අපි තවමත් එදා වගේමයි - නාරද තනුජා | දිනමිණ

අපි තවමත් එදා වගේමයි - නාරද තනුජා

නාරද බක්මීවැව සහ තනූජා ජයවර්ධන රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව උඩුයටිකුරු කළ සුසංයෝගයයි කීවාට වරදක් නැත. එදා “රස රිසි ගී” හරහා ඔබේ ආලින්දයට පැමිණි ඔවුන් වසර ගණනාවකට පසුව නැවත එක්ව එක් වේදිකාවක සිට ඔබ වෙත ගෙන එන්නේ “බෑන්ඩ් ද බෑන්ඩ්” රියැලිටි වැඩසටහනයි.

අප මුලින්ම කතාබහට එක්කර ගන්නේ නාරද බක්මීවැවයි.

මොනවද අලුත් තොරතුරු?

සුපුරුදු විදිහට මගේ නිෂ්පාදන ආයතනයේ වැඩ කටයුතු කරගෙන යන අතරෙ බෑන්ඩ් බෑන්ඩ් රියැලිටි වැඩසටහනේ ඉදිරිපත් කිරීම් කටයුතුවලට එකතු වෙලා ඉන්නවා. බෑන්ඩ් ද බෑන්ඩ් වැඩසටහනට මමත් තනූජත් සම්බන්ධ වුණේ අතරමැදින්. ඒත් ආවට පස්සෙ තමයි තේරුණේ මේක මරු වැඩක් කියලා. ඉස්කෝලවල තූර්ය වාදක කණ්ඩායම්වලින් හරියට වැඩක් අරගෙන නෑ කියන එක තමයි මට හිතෙන්නෙ. ගොඩක් වෙලාවට පාසල් තූර්ය වාදක කණ්ඩායම අරගන්නෙ ක්‍රීඩා උත්සවයට නැත්නම් අමුත්තන් පිළිගන්න විතරයි. ඒත් මේ වැඩසටහනේදි තමයි දැක්කෙ ඒගොල්ලන්ගෙ තියෙන හැකියාවන් කොයිතරම්ද කියලා. ඉතිං බෑන්ඩ් බෑන්ඩ් නිසා මට එක පැත්තකින් අලුත් පරම්පරාවත් එක්ක වැඩ කරන්න ලැබෙනවා. තව පැත්තකින් ඒ අයගේ හැකියාවන් දකින්න පුළුවන්කම ලැබෙනවා.

කොහොමද මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ?

නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙනුයි මටයි තනුජටයි ආරාධනා කළේ. සාමාන්‍යයෙන් අපි අතර මැද්දෙන් ඇවිත් බාග වැඩ බාරගන්නෙ නෑ. නමුත් මේ වැඩේ හොඳයිනෙ. ළමයින්ගෙ දක්ෂතාවන් දියුණු වෙනවා වගේ ම අපිටත් අලුත් අත්දැකීමක් එකතු වෙන වැඩසටහනක් කියලා දැනුණු නිසා එකතු වුණා. වැඩසටහනත් එක්ක එක්ක එකතු වුණාට පස්සෙ තේරුණා ගත්ත තීරණය හරියට ම හරි කියලා.

ඔබ මේ කාලෙකට පස්සෙ නේද රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරන්නෙ?

පහුගිය ඔක්තෝම්බර් මාසෙ නම් ජාතික රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉදිරිපත් කිරීමේ කටයුතු කළා. ඊට පස්සෙ එකතු වුණේ බෑන්ඩ් ද බෑන්ඩ් වැඩසටහනට. කොහොමත් මම ගොඩක් කරන්නෙ නෑ. තෝරගෙන එකක් දෙකක් තමයි කරන්නෙ. ඒ වගේ ම මම බාරගන්නේ හොඳ වැඩක් ආවොත් විතරයි.

තනූජා එක්ක ආයෙමත් වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ බොහොම කාලෙකට පස්සෙ. කොහොමද ඒ ලැබෙන සහයෝගය?

ඒක විශේෂ කාරණාවක්. අපි බොහොම පහසුවෙන් එදා අපි නවත්තපු තැන ඉඳන් පටන්ගත්තා වගේ තමයි දැනෙන්නෙ. තනූජගේ සහයෝගයත් එක්ක මේ වැඩසටහනට හොඳින් ප්‍රවේශ වුණා වගේ ම සාර්ථකව ඉදිරිපත් කරන්නත් පුළුවන් වුණා. අපේ ඇඳුරුම්කම්වලත් කිසි වෙනසක් වෙලා තිබ්බෙ නෑ. ඒක ඇත්තටම සතුටට කාරණාවක්. අපිට ඉදිරියට ක්ෂේත්‍රය තුළ වැඩ කරගෙන යන්න පුළුවන්. අලුත් වැඩසටහන් කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒවා තවම තියෙන්නේ සාකච්ඡා මට්ටමේ.

