මත් ජාවාරමුන්ට මරණ දඬුවම රජයේ තීරණයේ වෙනසක් නෑ | දිනමිණ

මත් ජාවාරමුන්ට මරණ දඬුවම රජයේ තීරණයේ වෙනසක් නෑ

මහින්ද අලුත්ගෙදර මුලතිව් සිට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරි‍‍සේන මහතා පැවසීය.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිව් වසරේ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත්කරමින් ඊයේ (21) මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැති වැඩසටහන අමතමින් ජනපති එසේ කීය.

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිත කෙටි දුරකථන අංකයක් හඳුන්වාදීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළ අතර, ඒ අනුව 1984 අංකය අමතා ඕනෑම අයකුට ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකිය.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තම ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පිලිපීන රජයේ සහාය පළ වී තිබෙන බවත්, ඒ සඳහා

ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළඟදීම පැමිණීමට නියමිත බවත්ය.

පිලිපීනය මත්ද්‍රව්‍ය හේතුවෙන් විනාශ වී තිබු රටක් වන අතර එහි ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ හේතුවෙන් අද පිලිපීනය එම අභියෝගය ජයගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලට එරෙහිව පිලිපීන ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති තීරණ තමා ක්‍රියාත්මක නොකළ ද ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට බයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ගන්නා දැඩි තීන්දු තීරණ වෙනස් නොකරන බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට එරෙහි ව ගන්නා දැඩි තීන්දු තීරණවලට එරෙහිව ඇතැම් මානව හිමිකම් සංවිධාන හඬ නැඟුව ද මෙම ව්‍යසනය හේතුවෙන්

රටට, ජාතියට සහ දරුවන්ගේ අනාගතයට සිදුවන විනාශය පිළිබඳ ඔවුන් අවධානය යොමු නොකරන බවත්, රටට සිදුවන මෙම විනාශය පිළිබඳ එම සියලුදෙනා වගකිවයුතු බවත් ය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳ තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට ලබන 28වන දා දක්වා ක්‍රියාවට නංවා තිබෙන අතර ඒ යටතේ ප්‍රධාන වැඩසටහනක් ලෙස ජනවාරි 21 දා සිට 25 දා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය

ක්‍රියාත්මක කෙරේ. එහි සමාරම්භක උත්සවය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙලෙස මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී පැවැත්වුණේ යාපනයේ දිස්ත්‍රික්කයේ පාසල්වල සිසුන් එක් ලක්ෂ පනස්දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුවය.

සමස්ත ශ්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව

තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ යටතේ ජනවාරි 21 දා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමයේ දී දරුවන් දැනුවත් කිරීමේ ක්‍රියාකාරකම් ද, ජනවාරි 22 දා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමඟ සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද, ජනවාරි 23 දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කරයි. ජනවාරි 24 දා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 25 දා විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල්වල හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 26 දා ස්වේච්ඡා

සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන් ම ජනවාරි 27දා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු ක්‍රියාවට

නැංවෙයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සමාජයට පණිවිඩයක් ලබාදීමට හොඳම පණිවිඩකරුවා පාසල් දරුවා බවයි. එබැවින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ දී පාසල් සිසුන් ඊට සක්‍රීයව දායක කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේ ය.

කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල ගංවතුරෙන් හානියට පත් පාසල් 11ක ප්‍රතිසංස්කරණ කටයුතුවල මූලික වියදම් සඳහා මුදල් ලබාදීම, මුලතිව් දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 13ක් සඳහා ජල පහසුකම් සපයා ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණි.

යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264කට හා රජය යටතේ තිබූ ප්‍රධාන ගොවිපොළවල් 4කට අයත් ඉඩම් අක්කර 1099ක් නිදහස් කිරීමට අදාළ ලියවිලි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මෙහිදී

ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර ජනාධිපතිතුමා එම ලිපි ලේඛන අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත

භාර දුන්නේය.

අමාත්‍යවරුන් වන දයා ගමගේ, රිෂාඩ් බදුර්දීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේතු මන්ත්‍රී දයාසිරි ජයසේකර, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන්, යුද සහ නාවික හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න