අපේ ප්‍රමිතිය ලොවම පිළිගන්නවා | දිනමිණ

අපේ ප්‍රමිතිය ලොවම පිළිගන්නවා

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා. ජී. සේනාරත්න

ප්‍රමිති සහතිකය යනු කුමක් ද?

ඕනෑම නිෂ්පාදනයක තත්ත්වය පිළිබඳ පාරිභෝගිකයන් වන අපට, නිෂ්පාදනය දෙස බලා තීරණය කළ නොහැකි අතර, ඒ පිළිබඳ කරුණු රසායනාගාර පරීක්ෂාවකට ලක්කර තීරණය කර ගත යුතුයි. තවත් සමහරක් කරුණු අපට සොයා බැලීමට හැකි වන්නේ එම නිෂ්පාදනයේ, නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂාවට ලක් කිරීමෙනි. උදාහරණයක් ලෙස ගත් විට, යම් ආහාරයක් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කළා යැයි රසායනාගාර පරීක්ෂාවට යොමු කර සොයා ගත නොහැකි වන අතර, ඒ සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කර සොයා බැලිය යුතුයි.

යම් නිෂ්පාදනයක SLS සහතික ලාංඡන භාවිත කිරීමට අවසර දෙනු ලබන්නේ, එම නිෂ්පාදනය රසායනාගාර පරීක්ෂාවකට ලක් කර ඒ අදාළ ප්‍රමිතියට අනුකූල දැයි සොයා බැලීමෙන් සහ නිෂ්පාදන ක්‍රියාවලිය ද පරීක්ෂාවට ලක් කිරීම මගිනි. තව ද අමුද්‍රව්‍ය මිල දී ගැනීමේ සිට අවසාන නිෂ්පාදනය ලබා ගැනීම දක්වා එය සුදුසු ලෙස පාලනය කරන ලද තත්ත්ව යටතේ සිදු කරන්නේ ද යන්න සොයා බැලීමෙන් අනතුරුව SLS සහතික ලාංඡන නිකුත් කරනු ලැබේ.

ඒ වාගේම මුළු නිෂ්පාදන ක්‍රියාවලියම සුදුසු ලෙස සැලසුම් ගත කර සිදු කිරීමට අවශ්‍ය වේ. තවත් වැදගත් කාරණාවක් ලෙස SLS සහතික ලාංඡන ලබා දුන් පසුවත් නිෂ්පාදන පරීක්ෂණාගාරයක, පරීක්ෂා කිරීම මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීමට අප ආයතනය බැඳී සිටී. ඒ සඳහා අප ආයතනයේ විෂයට අදාළ දැනුමින් සහ පළපුරුද්දෙන් යුතු නිලධාරීන් කණ්ඩායමක් මගින් එය සිදු කරනු ලැබේ.

ප්‍රමිති සහතිකය ලබා ගැනීම වැදගත් වන්නේ ඇයි?

SLS සහතික ලාංඡන, නිෂ්පාදනයක් ඒ අදාළ ප්‍රමිතියට අනුකූලව, නිෂ්පාදනය කර ඇති බවට, විශ්වාසයෙන් යුතුව, පාරිභෝගිකයාට ලබා ගැනීමට හැකියාව ලැබේ. ඒ වාගේම නිෂ්පාදකයාට වෙළෙඳ නාමයක් යටතේ SLS සහතිකය නිකුත් කිරීම සිදු කරනු ලබයි. තව ද පාරිභෝගිකයාට ප්‍රමිති සහතිකය තිබෙන භාණ්ඩ මිල දී ගැනීම මගින් වෙළෙඳ පොළේ දී ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත භාණ්ඩ මිල දී ගැනීමට හැකියාව ලැබේ.

ව්‍යාපාරිකයාට SLS සහතිකය පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වඩාත් වැදගත් වේ. වෙළෙඳ පොළ තරගකාරීත්වය නිසා පාරිභෝගිකයාට ඉතා හොඳ තත්ත්වයේ භාණ්ඩ ලබා ගැනීමට හැකි වේ. තරගකාරීත්වයක් නැති භාණ්ඩයක් සඳහා වුව ද වෙළෙඳ පොළ ජය ගැනීමට ද හැකියාව මෙමගින් ලබා ගැනීමට පුළුවන.

ප්‍රමිති සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කළහොත්?

