ත්‍රස්ත - මතවාද පරාජය කිරීම...! | දිනමිණ

ත්‍රස්ත - මතවාද පරාජය කිරීම...!

ත්‍රස්තවාදය වැළැක්වීමට අදාළ න්‍යායාත්මක කතාවක් අගමැතිවරයා විසින් සිදුකර තිබේ. එම කතාව කාගේත් අවධානයට ‍ලක්විය යුත්තේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර පමණ ක නො ව; ඔවුන්ගේ මතවාද පරාජය කළ ‍හැකි ක්‍රමවේදය ද එහි ඇති නිසා ය. ත්‍රස්තවාදය අවි බලයෙන් පරාජය කළ යුතු යැයි කෙනකු සිතන්නට පුළුවන. එහෙත් අවි බලයෙන් පමණක් මර්දනය කරන ත්‍රස්තවාදය යළි නැඟී සිටින්නට පුළුවන. ලෝක අත්දැකීම් ගතහොත්; ත්‍රස්තවාදී ව්‍යාපාර රාශියක් ක්‍රියාත්මක වන අතර ඔවුන්ගේ අරමුණු හා ඉලක්ක විවිධාකාර වෙයි. එබැවින් ත්‍රස්තවාදයේ ස්වරූප‍ය හඳුනාගෙන ඊට මුහුණදීම වඩාත් බුද්ධිමත් ප්‍රති-ක්‍රියාව වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා දක්වන ආකාරයට මූලික කරුණු තුනක් පදනම් කරගෙන ත්‍රස්තවාදයට මුහුණදිය යුතු ය. පළමු කාරණය වන්නේ ත්‍රස්ත සංවිධානවලට මහජන සහයෝගය ලැබේ නම්; එය වළක්වා ගැනීම ය. ත්‍රස්ත ව්‍යාපාර සඳහා සාමාජිකයන් බඳවාගැනීම නතර කිරීම එහි ඉලක්කය වෙයි. දෙවන කාරණය වන්නේ ත්‍රස්තවාදී ප්‍රහාර වළක්වා ගැනීම ය. ප්‍රහාරයකට අවශ්‍ය පසුබිම ගොඩනැඟීම නතර කිරීමත්, ත්‍රස්තවාදී ක්‍රියාවකට අවශ්‍ය සුළු හෝ ඉඩ ප්‍රස්ථා නැති කිරීමත් එහි අරමුණ වෙයි. තෙවන කාරණය වන්නේ ප්‍රහාරයකට සාර්ථකව මුහුණදීම හා නීතිය මඟින් ත්‍රස්තවාදී මතවාද ප්‍රචාරණය මුළුමනින් ම වළක්වා ගැනීම ය.

ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට හෝ සාමාන්‍ය ජනතාවගේ සහයෝගය ලැබේ නම්; ත්‍රස්ත ක්‍රියා වළක්වා ගැනීම අසීරු වෙයි. මෙය පිළිගත් සත්‍යයෙකි. මෙය වළක්වා ගත හැකි උපාය මාර්ගය වන්නේ ත්‍රස්ත සංවිධානවලින් සාමාන්‍ය ජනතාව ඈත්කර තැබීම ය. ජාතියක් හෝ ආගමක් හෝ පදනම්කොට ත්‍රස්ත සංවිධානයක් බිහිවී ඇත්නම්; එම ජාතියේ සියලු දෙනා ත්‍රස්තවාදීන් ලෙස සැලකීම වැරැදි ය. ආගමක් පදනම්කොට ත්‍රස්ත සංවිධානයක් බිහිවී ඇත්නම්; එම ආගමට ඇතුළත් සියලු පුද්ගලයන් ත්‍රස්තවාදීන් ලෙස සැලැකීම ද වැරැදි ය. කොටි ත්‍රස්තවාදයේ අත්දැකීම් අනුව අතීතයේ එවැන්නක් සිදු විය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ද එවැන්නක් සිදුවන්නට ගි‍යේ ය. අතරමඟදී හෝ එය වළක්වා ගැනීමට හැකිවීම වාසනාවකි.

කොටි ත්‍රස්තවාදය එකවර නැඟී සිටියේ අසූ තුනේ කළු ජූලියෙන් පසුව ය. එම සිද්ධියෙන් පසු තමිල්නාඩුව කොටි ත්‍රස්තවාදයට සහයෝගය පළ කළේ ය. යුරෝපීය ඩයස්පෝරාව ද කොටි ත්‍රස්තවාදයට සහයෝගය ලබා දුන්නේ ය. ඇතැම් රටවල් කොටි සංවිධානය විමුක්ති සටන්කාමීන් පිරිසක ලෙස හඳුන්වා දෙන්නටත් පටන් ගත්තේ ය. ත්‍රස්ත සංවිධානයක් මර්දනය කිරීම ඔළුවෙන් කළ යුතු යැයි අගමැතිවරයා කියා සිටින්නේ ඉහත අත්දැකීම් පාදක කරගෙන ය. අගමැතිවරයාගේ න්‍යාය හා සැලැසුම් නිවැරදි ය. ආගමික ත්‍රස්තවාදය මාසයකින් හෝ මාස දෙකකින් හෝ මුළුමනින් පරාජය කරන්නේ යැයි කියූව ද එය පහසු දෙයක් නොවේ. ඒ සඳහා බුද්ධිමත් වැඩපිළිවෙළක් දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කළ යුතු ය.

