිය අගය කළ කෙනෙකු නැහැ. උන්වහන්සේ එය සෑම මොහොතකම ක්‍රියාවට නගල ආදර්ශවත් වුණා. සාමය, සමගිය වර්ධනය වෙන්න නම් මිනිස් හදවත් තුළ කරුණාව, මෛත්‍රිය, දයාව තිබෙන්න ඕන. එවැනි ගුණාංගවලින් පෝෂණය වූ පුද්ගලයා වෙතින් සාමය හා සමගිය සමාජගත වෙනවා.

එවැනි තත්ත්වයක් නිර්මාණය කිරීමට කළ යුත්තේ කුමක්ද?

පළමුව තමන් නිවැරදිවිය යුතුයි. ගත වූ කාලය තුළ තමා කළ කී දේ පිළිබඳ ස්වයං විමර්ශනයක් කළ යුතුයි. එහිදී එකිනෙක ක්‍රියාවන් යහපත් හා අයහපත් වශයෙන් වර්ගීකරණය වේවි. එයින් අයහපත් දේ යහපත් කරගැනීමටත්, යහපත් දේ වර්ධනය කර ගැනීමත් කළ යුතු වෙනවා. මේ සියල්ලටම හේතුව අපේ සිතයි. යමක් කරන්නට පෙර කීපවරක් සිතා බලන්න ඕන. අපි කරන්නෙ මොනවද? එයින් ලැබෙන ප්‍රතිඵල මොනවද? ඒවා තමන්ට වගේම සමාජයටත් යහපත් දෙයක්ද? තමන්ට යහපත් වී සමාජයට අයහපත් වෙනවානම් එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය ගන්න ඕන. මොකද මේ සමාජයේ ජීවත් වෙන්නෙ අපි විතරක් නෙවෙයි. සමාජය විසම වූවොත් ඒකෙ ප්‍රතිඵල අපටත් ලැබෙනවා. ඒ නිසා සියලු දෙනාටම මූලික වෙන සිත සහ සිතුවිලි පිරිසුදු කරගන්න ඕන. ඒ සඳහා බුද්ධ දර්ශනයෙන් ගතයුතු දේ බොහොමයි.

නව වසර සාර්ථක කරගන්න සමාජයට ඔබවහන්සේ දෙන පණිවුඩය මොකක්ද?

කරන්න තිබෙන්නෙ බොහොම සරල දෙයක්. පළමුව තමන් ධාර්මික ‍ෙවන්න. ධර්මයට අනුව ක්‍රියාකරන්න. කර්මය විශ්වාස කරන්න. හොඳ දෙයක් කළොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දෙයක් කළොත් නරක ප්‍රතිඵල ලැබෙනවා. ඒක තමයි ලොව පවතින සත්‍යය ඒ නිසා ජාතිය, කුලය, ආගම කුමක් වුවත්, සමරන උත්සවය කුමක් වුවත් මේ මොහොතේ ඉඳලම උත්තම ගුණාංගවලින් පෝෂිත පුද්ගලයෙක් ‍ෙවන්න උත්සාහ කරන්න. එවිට ඔබත්, සමාජයත් යහපත් වේවි.

සටහන - නිශාන් මෙන්ඩිස්

නව අදහස දක්වන්න