ශීලය ප්‍රදර්ශනය කිරීම බුදු දහමට විරුද්ධයි | දිනමිණ

ශීලය ප්‍රදර්ශනය කිරීම බුදු දහමට විරුද්ධයි

පුවක්පිටිය නෝනගම ශ්‍රී සුචරිත වර්ධනාරාම විහාරාධිපති කිරිවැල්දොල චන්දානන්ද ස්වාමීන් වහන්සේ

අධික ආශාවන් ඔස්සේ හඹා යාම හෝ අහිමි වී යන දේ ඔස්සේ තැවෙමින් හඬා වැටීම වෙනුවට අල්පේච්ඡතාවය කින් යුතුව ජීවත්වීමේ වටිනාකම කුමක් ද සහ බුද්ධ දේශනාවේ තුළ සඳහන් අල්පේච්ඡතාවය සහ සාමාන්‍ය සමාජය තුළ අල්පේච්ඡ බව ලෙස අප දකින කාරණාව සමානද යන්න පිළිබඳ පුවක්පිටිය නෝනගම ශ්‍රී සුචරිත වර්ධනාරාම විහාරාධිපති කිරිවැල්දොල චන්දානන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරති

යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් තුළ ධුතාංග, සීලාදී ගුණ ධර්ම රැඳී පවතිනවා නම් ඒවා පිළිබඳ පවසමින්, ඒවා ප්‍රදර්ශනය කරමින් සිටීම වෙනුවට ඒවා ආරක්ෂා කර ගනිමින් ජීවත් වනවා නම් එය ධුතාංග අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා. පරියාප්ති අල්පේච්ඡතාවය භික්ෂූන් වහන්සේලා කෙරෙහි පමණක් නොව ගිහියන්ටත් අදාළ වන කරුණක් තමන්ගේ දහම් දැනුම හෝ වෙන යම් දැනුමක් තවත් අයකු යටපත් කිරීම සඳහා හෝ ලාභ සත්කාර උදෙසා භාවිතා නොකිරීම පර්යාප්ති අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා.

*ස්වාමීන් වහන්ස අල්පේච්ඡ බව යැයි අප සිතා සිටින සංකල්පය සහ බුද්ධ දේශනාව තුළ සඳහන් අල්පේච්ඡ බව එකක්මද?

අල්පේච්ඡ බව එසේත් නැතිනම් අප්පෙච්ඡ යන වචනයේ අර්ථය මුලින්ම පැහැදිලි කරගත යුතුයි. "අප්ප" යන්නෙන් අදහස් වන්නේ "අඩු" යන තේරුම. එසේම ඉච්ඡ යනු "ආශාව". ඒ අනුව අප්පෙච්ඡ නැතිනම් අල්පේච්ඡ යනු ආශා අඩු බවයි. මධ්‍යස්ථ ස්වභාවය , උපේක්ෂා සහගත බව කියන්නෙත් මේ අල්පේච්ඡ බවට. අල්පේච්ඡ බව යැයි සඳහන් කළ විට අප බොහෝ අවස්ථාවල තේරුම් ගන්නේ සෑම දෙයක්ම අඩුවෙන් පාවිච්චි කිරීම ලෙසයි. නමුත් බුද්ධ දේශනාවේ අල්පේච්ඡ බව යනුවෙන් සඳහන් වන කරුණු සමඟ එම තේරුම් ගැනීම වඩාත් හොඳින් ගැළපෙන්නේ නැහැ.

 තමන් ළඟ ඇති ගුණ ධර්ම එළියට නොපෙන්වා සඟවාගෙන සිටීම අල්පේච්ඡ බව ලෙසින් බුද්ධ දේශනාවේ සඳහන් වනවා. යම් කිසිවෙක් කිසියම් මාර්ග ඵලයක් ලබා ඇතැයි සිතමු නමුත් එය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී දිගින් දිගටම පවත්වාගෙන යාම අල්පේච්ඡතාවයට එක් උදාහරණයක්. ගිහි ජීවිතය තුළ වුවත් තමා ලැබූ කිසියම් වරප්‍රසාදයක් හෝ නම්බුනාමයක් අන් අයට කියාපාමින් ප්‍රදර්ශනය කිරීම අල්පේච්ඡ බවට පටහැනි ක්‍රියාවක් "මහිච්ඡ" බව ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ එසේ තමා පිළිබඳව තමාම ආත්ම වර්ණනා කර ගනිමින් තම ගුණ ධර්ම ප්‍රද්ර්ශනය කර ගැනීම. ත්‍රිපිටකයේ, අංගුත්තර නිකායේ, අට්ඨක නිපාතයේ එන මහානාම සූත්‍රයෙහි අල්පේච්ඡ බව පිළිබඳව සඳහන් වෙනවා.

