සෑම පාසල් දරුවකුම ක්‍රීඩාවක නිරත විය යුතුයි | දිනමිණ

සෑම පාසල් දරුවකුම ක්‍රීඩාවක නිරත විය යුතුයි

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්

පාසල් ක්‍රීඩාව නැංවීමට මෑත කාලීනව විශාල වැඩකොටසක් ඉටු කිරීමට හැකි වූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

අධ්‍යාපන ඇමැතිවරයා මේ බව පැවසුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පෙරේදා (30) පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවයේ දීය.

එහිදී ඇමැතියරයා මෙසේ ද සඳහන් කළේය.

ඒ අනුව පාසල් ක්‍රීඩාව නැංවීමට ඉතිහාසයේ පළමුවරට පාසල් පද්ධතියට එකවර ක්‍රීඩා පුහුණුකරුවන් හාරදහසකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කටයුතු කළා. නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී දරු පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් සෑම පාසල් දරුවකුටම ක්‍රීඩාවක නිරත වීම අනිවාර්ය කිරීම ද සිදු කළ අතර පළමුවරට පාසල් පද්ධතිය තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ වැඩසටහනක් හඳුන්වා දීම, ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ඒ අතර වෙනවා.

සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොතකා, රටේ සෑම දරුවකුගේ වසර 13ක අධ්‍යාපන අයිතිය තහවුරු කර තිබෙනවා. 2017 වසරේ සිට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දී ඇති නිසා ක්‍රීඩා ක්ෂේත්‍රයට වැඩි නැඹුරුතාවක් දක්වන කිසියම් දරුවකුට සාමාන්‍ය පෙළ විභාග කඩඉම ජයගැනීම අපහසු වුවද, අනාගතය අඳුරු වීමට කිසිදු ඉඩක් නැහැ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ තම දක්ෂතා ද සහිත ව උපාධි අධ්‍යාපනය තෙක් ළඟාවීමට එවැනි දරුවන්ට ඉඩ සලසා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය 35 වැනි වරට සංවිධානය කරන ලද මේ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා තරග ඉකුත් 30 දා ආරම්භ වූ අතර, පෙරේදා (31) ඊයේ (1) අද (2) සහ හෙට (3) දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී එම තරග පැවැත්වේ. මේ තරගාවලියේ සමාප්ති උත්සවය හෙට (3) පස්වරු 2.30ට සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට ආසන්න සංඛ්‍යාවක් මේ ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට නියමිත ය.

 

නව අදහස දක්වන්න