”රස රිසි ගී” ගැන මතකය අවධි කළොත් ?

“රස රිසි ගී” හරහා අපිට ලංකාවේ වැඩසටහන් කලාවේ පොඩි වෙනස්කමක් කරන්න අවස්ථාව ලැබුණා.

ඒක අපි කළා. ඒ ගැන සතුටුයි. ඒ වෙනස මිනිස්සුන්ට තාම මතකයි. ඒ නිසයි අපිට තාම ආරාධනා ලැබෙන්නෙ. ඒ වැඩසටහන අදටත් ප්‍රේක්ෂකයන්ට මතක තියෙනවා කියන්නේ ඒ හරහා අපි මොනවා හරි දෙයක් කරලා තියෙනවා කියන එකයි. ඉතිං ඒ මතකය ගොඩක් වටිනවා. කොහොමත් මගේ ඉලක්කය වෙන්නෙ මම කරන වැඩේ හොඳට කරන එකයි. ප්‍රේක්ෂකයින්ට ඒ හරහා දෙයක් දෙන්න පුළුවන් වෙන්න ඕනෙ.

නාරදට පසුව අපි තනූජා ජයවර්ධන සමඟ කතාබහ කරමු.

කාලෙකට පස්සෙ රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගැන කතා කළොත්?

මම වැඩසටහන් කළමනාකාරීත්වය පැත්තට යොමු වෙලා හිටිය කෙනෙක්. ඒ එක්ක සමහර වෙලාවට රූපවාහිනී වැඩසටහන් ගොඩක් බාරගෙන කරන්න අමාරු වුණා. කළමනාකාරිත්වය පැත්තෙන් මම අයින් වෙලා 2016න් පස්සෙ තමයි මම මේ ආයෙත් වැඩසටහනක් ඉදිරිපත් කරන්නෙ. බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි වැඩසටහනට අමතරව රූපවාහිනියේ “තාල භාෂණ” වැඩසටහන ඉදිරිපත් කරනවා සෙනසුරාදා රෑ 10.20ට. ඒක සංගීතමය ස්වරූපයෙන් ජීවිතය ගැන කතා කරන අලුත් වැඩසටහනක්.

“රස රිසි ගී” කියන්නේ කාලෙකට කලින් බොහොම ජනප්‍රිය වුණු වැඩසටහනක්. ඒ හරහා ලැබුණු ජනප්‍රියත්වය තවම ඔබට ඒ ආකාරයෙන් ම ලැබෙනවා කියලා හිතනවාද?

ඔව්. ජනමාධ්‍යයේ දී ඒ අදාළ විෂය ක්ෂේත්‍රය තුළ මතක හිටින සලකුණක් තිබ්බම, යුගයක් නිර්මාණය කළාම ඒක සදාකල් පවතිනවා කියලයි මම විශ්වාස කරන්නෙ. මමත් නාරදත් ලංකාවේ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කලාව වෙනස් කරපු දෙන්නා විදිහට තමයි සදාකල් මිනිස්සුන්ගෙ මතකයේ දැන් ඉන්නෙ. ඒ නිසා තමයි එදා තිබුණ ජනප්‍රියත්වය තාමත් තියෙනවා කියලා දැනෙන්නෙ. කවුරු වුණත් මාධ්‍යයේ හරි ලකුණක් තිබ්බොත් මම හිතනවා ඒ හැමෝම සදාකල් ජනප්‍රිය වෙනවා වගේ ම සදාකල් මිනිස්සුන්ගේ මතකයේ රැඳෙනවා.

ලංකාවේ දැන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියන් මතුවෙන්නෙ හතු පිපෙන්නා වගේ. ඒත් ඒ හැමෝටම නමක් හදාගන්න පුළුවන්කමක් නෑ. අලුතෙන් එන අයට පණිවිඩයක් දුන්නොත්?