*ස්වාමීන් වහන්ස අල්පේච්ඡ බව සඳහා බුද්ධකාලීන උදාහරණ මොනවාද?

බුදුරජාණන් වහන්සේ සුන්සුමාර ගිරි ප්‍රදේශයේ මිගදාය වනන්තරයේ වැඩ වසන කාලයේ චේතිය නම් ජනපදයෙහි පිහිටි ජිනවංස නම් අභයභූමියක අනුරුද්ධ නමින් ස්වාමීන් වහන්සේ නමක් වැඩ වාසය කළා. උන්වහන්සේ නිතරම ප්‍රිය කළේ ජනාකීර්ණ ප්‍රදේශයකින් බැහැරව බෙහෙවින් නිස්කලංක තැනක වාසය කරන්න. එසේම උන්වහන්සේ හුදෙකලාව බෙහෙවින් අගය කළා. මෙසේ වැඩ වාසය කරන උන්වහන්සේට අපූරු අදහසක් පහළ වුණා. "අප්පිච්ඡායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස" ලෙසින් උන්වහන්සේ ඒ පිළිබඳ සඳහන් කළා. එහි අර්ථය "බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයන් උදෙසා මිස මහිච්ච පුද්ගලයන් උදෙසා නොවෙයි" යන්නයි.

තවත් උදාහරණයක් නම්, බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ආරාමය වෙත දිනක් රාත්‍රියෙහි පැමිණි රාහුල තෙරුන් වහන්සේට රාත්‍රිය ගත කිරීමට හැකි තැනක් නොලැබීම හේතුවෙන් උන්වහන්සේ එදින රාත්‍රිය ආරාමයෙහි තිබූ වැසිකිළියක ගත කළා. පසුදින උදෑසන බුදුන් වහන්සේ වැසිකිළිය තුළට ගමන් කිරීමේදී එහි රාහුල ස්වාමීන් වහන්සේ සිටින බව දැන ඒ පිළිබඳව විමසීමක් කළා. එහිදී පෙර දින රාත්‍රියෙහි රාහුල හිමියන් එම ස්ථානයේ ගත කළ බව බුදුන් වහන්සේ දැන ගත්තා. කෙළෙසුන් නසා සිටි බැවින් බුදුන් වහන්සේට එහිදී කිසිදු කණගාටුවක් දැනුණේ නැහැ.

රාහුල ස්වාමීන් වහන්සේට උන්වහන්සේ ගිහි කල බුදුන්වහන්සේගේ පුතුණුවන් වූ බැවින් එම වරප්‍රසාදය භාවිතාකර එදින රාත්‍රියෙහි නවාතැන් ගැනීමට ස්ථානයක් ලබා ගැනීමට ඉඩ තිබූ නමුත් උන්වහන්සේ තුළ තිබූ අල්පේච්ඡ බව හේතුවෙන් එසේ තමා සතු බලතල භාවිතා කරමින් වරප්‍රසාද ලබා ගැනීමට උත්සාහ කළේ නැහැ. එසේම තමාට සිදු වූ දේ පිළිබඳ උන්වහන්සේ කනගාටු වුණේ නැහැ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුතණුවන් නිසා වෙනත් පාර්ශවයක් විසින් ආරාමයෙහි තිබූ පහසුම කාමරය උන්වහන්සේට ලබාදුන්නත් එයින් ප්‍රමෝදයට හෝ ආඩම්බරයට පත් වන නසිකත්වයක් උන්වහන්සේ තුළ තිබුණෙත් නැහැ. පසුතැවීම හෝ ප්‍රීතියෙන් පිනායාම යන දෙකෙහිම අන්තයට නොගොස් මැදහත් සිතින් ඉවසීම අල්පේච්ඡතාවයේ ලක්ෂණයක්.

* භික්ෂු සමාජය සඳහා අල්පේච්ඡතාවය යන සංකල්පය ගලපා ගත හැක්කේ කෙසේද?

අල්පේච්ඡ බව කොටස් හතරකින් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ධුතාංග අල්පේච්ඡතාවය, පරියාප්ති අල්පේච්ඡතාවය, අධිගම අල්පේච්ඡතාවය සහ ප්‍රත්‍ය අල්පේච්ඡතාවය ලෙසින් සඳහන් වන එම කාරණා හතර ප්‍රධාන වශයෙන් දේශනා කර තිබෙන්නේ භික්ෂුන් වහන්සේ අරභයා. භික්ෂූන් වහන්සේලාට ධුතාංග දහතුනක් නම් කර තිබෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධූතාංගධාරී භික්ෂූන් අතර අග්‍ර තනතුර දරුවා. නමුත් කිසිදු අවස්ථාවක උන්වහන්සේ තමා දැරූ තනතුර පිළිබඳව අන් අයට පවසමින් ඒ පිළිබඳ උදම් ඇනුවේ නැහැ. උන්වහන්සේ දිගින් දිගටම එම ධුතාංග ආරක්ෂා කරමින් පවත්වාගෙන ගියා.

යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් තුළ ධුතාංග, සීලාදී ගුණ ධර්ම රැඳී පවතිනවා නම් ඒවා පිළිබඳ පවසමින්, ඒවා ප්‍රදර්ශනය කරමින් සිටීම වෙනුවට ඒවා ආරක්ෂා කර ගනිමින් ජීවත් වනවා නම් එය ධුතාංග අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා. පරියාප්ති අල්පේච්ඡතාවය භික්ෂූන් වහන්සේලා කෙරෙහි පමණක් නොව ගිහියන්ටත් අදාළ වන කරුණක් තමන්ගේ දහම් දැනුම හෝ වෙන යම් දැනුමක් තවත් අයකු යටපත් කිරීම සඳහා හෝ ලාභ සත්කාර උදෙසා භාවිතා නොකිරීම පර්යාප්ති අල්පේච්ඡතාවය ලෙසින් හඳුන්වනවා.

සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන සතර මඟ සතර ඵල ලාභී භික්ෂුවක් විසින් තමන් මගඵල ලාභීන් බව සඟවාගෙන සිටීම, එය ප්‍රදර්ශනය නොකිරීම අධිගම අල්පේච්ඡතාව ලෙසින් හඳුන්වනවා. අල්පේච්ඡතාවය කාණ්ඩ කළ කොටස් හතරෙන් අවසාන කොටස ප්‍රත්‍ය අල්පේච්ඡතාවයි. භික්ෂූන් වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසය ලැබෙනවා. එසේ ලැබෙන සිව්පසය පමණ දැන ලබා ගැනීම සහ භාවිතා කිරීම ප්‍රත්‍ය අල්පේච්ඡතාවය ලෙස සඳහන් කරනවා.

*පන්සිය පනස් ජාතක පොත තුළ අල්පේච්ඡතාවයට උදාහරණ දෙන කතා වස්තු පිළිබඳවත් සඳහන් කළ හැකිද ස්වාමීන් වහන්ස?

පන්සිය පනස් ජාතක කතා පොත තුළ එන සියලුම කතාවල අල්පේච්ඡතාවය යන සංකල්පය අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට පෙර බෝසත් අවධියේ උන්වහන්සේ ප්‍රගුණ කළ ගුණාංග අතර අල්පේච්ඡතාවය ඉහළින්ම තිබුණා. උදාහරණයක් ලෙස මඝ මානවක කතා පුවත පිළිබඳව විමසා බලමු. මඝ මානවකයා විසින් එක්තරා අවස්ථාවක ඔහුගේ පාවිච්චිය සඳහා සකස් කර ගත් ස්ථානය වෙනත් පුද්ගලයෙක් අයිති කර ගන්නවා.

ඒ පිළිබඳව තැවීමකින් තොරව ඔහු වෙනත් ස්ථානයක් සකස් කරගන්නවා. මේ ආකාරයට ඔහු ආරම්භ කරන ක්‍රියාවලිය බොහෝ පිරිස් එක් රැස්කර ගනිමින් කරන සමාජ සේවා කටයුත්තක් බවට පත්වෙනවා. ඔවුන් මං මාවත් තනනවා. රෝහල් විශ්‍රාම ශාලාදිය ඉදි කරනවා. අවසානයේදී ඔහු පිළිබඳව ඊර්ෂ්‍යාවෙන් පසුවන ගම් ප්‍රධානියකු ඔහු ඇතුළු කණ්ඩායම පිළිබඳ රජුට බොරු කේලාම් පැවසීම හේතුවෙන් මරණීය දණ්ඩනයට පවා නියම වෙනවා. නමුත් යහගුණ හේතුවෙන් ඔහු ඇතුළු පිරිස මරණයෙන් ගැලවෙනවා. පසු භවයක දිව්‍ය සම්පත් ලබන්නටත් ඔවුන් තුළ තිබූ අල්පේච්ඡ බව ඉවහල් වනවා.

අල්පේච්ඡතාවය යනු දෙලොවම යහපත් කරවීම සඳහා, සෑම පුද්ගලයකු තුළම තිබිය යුතු ඉතාම උසස් ගුණාංගයක්.

 

සටහන - දිල්රූ ජයසේකර
ඡායාරූප - චමිල ප්‍රදීප් ගුණසේන

නව අදහස දක්වන්න