ජාඩි සංස්කෘ­තිය හා ජාඩි භාෂාව | දිනමිණ

ජාඩි සංස්කෘ­තිය හා ජාඩි භාෂාව

‘ඇම්බන් මහත්තයා... අද ගිය ගමනින් නම් හරිම ප්‍රයෝජනයක් වුණා.‘ කියමින් ටොම්සන් මහත්තයා සාලයට පිවිසියේය.

‘ඒ මොකද ටොම්සන් මහත්තයා.. මොකක්ද ඒ ලැබුණු ප්‍රයෝජනේ..‘ කියා අසමින් උන්නැහේද එතැනට ආවේය.

‘ඇම්බන් මහත්තයා අහලා තියෙනවාද ජාඩි භාෂාව ගැන ජාඩි සංස්කෘතිය ගැන...‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේ බොහෝ බැරෑරැම් විලාසයෙනි.

‘මං නං අහලා නෑ ජාඩි කියලා රටක් තියෙනවා කියලා... අපි භාෂාවක් හරි සංස්කෘතියක් හරි හඳුන්වන්නේ ඒ රටේ නමින් නේ... දැන් ඔය කොංගෝ භාෂාව, ඉතියෝපියානු භාෂාව, එහෙම නැතිනම් ඉන්දියානු භාෂාව. එහෙම කියන්නත් අමාරුයි නේ. ඉන්දියාවේ භාෂා කීයක් තියෙනවද? හැබැයි ඉන්දියානු සංස්කෘතිය කියලා නම් කියන්න පුළුවන්. ඒ මොකද? විවිධ සංස්කෘතීන් ඒ රටේ තිබුණත් ඉන්දියාවේ පොදු සංස්කෘතියකුත් තියෙනවානේ.. එතකොට රුසියානු භාෂාව, රුසියානු සංස්කෘතිය, අමෙරිකානු භාෂාව, ඒක එංගලන්තේ ඉංග්‍රීසිවලට වඩා වෙනස් නේ. එතකොට අමෙරිකානු සංස්කෘතිය.... එතකොට මොකක්ද ටොම්සන් මහත්තයා ඔය ජාඩි කියන රට. මං නං මේ ඇහුවාමයි...“ කියා උන්නැහේ පුදුමයෙන් කීවේය.

ටොම්සන් මහත්තයා මඳ සිනහවක් නැඟුවේය.

‘ඇත්තටම උන්නැහේ... ජාඩි භාෂාවක් තිබුණාට ජාඩි සංස්කෘතියක් තිබුණාට ජාඩි තියෙන්නේ ඔය දකුණේනේ... එහෙම නැතිව ජාඩි කියලා රටක් නෑනේ... ‘

‘ඒක මිසක්... ඒ වුණත් මොකක්ද ටොම්සන් මහත්තයා ඔය ජාඩි භාෂාව, ජාඩි සංස්කෘතිය කියන්නේ.. මට නම් ඒක තේරෙන්නේ නෑ... අද ගිහින් හොයා ගෙන ආවේ ඒකද? ඒ කියන්නේ ඒ ජාඩි භාෂාවයි, ජාඩි සංස්කෘතියයි මේ රටේමද තියෙන්නේ.... ‘ කියා ඇම්බන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

‘අන්න ඇම්බන් මහත්තයාට තේරුණා... මේක කිව්වේ බස්නාහිර පළාතේ සංස්කෘතික ඇමැතිතුමා, රංජිත් සෝමවංස ඇමැතිතුමා. දේශපාලනඥයෙක් මේ විදිහට රටේ භාෂාව, සංස්කෘතිය ගැන, මාධ්‍ය භාෂාව ගැන මේ වගේ කථාවක් කරනවා මං ඇහුවමයි. ඒ විදිහට මේ ජාඩි සංස්කෘතිය දේශපාලනඥයෝ හරියට තේරුම් ගත්තොත් මේකට විසඳුම් යොදන්නත් පුළුවන් වෙයි. ‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘ඇත්තටම ටොම්සන් මහත්තයාට බස්නාහිර සංස්කෘති ඇමැතිතුමා හම්බු වුණාද? මොකක්ද උත්සවේ?“ කියා උන්නැහේ ඇසුවේය.

