ඇඟලුම් රෙදි මෙරටම හදන්න රෙදිපිළි උද්‍යානයක් | දිනමිණ

ඇඟලුම් රෙදි මෙරටම හදන්න රෙදිපිළි උද්‍යානයක්

බුද්ධිකා බ්‍රාහ්මණ‍ගේ

2020 දී 6%ක ඇඟලුම් අපනයන වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය මේ වසරේ අපනයන 6 %ක වර්ධනයක් අපේක්ෂා කරන අතර, ආයෝජන මණ්ඩලයේ සහයෝගයෙන් විදේශ ආයෝජන සමඟ එක්වී අක්කර 200ක රෙදිපිළි උද්‍යානයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ. එමෙන්ම ඇඟලුම් කර්මාන්ත පිළිබඳ දැනුම හා අත්දැකීම් භාවිතයෙන් මහා පරිමාණ ඇණවුම් ආකර්ෂණය කර ගැනීමට කර්මාන්තකරුවන් සිය අවධානය යොමු කරයි. 

ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ දත්තයන්ට අනුව, පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සියයට 5.8 කින් වර්ධනය වී අමරිකානු ඩොලර් බිලියන 4.8ක් විය. ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ඇස්තමේන්තු කර ඇත්තේ 2019 අවසන් වන විට ඇඟලුම් අපනයනය සියයට 6කට වඩා වැඩි වී අමරිකානු ඩොලර් බිලියන 5.3-5.4ක් දක්වා වර්ධනය වී ඇති බවයි.

‘2020 වර්ෂය සඳහා සමස්ත වර්ධනය එක්සත් ජනපදය හා යුරෝපීය සංගමය යන වෙළෙඳපොළ දෙකටම සමානව සියයට 6ක් පමණ වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. කර්මාන්තය අපේක්ෂා කරන්නේ එරාවූර්හි රෙදිපිළි උද්‍යානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව නිෂ්පාදනයන් සඳහා අවශ්‍ය රෙදි මෙරටම නිපදවිය හැකි බැවින් දැනට ඉන්දියාවෙන් හා චීනයෙන් කෙරෙන රෙදි ආනයනය අඩු කර ගැනීමයි. එමෙන්ම මේ ආනයන කටයුතු සඳහා වැය කරන කාලය අඩුකර ගත හැකි බවයි. මේ වසර සඳහා අපගේ ප්‍රධාන ඉලක්කය මෙයයි‘ යනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගමයයේ සභාපති රෙහාන් ලඛානි මාධ්‍ය වෙත පවසයි.

යෝජිත රෙදිපිළි උද්‍යානය පිහිටුවීම සඳහා එරාවූර් හි වෙන්කර ඇති අක්කර 200ක ඉඩම අත්පත් කර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බවත්. ඉඩම අත්පත් කර ගත් පසු ඉඩම් සංවර්ධන කටයුතු සඳහා ආයෝජන මණ්ඩලය සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් කේන්ද්‍රීය ජල පවිත්‍රාගාරයක් පිහිටුවීමට විභව ලංසුකරුවන්ට ආරාධනා කිරීම පළමු පියවර බවත් ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සභාපති වැඩිදුරටත් අවධාරාණය කරයි. යෝජිත රෙදිපිළි උද්‍යානය නිම කිරීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 50-100 අතර විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරයි.

මේ ආයෝජනයන් සඳහා ඉන්දියාව සහ චීනය පදනම් කරගත් ජාත්‍යන්තර රෙදි නිෂ්පාදකයන්ගෙන් විශාල උනන්දුවක් ඇති බව අනාවරණය වන අතර. බොහෝ චීන ආයෝජකයන් දැනටමත් වියට්නාමයට සහ බංග්ලාදේශයට ප්‍රවේශවී තිබේ. ශ්‍රී ලංකාව තුළ නිසි පහසුකම් නොමැති බැවින් එවැනි ආයෝජකයන්ගේ අවධානයට ලක්වී නොමැති අතර, ක්‍රියාත්මක වූ පසු චීන ආයෝජන විශාල ප්‍රමාණයක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව එක්සත් ජනපද හා යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත වේගයෙන් ප්‍රවේශවීමට නැව්ගත කිරීම සඳහා හැකියාව හිමිවන උපායමාර්ගික පිහිටීම වාසියක් වුවද අපනයනකරුවන්ට මෙහි වාසිය නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමට නොහැකිව පැවතියේ විදේශයන්ගෙන් රෙදි ආනයනය කිරීමට සිදුවීමයි.

‘අප ආනයනය කරන රෙදිපිළි බොහොමයක් චීනයෙන් සහ ඉන්දියාවෙන් වන අතර, එම ආනයනය කිරීම් සඳහා ගත වන කාලය නිෂ්පාදන කාලයට එකතු වේ. දේශීය වශයෙන් ලබාගත් රෙදිපිළි සමඟ අපට වඩා විශාල ඇණවුම් ඉලක්ක කළ හැකිය. තවද, දේශීය අගය එකතු කිරීම වැඩි වන විට රෙදි සඳහා වැය කරන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට අපට හැකි වනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සභාපති රෙහාන් ලඛානි පවසයි. රෙදිපිළි උද්‍යානය වසර දෙකක් තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2025 වන විට ඇඟලුම් අපනයනය සඳහා අමරිකානු ඩොලර් බිලියන 8ක මධ්‍ය කාලීන ආදායමක් සඳහා වන ඉලක්කය කරා ළඟාවීමට කර්මාන්තය සඳහා දේශීය වශයෙන් රෙදි නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් වේ.

නව අදහස දක්වන්න