සියලු මිනිස් අවයව බද්ධ කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව විශාල ජයක් ලබනවා | දිනමිණ

සියලු මිනිස් අවයව බද්ධ කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව විශාල ජයක් ලබනවා

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න

ශරීරයේ සියලු අවයව බද්ධ කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ජයග්‍රහණය කිරීමට තිබෙන්නේ තව නොබෝ දිනයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (17) අරලියගහ මන්දිරයේ පැවති පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා පුහුණුවට බඳවා ගැනීම සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

තව නොබෝ දිනකින් පෙනහළු බද්ධය සිදු කිරීමෙන් පසුව සියලු අවයව බද්ධ කිරීමේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබනවා. මේ වන විට හෘදය, අත් පා, අග්න්‍යාස, වකුගඩු ඇතුළු සියලු ශරීර අවයව සාර්ථක ලෙස බද්ධ කරමින් වෛද්‍ය සේවාවේ දක්ෂතා ලෝකයට පෙන්වා තිබෙනවා. රාජ්‍ය සේවාවට අද පත්වීම් ලබන ඔබ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවාවට එක් වෙනවා. රජයේ සෙසු සේවාවන්ට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවාව සුවිශේෂයි. මේ සේවාවේ ඉඳගෙන මුදලක් ලබා ගන්නවා වගේම පිනක් රැස් කර ගන්න පුළුවන්. රෝගීන්ට මානුෂීය ආකාරයට කතා කිරීමෙන් ඔවුන්ගේ රෝගවලින් සියයට 50ක් සුවපත් වෙනවා.

ඉතිරි සියයට 50 වෛද්‍යවරයා විසින් සුවපත් කරනවා. මම මේ අමාත්‍යාංශය භාර ගන්නා විට පිළිකා රෝගීන් බෙහෙත් නැතිව මරණයට පත් වුණා. පසුගිය ආණ්ඩුව කාලයේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කළේ රුපියල් ලක්ෂ 10ක් විතරයි. ඉන්පසුව රෝගියා මරණයට පත් වෙනවා. අපි ඒ තත්ත්වය වෙනස් කළා. මේ වන විට ඇතැම් එක් පිළිකා රෝගියකුට රුපියල් ලක්ෂ 500 ඉක්මවා වියදම් කරනවා.

එම නිසා ඒ රෝගීන්ගේ ආයු කාලය වැඩි වී තිබෙනවා. මේවා තමයි පින් වැඩ. මිනිසුන්ගේ ජීවිත රුපියල් සතවලින් මැනිය නොහැකියි. අක්ෂි කාච, ස්ටෙන්ත් නොමිලේ ලබාදීම නිසා රෝගීන්ට විශාල සහනයක් ලැබී තිබෙනවා. රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ හෘද රෝගීන් හය දෙනකු රෝහලට ගෙනාවොත් පස්දෙනකු මරණයට පත් වෙනවා. අද හය දෙනකු රෝහලට ගෙනාවොත් පස් දෙනකු ජීවත් වෙනවා. කලාතුරකින් තමයි එක් අයකු මරණයට පත් වෙන්නේ. පසුගිය කාලයේ අවුරුද්දකට අක්ෂි කාච බද්ධ කිරීම් සිදු කළේ 8000ක් පමණ. නමුත් අක්ෂි කාච නොමිලේ ලබාදීමට ආරම්භ කිරීමත් සමඟ වසරකට කාච ලක්ෂයක් අපි ගෙන්වීමට තීරණය කළා.

උත්පත්තියෙන්ම බිහිරි දරුවන් සිටිනවා. ඔවුන්ට කර්ණසංඛ බද්ධය සිදු කළ යුතුයි. පිටරටකට ගොස් එම සැත්කම කරගැනීමට රුපියල් ලක්ෂ 36කට අධික මුදලක් වැය වෙනවා. ලංකාවේ නොමිලේ මේ සැත්කම ආරම්භ කර දුප්පත් දරුවන්ට ඇසීම ලබා දෙනවා. මේ වන විට කර්ණසංඛ බද්ධ කිරීම් 1000කට වැඩි ගණනක් කර තිබෙනවා. රුධිරගත පිළිකා රෝග නිසා දරුවන් මරණයට පත් වෙනවා. ඔවුන්ට ඇටමිඳුළු බද්ධය සිදු කළ යුතුයි. මේ බද්ධ කිරීමට විදෙස්ගත වුවහොත් රුපියල් ලක්ෂ 80ක් වැය වෙනවා.

මෙරට මේ සැත්කම ආරම්භ කිරීමෙන් පසුව සැත්කම් 52ක් සිදු කර තිබෙනවා. වකුගඩු 400කට වඩා බද්ධ කර තිබෙනවා. මේ සියලු සේවා රෝගීන්ට නොමිලේ ලබාදීම සිදු කරනවා.

සන්ධ්‍යා කරුණාරත්න සහ සඳුනි රණසිංහ

නව අදහස දක්වන්න