‘ඇයි මේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා අංශයෙන් පවත්වපු ‘කියවන්නෝ දිනන්නෝය‘ කියන අමුතු වැඩ සටහනේ සහතික සහ ත්‍යාග ප්‍රදානෝත්සවය තිබුණානේ ගිය සතියේ මතුගම මීගහතැන්නේ මෙරිල් කාරියවසම් මධ්‍ය මහා විද්‍යාලයේ. ඒක මේ සිංහල භාෂාව විෂය භාර නයනා දීප්ති ගුණරත්න නෝනා සංවිධානය කරපු එකක්. මට ලොකු සංතෝෂයක් ඇති වුණේ මේ වගේ වැඩ සටහන්වලට අධ්‍යාපන ඇමැතිතුමා දක්වපු අනුග්‍රහය. ඒ උත්සවයේ දී තමයි රංජිත් සෝමවංස ඇමැතිතුමා කතා කරන කොට මේ කතාව කිව්වේ. ‘ ටොම්සන් මහත්තයා කීවේය.

‘ඇත්තටම ටොම්සන් මහත්තයා... තව ටිකක් විස්තර කරන්ඩකෝ... මොකක්ද කිව්වේ. ? ‘කියා උන්නැහේ ඇසුවේය.

‘සෝමවංස ඇමැතිතුමා කියන්නේ අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ කුණු රසට කියලා.. කොච්චර හොඳ කෑම පිඟානක් බෙදා ගත්තත් අන්තිමට කුණු රස තියෙන කරෝල කෑල්ලක් හොයා ගන්නවාලු. ඒක හරියට ජාඩි වගේලු. ඒ කියන්නේ පණුවෝ අස්සේ තියෙන මාලු කැල්ලක් නේ.. ඒ වගේ තමයිලු අපේ මාධ්‍ය භාෂාවත්, ඒ එක්කම ගොඩනැඟිලා තියෙන සංස්කෘතියත්. ඒ දෙකට තමයි සෝමවංස ඇමැතිතුමා නම් කෙරුවෝ ජාඩි භාෂාවයි, ජාඩි සංස්කෘතියයි කියලා. ඇම්බන් මහත්තයා දන්නවද? මං කාලයක් තිස්සේ හොය හොයා හිටියේ මේ නන්නත්තාර වෙච්චි භාෂාවටත්, නන්නත්තාර වෙච්චි සංස්කෘතියටත් යොදන්න හොඳම නම මොකක්ද කියලා.. ජාඩි භාෂාව. ජාඩි සංස්කෘතිය කිව්වම ආයේ වෙන කිසිම යෙදුමක් ඕනැ නෑ... අද අපේ රටේ තියෙන්නේ ජාඩි භාෂාවයි. ජාඩි සංස්කෘතියයි තමයි. එතකොට උන්නැහේට හිතා ගන්න පුළුවන්ද ජාඩි රට මොකක්ද කියලා.... බොහොම කනගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ ජාඩි රටේ තමයි අපි මේ ඉන්නේ කියලා... ‘

‘ඒක නම් පට්ටම කතාවක් තමයි.‘ කියා උන්නැහේ අත්පුඩි ගැසුවේය.

‘ඒ මොකක්ද උන්නැහේ... ? පට්ට කතාව...? ‘කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘ඇයි ඇම්බන් මහත්තයා... ඔය දැන් පත්තරවලත් හෙඩිම්වල යන්නේ පට්ට ආදර කතාව... පට්ට ලව් එක.. පට්ට දේශපාලනේ කියලා.. ඒවා ඔය ජාඩි භාෂාවේ කෑලි නේ... ‘ කියා උන්නැහේ කීවේය.

‘ඒ කියන්නේ පත්තර කලාවටත් දැන් ජාඩි භාෂාව ඇවිල්ලද උන්නැහේ...? කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘නැතිව ටොම්සන් මහත්තයා... ලේසියට... ලාබෙට... නවීන කාලෙට ගැළපෙන පත්තර කලාව ඒක තමයි.. දැන් පුවත්පත් මාධ්‍යයත් ඔය කියන ජාඩි භාෂාවට එක් වෙමින් ඉන්නවා.. තව ටික කාලයක් ගියාම සමස්ත මාධ්‍ය කලාවම ජාඩි භාෂාවෙන් පිරෙයි..‘ කියා උන්නැහේ කීවේය.

‘අන්න නියම තැනට ආවා... මං මේ කල්පනා කර කර හිටියේ... අපි කොහොමද මේ ජාඩි කියන වචනේ භාවිතයට ගන්නේ.. එතකොට ජාඩි මාධ්‍ය කියලත් කියන්න පුළුවන්.. එතකොට ජාඩි මාධ්‍ය පාඨමාලාවක් හෙමත් පවත්වන්න පුළුවන් වෙයි... පට්ටම තමයි ඉතින්... ‘කියා ටොම්සන් මහත්තයා අත්පුඩි ගැසුවේය.

බන්දුල පී දයා­රත්න

නව අදහස දක්වන්න