අගමැතිවරයා පෙන්වා දෙන තවත් වැදගත් කාරණයක් වන්නේ ත්‍රස්තවාදය මර්දනය සඳහා දියුණු තාක්ෂණය මෙන් ම ජාත්‍යන්තර සහයෝගය ද ලබාගත යුතු බව ය. මෙය ඉතා වැදගත් සාධකයකි. දියුණු තාක්ෂණය යන්නෙන් අදහස් වන්නේ සන්නිවේදන පහසුකම් ය. ත්‍රස්තවාදී මතවාද ලෝකය පුරා ප්‍රචාරය කරන්නේ දියුණු සන්නිවේදන ජාලා ඔස්සේ ය. මේවාට ප්‍රති-උත්තර ලබාදීම හෝ ප්‍රචාරය වැළැක්වීම හෝ කළ යුතු ය. ඊට අදාළ දියුණු සන්නිවේදන තාක්ෂණය අප සතු නොවේ. ඒවා විදේශ රටවලින් මිලටගෙන ත්‍රස්ත මර්දන ඒකක වෙත ලබාදිය යුතුව තිබේ. අමෙරිකාවේ හා ඉන්දියාවේ බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ද මෙහිලා වැදගත් වන බව කිව යුතුය.

අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදය බිහිවන්නේ ඉරාකයෙන් ය. ‍එම ත්‍රස්තවාදය සිය ක්‍රියාකාරකම් වඩාත් හොඳින් අත්හදා බලන්නේ සිරියාවේදී ය. එහෙත් ඉරාකයෙන් මෙන්ම සිරියාවෙන් ද අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදය අතුගෑවී ගොස් ඇති බව පෙනෙන්නට ඇති සත්‍යයකි. එම රටවල මහජනයාගෙන් අයි. එස්. ත්‍රස්තවාදයට සහයෝගයක් ලැබුණේ නැත. එලෙස ම ඉරාකයේ හා සිරියාවේ රාජ්‍ය ආරක්ෂක අංශ අඛණ්ඩව එල්ල කළ ප්‍රහාර මාලාවක් නිසා ත්‍රස්තවාදීන්ට ඔවුන්ගේ භූමිය අතහැර පලා යන්නට සිදුවිය. මෙබඳු පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ද ඇතිකොට ත්‍රස්තවාදය අතුගා දැමිය යුතුය.

ශ්‍රී ලංකාවේ ආගමික ත්‍රස්තවාදයේ නායකයා ලෙස සැලැකිය හැක්කේ සහරාන් නමැති පුද්ගලයා ය. ඔහු දැන් ජීවතුන් අතර නැත. ඔහු පමණක් නො ව; ඔහුගේ සමීපතමයන්ගෙන් කොටසක් ද ජීවතුන් අතර නැත. එහෙත් සහරාන් හෝ ඔහුගේ සමීපතමයන් හෝ විනාශ වූ පමණින් ත්‍රස්තවාදය අවසන් වන්නේ නැත. මීට අදාළ මතවාද පතුරවන අය සොයමින් මෙහෙයුමක් ආරම්භ කළ යුතු ය. ඒ සඳහා දියුණු සන්නිවේදන තාක්ෂණය ද යොදාගත යුතුය. අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට එබඳු සැලැසුමක් දැනට ද ක්‍රියාත්මක වෙයි. ආගමික ත්‍රස්තවාදයට ආධාර කළ ඉංජිනේරුවකු අත්අඩංගුවට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට බව පෙනෙයි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේදී අනුගමනය කළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ රටේ ආර්ථීක හා සාමාජික කටයුතු සාමාන්‍ය තත්වයෙන් පවත්වා ගැනීම ය. රට නොසන්සුන්වීම සේම භීතිය පැතිරයෑම ද ත්‍රස්තවාදයට අගනා පසුබිමක් සකස් කර දෙයි. අවදානම් සහගත තත්ත්වයක් තුළ පවා රට යථා තත්ත්වයට ගැනීමට රජය උත්සාහ දරන්නේ එය එය ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා ඇති උපාය මාර්ගයක් නිසා ය. සැප්තැම්බර් එකොළහ ප්‍රහාරයෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ අමෙරිකාව යථා තත්ත්වයට ගැනීමට එරට රජය සමත් විය. එංගලන්තය, ප්‍රංශය ආදී රටවල් ද ඉන්දියාව ද එසේ ක්‍රියා කර ඇත. ශ්‍රී ලංකාව ද ත්‍රස්ත ප්‍රහාරවලින් පසු එබඳු තත්ත්වයක් ගොඩනඟාගෙන තිබේ. ඒ ගැන සතුටු විය හැකි ය.

දේශපාලන කඹ ඇදීම්, කුමන්ත්‍රණ හා කඩාකප්පල්කාරී වැඩ නවතා ගතහොත් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ රටෙන් අතුගා දැමීම අපහසු කාරණයක් නොවේ.

 

අදහස් 1ක් ඇත

Free Thinkers Sri Lanka Public Group of Face Book fallowed by University of Colombo, take the advantage of this article. Please be permitted. Thank you.

නව අදහස දක්වන්න