මහානාමගේ ගුණ සුවඳ | දිනමිණ

මහානාමගේ ගුණ සුවඳ

ක්‍රිකට් පිටියෙන් වෙහෙරතැන්නට

‘නිහඬව වැඩ කරන්න...එහි සාර්ථකත්වය ශබ්ද නගාවි’ යනුවෙන් ඉංග්‍රීසි කියමනක් ඇත. මිනිසකු සිය ජීවිත කාලය පුරා අත්කරගන්නා සාර්ථකත්වයෙන් තවත් මිනිසුන් දස දහසකගේ ජීවිත ආලෝකමත් කරන්නේ නම් එවැනි මිනිසකුට මුළු ජීවිත කාලය තුළ සතුටින් ජීවත්විය හැකිය. එවැනි වාසනාවන්තයෝ අප අතරේ සිටින්නේ අතලොස්සකි.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පන්දු රකින්නකු, පිතිකරුවකු ලෙස ක්‍රීඩාලෝලීන්ගේ නොමඳ ආදරයත්, විචාරකයන්ගේ නොමඳ ගෞරවයත් දිනාගත් රොෂාන් මහනාම ඒ අතලොස්සට එක්වූ ක්‍රීඩකයෙකි. හෙතෙම ‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය පිට පිට දෙවතාවක් දිනාගත් පළමු ක්‍රීඩකයා ලෙස වාර්තාපොතට එක්විය.

වසර 1983 වසරේ පැවැති ‘ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා’ පස්වැනි සම්මාන උලෙලේ දීත්, 1984 සම්මාන උළෙලේදිත් පිට පිට කුසලාන දෙකකට හිමිකම් කීමට නාලන්දා විදුහලෙන් බිහිවූ මේ විශිෂ්ට පිතිකරුවා මේ ගෞරවාන්විත සම්මානයෙන් දෙවතාවක්ම පිදුම් ලැබීමෙන් වසර දෙකකට පසුව එනම් 1986 දී ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගත් අතර 1999 කෙන්යාවට එරෙහිව සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරද්දී ජාතික කණ්ඩායමේ වසර 13ක පරිණත ක්‍රීඩකයකු බවට පත්වී සිටියේය.

ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කීර්තිමත් තරග තීරකවරයකු ලෙස වසර ගණනාවක් සේවය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය, මහත්මා ගුණය රැක ගැනීමට උරදුන් මහනාම සිය වෘත්තියෙන් සමුගැනීමෙන් පසුවත් විවේකයක් ලැබීමට අදහස් කර නොමැත.

ගෞරවාන්විත පවුල් පසුබිමකින් සහ එවැනිම ගෞරවයක් ලැබූ නාලන්දා විදුහල් මෑණියන්ගේ සෙවණෙන් ලැබූ නිහතමානීත්වය තම ජීවිතයට ආලෝකයක් කරගත් මේ නිහතමානී මිනිසා වර්තමානයේ මෙරට දුෂ්කර පළාත්වල ඉතා අඩුආදායම්ලාභී පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිහඬ දායකත්වයක් ලබාදෙමින් සිටී.

ඔහුගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් වවුනියාව බෝගස්වැව වෙහෙරතැන්න නැවත පදිංචිකළ ගම්මානයේ අලුතෙන් ඉදිකරන ලද පාසල් ගොඩනැගිල්ල පසුගිය කාලයේ විවෘත වූයේද ඔහුගේ සුරතිනි. රොෂාන් මහනාම ප්‍රාථමික විදුහල ලෙස නම් කළ මේ පාසල මේස, පුටු, අල්මාරි ඇතුළු සියලු උපකරණවලින් සමන්විතව ආරම්භ කළ අතර 1 ශ්‍රේණිය සිට 05 ශ්‍රේණිය දක්වා ළමුන් 44 දෙනෙකුගෙන් හා ගුරුවරුන් 04 දෙනෙකුගෙන් යුතුව ආරම්භය සිදුකෙරිණි. මීට අමතරව දරු දැරියන් සඳහා පාසල් උපකරණ හා පාසල් පාවහන් ලබාදීමද මෙහිදී සිදු කෙරුණි.

මේ පාසල ඉදි කිරීමට රොෂාන් මහනාම ඉදිරිපත්වූයේ වෙහෙරතැන්න ගම්මානයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා කිලෝමීටර් 14ක් දුරක් යායුතුව තිබූ අතර මේ බව දැනගැනීමෙන් පසුවය. මීට අමතරව එම දරුවන්ගේ ආගමික වතාවත් වෙනුවෙන් බුදු මැදුරක් ද ඉදි කළ අතර ඔහු එය විවෘත කිරීමේ අවස්ථාවටත් සහභාගි විය. බුදු මැදුර විවෘත කිරීමෙන් පසුව ගම්මානයේ වැසියන්ට වියළි සලාක, බඩු භාණ්ඩ බෙදාදීමටත් ඔහු දායකත්වය ලබා දුන්නේය.