සහතික ලාංඡනය තම භාණ්ඩ සඳහා භාවිත කිරීමට අදහස් කරන නිෂ්පාදකයකු, පළමුවෙන්ම එම භාණ්ඩය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයක් තිබේ ද යන්න තහවුරු කොට දැනගත යුතු වේ. ඉන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අයැදුම් පත්‍රය යොමු කළ යුතු අතර, ඊට අදාළ ගාස්තුව ද ගෙවිය යුතු වේ. විවිධ ප්‍රමිතීන් යටතේ ආවරණය වන භාණ්ඩ රැසක් නිපදවන අවස්ථාවක දී ඒ එක් එක් භාණ්ඩය සඳහා වෙනම අයැදුම් පත්‍රයක් යොමු කළ යුතු වේ. අයැදුම්කරුවකු එකම වෙළෙඳ නාමය යටතේ කර්මාන්තශාලා කීපයක යම් භාණ්ඩයක් නිපදවන්නේ නම් ඒ සියලු කර්මාන්තශාලා සඳහා වෙන් වෙන් වශයෙන් අයැදුම් පත්‍ර, එකම අවස්ථාවක දී යොමු කළ යුතු වේ.

අයැදුම් පත්‍රයක් ලැබීමෙන් පසු එහි සඳහන් තොරතුරු මත පදනම්ව, තත්ත්ව ආරක්ෂණය සඳහා නිෂ්පාදකයා විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඇගයීමට ලක් කරනු ලැබේ. ඉන් පසුව, නිෂ්පාදන ආයතනය ක්‍රියාවට නංවා ඇති තත්ත්ව කළමනාකරණ පද්ධතිය පරීක්ෂා කොට සනාථ කිරීම පිණිස කර්මාන්තශාලාවට ප්‍රමිති ආයතන නිලධාරීන් පැමිණෙනු ලබයි. නිෂ්පාදන ආයතනය සතු පරීක්ෂණාගාර පහසුකම් පිළිබඳ මෙහි දී විශේෂ අවධානය යොමු කරනු ලබයි. තව ද පරීක්ෂණය කිරීම සඳහා ප්‍රමිති ආයතන නිලධාරීන් භාණ්ඩ නියැදි ලබා ගනී. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ප්‍රමිති ආයතන නිලධාරීන්ට ලබා දීම අයැදුම්කරු විසින් කළ යුතුය. කර්මාන්තශාලාව පරීක්ෂා කිරීම, භාණ්ඩ පරීක්ෂණය සහ නියැදි සඳහා වන සියලු වියදම් අයැදුම්කරු විසින් දැරිය යුතුය. භාණ්ඩ අදාළ ප්‍රමිතියට අනුකූල වන විට (අවස්ථා දෙකක දී ලබා ගන්නා නියැදි පරීක්ෂා කිරීමෙන් පසුව) සහ සතුටුදායක මට්ටමින් තත්ත්වය ආරක්ෂණ පද්ධතිය ක්‍රියාවට නංවා ඇති විට, සහතිකකරණයට අදාළ නිර්නායක සපුරාලන්නේ දැයි තව දුරටත් තහවුරු කරනු පිණිස විශේෂ නිලධාරී මණ්ඩලයක් විසින් අවසන් වරට කර්මාන්තශාලාව පරීක්ෂණයට භාජනය කරනු ලබයි.

සහතික ලාංඡනය භාවිතයට අවසර දීමේ දී බලපත්‍රය නිකුත් කිරීමේ දී සළකා බලන කාරණාවන් මොනවා ද?

පරීක්ෂණය කරන ලද භාණ්ඩ නියැදි අදාළ ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූල විය යුතුය. සතුටුදායක තත්ත්ව ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මකව පැවැතිය යුතුය. බලපත්‍රය නිකුත් කිරීමට අදාළ පොදු කොන්දේසි, විශේෂ කොන්දේසි සහ වාර්ෂික බලපත්‍ර ගාස්තු ගෙවීම සම්බන්ධව නිෂ්පාදකයා එකඟ විය යුතු වේ.

ප්‍රමිති සහතික ලාංඡනය භාවිතයට අවසර දීමේ දී බලපත්‍රය නිකුත් කිරීමේ දී බලපත්‍රයට අදාළ සීමාවන් තිබෙනවාද?