අපි ඔරිජිනල් වෙන්න ඕනෙ. මම සාමාන්‍යයෙන් කතා කරන විදිහට තමයි රූපවාහිනියට ඇවිත් කතා කරන්නෙත්. මම රූපවාහිනියට ආවා කියලා මගේ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. මම මම විදිහට ම තමයි කැමරාව ඉස්සරහා ඉන්නෙත්. දැන් වෙලා තියෙන්නෙ අද ඉන්න සමහරු තව කෙනෙක්ව අනුකරණය කරන්න හදනවානෙ. ඒ ක්‍රමය සාර්ථක නෑ. තමන් තමන් විදිහටයි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඕනෙ. බොහෝ දෙනා හිතාගෙන ඉන්නවා මේක මේ විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන් දෙයක් කියලා. එහෙම කරන්න බෑ. අනිත් එක තමයි තව සමහරු හිතන් ඉන්නේ ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. මේ තත්ත්වයට ඇවිල්ලා, මේ වගේ පදනමක් දාගන්න අපිටත් අවුරුදු විස්සක් ගියා. එක රැයකින් ජනප්‍රිය වෙන්න බෑ, මේ පවතින සංකීර්ණ තාක්ෂණය පෙරටු කරගත් සන්නිවේදන සමාජය තුළ. ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. මුලින් ම දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනෙ. හොඳට පොතපත කියවන්න ඕනෙ. හොඳ,බුද්ධිමත් මිනිස්සු ඇසුරු කරන්න ඕනෙ. එහෙම නැතුව මේ ක්ෂේත්‍රය තුළ පදනමක් දාගන්න බෑ. නිවේදකයෙකුට බරක් තියෙන්න ඕනෙ. අපේ ස්ටයිල් එක වෙන ම එකක් වෙන්න පුළුවන්. ඒත් ඉරිච්ච ඩෙනිමක් ඇඳලා වැඩසටහනක් ඉදිරිපත් කරද්දි වුණත් කියන දේ තේරුමක් තියෙන්න ඕනෙ. නිකං ඔහේ කතා කළාට මේ නවීන සමාජයේ මිනිස්සු ඒක බාරගන්න සූදානම් නෑ. මොකද මිනිස්සුන්ට අද විකල්ප ඕන තරම් තියෙනවා. ඒ නිසා හරියට හෝර්ම් වර්ක් එක කරගෙන ඇවිල්ලා, හරියට කතා කරලා, තමන් තමන් විදිහට කැමරාව ඉස්සරහට ආවොත් තාමත් මගෙනුයි නාරදගෙනුයි පස්සෙ ඒ අවකාශය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ ජොකී කියන සංකල්පය තමයි මමයි නාරදයි හැදුවේ. 1997, 98 වගේ වෙනකොට ඉන්දියාවේ “මියුසික් ටෙලිවිෂන්” කියන නාලිකාව ඇති වුණා . ඒ කාලෙ වෙද්දි හරි ම ලොකු රැල්ලක් විදිහට තමයි ඒ හරහා මේ “වීඩියෝ ජොකී” කියන සංකල්පය ආසියාව පැත්තට ආවෙ. මම හිතනවා මමයි නාරදයි අයත් වෙන්නෙ අන්න එතැනට.

ඉදිරියේ දී ඔබව අපට කොහොමද දකින්න ලැබෙන්නෙ?

අපිට තව නාලිකාවකින් වැඩසටහනකට ආරාධනා කළා. නමුත් මම මාධ්‍යයේ බොහොම සංකීර්ණ, කාර්යබහුල වැඩසටහන් කළමනාකාරීත්වයකින් පොඩ්ඩක් එළියට බැස්සෙ ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන. ඒ නිසා ගුණාත්මක, පණිවිඩයක් සමාජගත කරන්න පුළුවන් සහ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකරන්න පුළුවන් වැඩවලට විතරයි මම සම්බන්ධ වෙන්නෙ. මම කළමනාකාරීත්වයෙන් එළියට ආවට පස්සෙ බොහෝ වැඩසටහන්වලින් ආරාධනා ලැබුණා. මුදල් පස්සෙ ම ගියා නම් මට තිබුණා ඒ හැම එකක් ම බාරගෙන කරන්න. නමුත් හැමදාම ටීවි එකේ දකිනකොටත් මිනිස්සුන්ට එපා වෙනවනෙ. මම ඉන්නෙ ගුණාත්මක බවින් යුක්ත වැඩසටහන් කිහිපයක් පමණක් භාරගන්නවා කියන තැන.

කාංචනා සිරිවර්ධන
ඡායාරූප-චතුර ගීතනාත් බණ්ඩාර

නව අදහස දක්වන්න