DFCC පළමු අධි­ශ්‍රේ­ණි­ගත ශාඛාව ලේක්හ­වුස් පරි­ශ්‍රයේ විවෘත වෙයි | දිනමිණ

DFCC පළමු අධි­ශ්‍රේ­ණි­ගත ශාඛාව ලේක්හ­වුස් පරි­ශ්‍රයේ විවෘත වෙයි

දෙදෙනකුගෙන් ඇරැඹූ DFCC බැංකුව ශාඛා 138කට ව්‍යාප්ත කිරීමට හැකි වුණා

සභාපති සී. ආර්. ජෑන්ස්

ආනයන-අපනයන සඳහා විශේෂ කාර්යාලයක් අරඹනවා
ප්‍රධාන විධායක ලක්ෂ්මන් සිල්වා

 

DFCC බැංකුවේ පළමු අධිශ්‍රේණිගත ශාඛාව DFCC බැංකුවේ සභාපති සී. ආර්. ජෑන්ස් මහතා අතින් ලේක්හවුස් ආයතන පරිශ්‍රයේ දී පසුගිය දා (15) විවෘත කැරිණි. මේ ශාඛාව DFCC බැංකුවේ 139 වැනි ශාඛාව ද වේ.

මේ අධි ශ්‍රේණිගත සුපිරි බැංකු ශාඛාව මඟින් එහි ගනුදෙනුකරුවන්ට නවීන තාක්ෂණයෙන් යුත් ඩිජිටල් බැංකුකරණ පහසුකම් ලැබීම විශේෂත්වයකි.

බැංකුවේ පළමු තැන්පතු මුදල භාර ගැනීම සහ පළමු ක්‍රෙඩිට් කාඩ්පත, පුද්ගල ණය, නිවාස ණය, ව්‍යාපාර ණය, ලීසිං පහසුකම, ළමා ගිණුම ආදිය නිකුත් කිරීම DFCC බැංකුවේ සභාපති සී. ආර්. ජෑන්ස් මහතා අතින් සිදුවිය. DFCC බැංකු ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා DFCC බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ක්‍රිෂාන්ත කුරේ මහතා ඇතුළු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ද, අධිශ්‍රේණිගත බැංකු ශාඛාවේ කළමනාකාර ජූඩ් මුත්තයියා මහතා සමඟ ශාඛාවේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය, DFCC ප්‍රධාන කාර්යාල කාර්ය මණ්ඩලය, ජනාධිපති අරමුදලේ විධායක නිලධාරීහු, ආර්ථික සැලසුම් අමාත්‍යාංශ විධායක නිලධාරීහු එම අවස්ථාවට සහභාගි වූහ.

එහි දී පැවැති උත්සවයේ දී අදහස් දැක් වූ DFCC බැංකුවේ සභාපති සී. ආර්. ජෑන්ස් මහතා,

මා මෙහි දී සිහිපත් කළ යුත්තේ කාර්ය මාණ්ඩලිකයන් දෙදෙනකුගෙන් ඈත ගම්මානයක ආරම්භ කළ වර්ධන බැංකුව හරහා DFCC බංකුව අද ලබා තිබෙන ප්‍රගතියයි. මුල් යුගයේම ලබා දුන් මිත්‍රශීලී අගනා සේවාව බැංකු ශාඛා 138 දක්වා ව්‍යාප්ත කිරීමට සමත් වුණා.

අද දින විවෘත වූ DFCC බැංකු එහි ගනුදෙනුකරුවන්ට ඉතා කාර්යක්ෂම හා ඉහළම සේවාවක් ලබා දෙන බැංකුවක් ලෙස හඳුන්වා දිය හැකියි. එමඟින් රට පුරා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට පවා මේ බැංකුව මඟින් ගනුදෙනු කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉතා ඉක්මනින් ඉටුකරදීම සඳහා අපගේ කාර්ය මණ්ඩලය කැපවී සිටිනවා. ඉතිහාසගත ඉතා අලංකාර ස්ථානයක ස්ථාපිත කර ඇති මේ නව අධිශ්‍රේණිගත ශාඛාව මඟින් ද අපගේ ගනුදෙනුකරුවන්ට තව දුරටත් එවැනි කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා. මේ ශාඛාව මඟින් ගනුදෙනුකරුවන් සියලුදෙනා වෙත ඉහළම සේවාවක් සැලසීම සඳහා කැපවී කටයුතු කිරීමේ වගකීම කළම

නාකාර ජූඩ් මුත්තයියා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත පැවැරී තිබෙනවා. කාර්ය මණ්ඩලයේ තරුණ ජවය කාර්යක්ෂම බව මිත්‍රශීලී බව ගනුදෙනුකාර භවතුන්ට ඉහළ අත්වැලක් වනු ඇත.

DFCC බැංකු ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් සිල්වා මහතා,

ශ්‍රී ලංකාවේ සහ ආසියාවේ පැරැණිතම බැංකුවක් වන DFCC බැංකුවේ ශාඛාවක්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස කටයුතු කරන ලේක්හවුස් ආයතන ගොඩනැඟිල්ලේ ආරම්භ කිරීමට ලැබීම ගැන මා ඉතා සතුටු වෙනවා. අද අපි මේ ආරම්භ කරන්නේ 139 වැනි ශාඛාවයි. ඒ වගේම, මේ ශාඛාවේ විශේෂත්වයක් වන්නේ DFCC බැංකු ශාඛා ජාලයේ ආරම්භ කරනු ලබන ප්‍රථම අධිශ්‍රේණිගත ශාඛාවවීම නිසයි.