එකම ප්‍රමිති පිරිවිතරකින් ආවරණය වුව ද, විවිධ වෙළෙඳ නාම යටතේ භාණ්ඩයක් අලෙවි කරන නිෂ්පාදකයකු ඒ එක් එක් වෙළෙඳ නාමය සඳහා වෙන් වෙන් බලපත්‍ර ලබා ගත යුතුවේ. යම් භාණ්ඩයක් සඳහා යම් වෙළෙද නාමයක් යටතේ සහතික ලාංඡනය යොදන අවස්ථාවක දී, එම ප්‍රමිති පිරිවිතරෙන් ආවරණය වන සමාන භාණ්ඩයක් සඳහා සහතික ලාංඡනය නොගෙන, එම වෙළෙඳ නාමය යටතේම විකිණීම නොකළ යුතුය. යම් භාණ්ඩයක් එක් වෙළෙඳ නාමයක් යටතේ කර්මාන්තශාලා කීපයක නිපදවන විට ඒ එක් එක් කර්මාන්තශාලා කීපයක නිදවන විට ඒ එක් එක් කර්මාන්තශාලා සඳහා වෙන් වෙන් වශයෙන්, එකම අවස්ථාවක දී බලපත්‍ර ලබා ගත යුතුවේ. එවැනි අවස්ථාවක දී එකම වෙළෙඳ නාමය යටතේ සමාන භාණ්ඩ නිපදවන සියලුම කර්මාන්තශාලා බලපත්‍රය නිකුත් කිරීමේ අවශ්‍යතාව‍ක් සපුරන තුරු එක් කර්මාන්තශාලාවකට හෝ බලපත්‍ර නිකුත් නොකරනු ලබයි.

ප්‍රමිති සහතික ලාංඡනය භාවිතයට අවසර දීමේ දී සිදු කරන පශ්චාත් ඇගයීම් සහ පරීක්ෂා මොනවාද?

නිශ්චිත කාලසීමා ඇතුළත කර්මාන්ත ශාලාව පරීක්ෂා කිරීම මගින් අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරට භාණ්ඩය දිගින් දිගටම අනුකූල වන බව සහ බලපත්‍ර කොන්දේසිවලට එකඟව ක්‍රියා කරන බව තහවුරු කරනු ලැබේ. එහි දී භාණ්ඩ නියැදි ලබා ගන්නා අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන පරීක්ෂණාගාරයේ දී හෝ වෙනත් ස්වාධීන පරීක්ෂණාගාරයේ දී ඒවා පරීක්ෂාවන්ට භාජනය කරනු ලබයි. සමහර අවස්ථාවල දී නියැදි ලබා ගැනීම විවෘත වෙළෙඳ පොළෙන් හෝ නිෂ්පාදකයාගේ ගැනුම්කරුවකුගෙන් හෝ විය හැකිය.

බලපත්‍ර හිමියකු සෑම අවස්ථාවකදීම, බලපත්‍ර කොන්දේසිවලට එකඟව කටයුතු කළ යුතුය. එමෙන්ම අදාළ කටයුතුවල දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පූර්ණ සහයෝගය ලබා දිය යුතුය.

ප්‍රමිති සහතික ලංඡනය භාවිතයට අවසර දීමේ දී වාර්ෂික බලපත්‍ර ගාස්තු ගෙවිය යුත්තේ කෙසේ ද?

බලපත්‍ර නිකුත් කිරීමෙන් පසුව, මුළු විකුණුම් ප්‍රමාණය පදනම් කර ගනිමින් වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් අය කරනු ලබයි. ත්‍රෛමාසිකව, කොටස් වශයෙන් ද එම ගාස්තු ගෙවිය හැකිවේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදු කරනු ලබන අනෙකුත් සේවාවන් මොනවා ද?

ප්‍රමිතීන් භාවිතය ප්‍රවර්ධනය කිරීම මගින් ජන ජීවිතයේ තත්ත්වය ඉහළ දැමීමට තවත් කාර්යයන් රාශියක් සිදු කරනු ලැබේ. ඒ අතර ISO 9001, 14001, 22200 වැනි පද්ධති සහතික ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීම, පරීක්ෂණාගාර සේවාව, පුහුණු කිරීම්, උපකරණ ක්‍රමාංකනය, පුස්තකාල සේවාව, අපනයන පරීක්ෂාව, පාරිභෝගික අධ්‍යාපනය සැපයීම සිදු කරනු ලබයි.

මදාරා මුදලිගේ

නව අදහස දක්වන්න