බැඳුම්කර ජනපති කොමිසමේ නිර්දේශ පදනම් කරගෙන විගණනයක් | දිනමිණ

බැඳුම්කර ජනපති කොමිසමේ නිර්දේශ පදනම් කරගෙන විගණනයක්

ජයසිරි මුණසිංහ

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසම නිර්දේශ කළ සවිස්තරාත්මක විගණනයක් පැවැත්වීමේ මූලික කටයුතු දැනටමත් ආරම්භකොට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කෙළේය.

ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පවා ප්‍රමාද කර තිබෙනවාදැයි මාධ්‍යවේදියකු නැඟු පැනයකට පිළිතුරු ලබාදෙමින් අධිපතිවරයා එසේ කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිපතිවරයා කොමිසමේ නිර්දේශයන්ට අනුව වසර 2008 සිට වසර 2015 දක්වාම බැඳුම්කර ගනුදෙනු පිළිබඳව සවිස්තරාත්මක විගණනයක් සිදුකිරීමට පියවරගත යුතුය. ඒ අනුව ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති, මේ සම්බන්ධයෙන් ප්‍රවීණතාවයක් තිබෙන සම්පූර්ණයෙන්ම අපක්ෂපාති ආයතනවල වෘත්තීයවේදීන් විසින් මේ පරීක්ෂණය කළ යුතුව ඇතැයි ද අධිපතිවරයා කීය.

එවන් පිරිස් තෝරාගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් සිදුකැරෙමින් පවතින බව ද අධිපතිවරයා සඳහන් කෙළේය.

භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකිරීමට නිර්දේශ වූ වෝහාරික විගණනය ප්‍රමාද වන බවට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවකදී අනාවරණය වූ බවත්, ඊට මහ බැංකුව විසින් දක්වන ප්‍රතිචාරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු නැඟූ පැනයට පිළිතුරු ලබා දුන් අධිපතිවරයා Òඅපි ඒ වෝහාරික විගණනය සිදුකිරීමට අවශ්‍ය සියලු සහාය ලබා දෙනවා. කිසිම ප්‍රමාදයක් නැහැ. අපේ පාර්ශ්වයෙන් සිදු කැරෙන්නේ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපැයීමයි. ඊට අදාළ ස්වාධීන, ජාත්‍යන්තර පිළිගත් අය සොයා ගන්නට ප්‍රසම්පාදන ‍ක්‍රියාවලියක් කළ යුතුයි. එය දැන් ආරම්භ වී තිබෙනවා. මෙය විගණකාධිපතිවරයාගේ පාර්ශ්වය යටතේ සිදුකරන පරීක්ෂණයක්.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ සවිස්තරාත්මක විගණනය අත්‍යවශ්‍යම නොවන බවත්, ඒ අනුව නීතිපතිවරයාට අදාළ නීතිමය කටයුතු කැරගෙන යෑමට හැකියාව පවතින බව ද මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැහැදිලි කෙළේය.

නමුත්! මේ වාර්තාව ලැබේ නම් නීතිපතිවරයාට පවා තම ඉදිරි කටයුතු පවත්වාගෙන යෑමට පහසුවක් වන බව ද නීතිපතිවරයා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති හමුවේදී ප්‍රකාශ කළ බව ද ආචාර්ය වීරසිංහ මහතා කීය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සිදු කැරෙන සවිස්තරාත්මක විගණනයට (වෝහාරික විගණනය) අඩුම තරමේ මාස නවයක (09) කාලයක් ගතවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

නව අදහස දක්වන්න