DFCC බැංකුව දැනට වසර 63කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ පුරෝගාමී සංවර්ධන බැංකුවක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම දැනට වසර 15කට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ක්ෂේත්‍රයේ පෙරළිකාර වාණිජ බැංකුවක් ලෙස නම් කර තිබෙනවා.

2015 දී DFCC බැංකුවත් DFCC වර්ධන බැංකුවත් එකතුවී යන ගමනේ දී පසුගිය වසර තුන හමාරක පමණ කාලය ඇතුළත ආරම්භ කළ ශීඝ්‍රතම ශාඛා කාර්යාලය තමයි අද අපි ආරම්භ කර තිබෙන්නේ. DFCC බැංකුව මිත්‍රශීලී වගේම, පුරෝගාමීත්වයෙන් යුතුව තම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් කටයුතු කරනවා. DFCC බැංකුව අද බැංකු ශ්‍රේණිගත කිරීම් අතර ඉහළම තලයේ තිබෙන බැංකුවක් ලෙස හඳුන්වා දිය හැකියි. Fitch ආයතනය මඟින් මේ බැංකුව AA ආයතනයක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. අද රටේ බැංකු ක්ෂේත්‍රයේ එවැනි ගණයට අයිති බැංකු සීමිත ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. එබැවින් අපේ ආයතනය එවැනි ශ්‍රේණියකට ඇතුළත් කිරීම අපේ වාසනාවක් ලෙස සලකනවා.

මේ බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට ඉතා මිත්‍රශීලී වේගවත් සේවාවක් ලබා දීමට අපට හැකිව තිබෙන්නේ අපේ පරණ ඒ වගේම තරුණ ජවයකින් යුතු නම්‍යශීලී, මිත්‍රශීලී සේවක මණ්ඩලයක් අප සතුව තිබෙන නිසයි. ඒ සේවක මණ්ඩලය නිසා තමයි අපට හැකිව තිබෙන්නේ ඉතා කෙටි කාලයක දී මේ වගේ වේගවත් වාණිජ බැංකු ක්ෂේත්‍රයට යම්කිසි බලපෑමක් කළ හැකි ආයතනයක් බවට පත් වෙන්න.

මේ අධිශ්‍රේණිගත ශාඛාව මඟින් අප බලාපොරොත්තු වෙන්නේ මෙරට බැංකු ක්ෂේත්‍රයෙන් ලබා ගත නොහැකි විශේෂිත වූ, තාක්ෂණයෙන් පිරිපුන් ඩිජිටල් බැංකු ක්‍රමයක් ලබා දීමටයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ගනුදෙනුකරුවන්ගේ බැංකු සේවාවන් ඉතාමත්ම පහසුවෙන් සහ වේගවත්ව මෙමඟින් ලබා දෙන්න. ඒ වගේම අපි වාණිජ බැංකුවක් ලෙස තීරණය කර තිබෙනවා මේ ස්ථානයේ ආනයන අපනයන කිරීම සඳහා විශේෂිත වූ කාර්යාලයක් ආරම්භ කරන්න. අපගේ තිබෙන ක්‍රමවේදය මඟින් ඉතාමත්ම ඉක්මනින් මේ ප්‍රදේශයේ සිටින අපේ ගනුදෙනුකරුවන්ට වේගවත් සේවයක් ලබා දීමට එමඟින් හැකියාව ලැබෙනවා.

මේ අධිශ්‍රේණිගත බැංකු ශාඛාව සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 සිට රාත්‍රී 7.30 දක්වාත්, සෙනසුරාදා දින උදේ 9.00 සිට සවස 3.00 දක්වාත් ගනුදෙනුකරුවන් සඳහා විවෘතව තැබෙනවා. එම නිසා වඩාත් ඉඩ පහසුකම් සහිත වගේම නවීන තාක්ෂණයෙන් යුත් මේ බැංකු ශාඛාව වෙත පැමිණ තමන්ගේ බැංකු අවශ්‍යතා සපුරා ගන්නා ලෙස ගනුදෙනුකරුවන්ට අපි ආරාධනා කරනවා.

අධිශ්‍රේණිගත ශාඛාවේ කළමානාකාර ජූඩ් මුත්තයියා මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි ප්‍රධානියා ලෙස තමන් හඳුනාගෙන එම වගකීම ‍බාරදීම පිළිබඳ කළමනාකාරීත්වයට තම කෘතඥතාව පළ කරන බවත් එම විශ්වාසය ගනුදෙනුකාර භවතුන් වෙත ලබාදෙන කාර්යක්ෂම සේවාව තුළින් තහවුරු කරන බවත්ය.

ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති අතිරේක ලේකම් ඩී. එන්. නානායක්කාර, ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු උසස් නිලධාරීහු ද දිනමිණ, ඩේලිනිව්ස්, තිනකරන්, සන්ඩේ ඔබ්සවර් පුවත්පත්වල කර්තෘවරුන් සහ DFCC බැංකුවේ අධිශ්‍රේණිගත ශාඛාවේ සේවක සේවිකාවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

සිතාරා සේනානි

 

 

 

 

නව අදහස දක්වන්න