ඔහු පසුගියදා නැවත එම විදුහලට ගියේ නව වසරේ දී දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ හා නිල ඇඳුම් ප්‍රදානය කිරීමටය.

1989 දෙසැම්බර් මාසයේ ඔස්ට්‍රේලියානු සංචාරයේ හොබාට් නුවර පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 85ක් රැස් කරමින් සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ හෙතෙම 1992 නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී කාගෙත් අවධානය දිනාගත් පිතිකරුවකු බවට පත්විය. එම ටෙස්ට් තරගමාලාවේ මොරටුවේ පැවැති තරගයේදී ලකුණු 153ක් රැස් කරමින් සිය මංගල ටෙස්ට් ශතකය ලැබූ රොෂාන් එස්.එස්.සී.පිටියේ පැවැති ඊළඟ තරගයේදිත් පිට පිට දෙවැනි ශතකය වාර්තා කරමින් ලකුණු 109ක් රැස් කළේය.

1998 දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන් හී දී සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ රොෂාන් එම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 50ක් රැස් කිරීමට සමත්විය. ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට තරග 52කදී ශතක 4ක් සහ අර්ධ ශතක 11ක් සමග ලකුණු 2576ක් රැස් කළ තිබිණි. රොෂාන් මහනාමගේ ටෙස්ට් තරග බිමේ ස්වර්ණමය සටහන ලෙස වාර්තා වන්නේ 1997 ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයේ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති ටෙස්ට් තරගයේදී සනත් ජයසූරිය සමග එක්ව දෙවැනි කඩුල්ලට බිහිකළ ලකුණු 576ක වාර්තාවය. එහිදී ඔහු පන්දු 561කදී හතරේ පහර 27ක් සමග ලකුණු 225ක් රැස් කිරීමට සමත්විය. එක්දින තරග 213කට ක්‍රීඩා කරමින් ශතක 4ක් සහ අර්ධ ශතක 35ක් සමග ලකුණු 5162ක් රැස් කළ රොෂාන් උඩපන්දු 109ක්ම ඩැහැගැනීමට සමත් විය.

1996 දී එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාගැනීමට විශිෂ්ට දායකත්වයක් සැපයූ රොෂාන් ඉන්දියාව සමග පැවැති අවසන් පූර්ව තරගයේදී රැස් කළ අර්ධ ශතකය අමතක නොවන්නකි.

‘පාසල් තරග වාරයේ දී කැපවීමකින් හා උනන්දුවකින් යුතුව ක්‍රීඩා කරමින් ඔබ්සර්වර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගැනීම ක්‍රිකට් දිවියේ අනාගතයට කළ කදිම දිරිගැන්වීමක් වුණා.’ රොෂාන් මහනාම සිය අතීතය ආවර්ජනය කරමින් එසේ කියයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තම ඉලක්කය වෙත ළඟාවීමට නම් හුදෙක් රොබෝ යන්ත්‍ර බවට පත් නොවී ක්‍රීඩාවේ සම්ප්‍රදායික ක්‍රමවේද අනුගමනය කරමින් මනා සංයමයෙන් හා කැපවීමෙන් ඒ සඳහා යොමුවිය යුතු බව රොෂාන් මහනාම අනාගත ක්‍රිකට් වීරයන්ට කදිමට කියා දෙයි.

ක්‍රීඩාව තුළින් ජීවිතය ජයගත් රොෂාන් මහනාම අනාගතයේදී මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සිහින මවන දහසක් පාසල් ක්‍රීඩකයන්ට කියා දෙන්නේ ක්‍රීඩාව තුළින් ජීවිතය ජයගැනීම පමණක් නොව එහි සාර්ථකත්වයෙන් පසුකාලීනව ශ්‍රී ලාංකික ප්‍රජාවට කදිම සේවයක් ලබාදීමේ වැදගත්කමය. එවැනි සේවයක් ලබාදීම යුතුකමක් ලෙස සළකන රොෂාන් මහනාම අනාගත ක්‍රිකට් තරුවලට කදිම උත්තේජනයක් සපයයි.

‘සාර්ථකත්වයට කෙටි පාරවල් නෑ’

මහනාමගේ උදාන ගීතය එයයි.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න