කතානායක මිස පාර්ලිමේන්තුව වර්ජනය කළේ නෑ | දිනමිණ

කතානායක මිස පාර්ලිමේන්තුව වර්ජනය කළේ නෑ

නුවන් කොඩිකාර

එක්සත් ජාතික පක්ෂයේ ලෝගුව ඇඳගෙන, එහි පක්ෂ නායක රැස්වීමක් බවට පාර්ලිමේන්තුව පත්කර ගත් නිසා ආණ්ඩු පක්ෂය කතානායකවරයා වර්ජනය කළා මිස කිසි විටෙකත් පාර්ලිමේන්තුව වර්ජනය කොනළ බව එජනිස අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග හා එහි සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් නීති විරෝධි ලෙස කතානායකවරයා පාර්ලිමේන්තුවේ කටයුතු කරනතාක් කල් ඔහු සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂය සූදානම් නැති බවත් මන්ත්‍රීවරයා කීවේය.

ඉදිරියේ දී ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට පැමිණ කටයුතු කරනවාද? නැද්ද? යන්න තීරණය වන්නේ කතානායකවරයා නීතිගරුකව කටයුතු කරනවාද? නැද්ද? යන තීරණයත් සමඟ බවද හෙතෙම කීවේය.

අගමැති කාර්යාලයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.

කතානායකවරයා සාධාරණ නම්, නීතිගරුක නම්, ව්‍යවස්ථාවට,ස්ථාවර නියෝගවලට අනුව ක්‍රියා කරන්නේ නම් ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට ඒමට සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට හෝ සිය පවුලේ පුද්ගලයකුට ලබාදෙන බවට ලබා දී ඇති ලනුවට අනුව පුද්ගලික න්‍යාය පත්‍රයකට කටයුතු කරන කතානායකවරයකුට ගරු කිරීමට කිසිඳු මෙහොතක සූදානම් නැති බවත් ඒ මහතා කියා සිටියේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිදු කරන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් සේමසිංහ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලබල වුණාට එක්සත් ජාතික පක්ෂය සමඟ භාරකාර ආණ්ඩුවක් හෝ සන්ධාන ගතවීමක් යළිත් කිසි දිනෙක සිදුවෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට අපි පුළුල් සන්ධානයක් ලෙස ඉදිරියේ දී තරග කරනවා. ඒ වගේම අපිත් එක්ක සන්ධාන ගත වෙලා තරග කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සාකච්ඡා කරමින් ඉන්නවා. ඇතැම් පුද්ගලයන් මැතිවරණයෙන් පසු ආණ්ඩුව සමඟ එකතුවීමට පවා කතිකා කරගෙන යනවා.

භාරකාර රජයකට එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් කරන්න ඇත්තේ එම මන්ත්‍රීවරුන්ට බලය සිටීමට අව්‍යශ නම් එලෙස එකතු වන්නැයි කියන ඉඟියයි. අපේ සන්ධානය, සන්ධාන ගත වී සිටින්නේ මෙරට බහුතර ජනතාවත් එක්කයි. ඔවුන්ගේ වුවමනාවන් හා අපේක්ෂාවන් ඉටුවන සන්ධානයක් ඉදිරියේ දී නියත වශයෙන්ම ස්ථාපිත කරනවා. ඒ වගේම ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී බහුතර බලයක් සහිත ආණ්ඩුවක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවනවා.

මේ දිනවල එක්සත් ජාතික පක්ෂය දකින සිහින මහ මැතිවරණයෙන් පසු බොඳව වෙන එක වළක්වන්න කාටවත් බැහැ. අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් බොරු ගොත ගොතා කියමින් ඉන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ආසනය අන්ත පරාජයවීමෙන් ඔහුගේ කයිවාරුවල තරම මැනවින් ඔප්පු වුණා. මේ අවස්ථාට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී චානක, පළාත් සභා මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහත්වරු ද සහභාගී වී සිටියහ.

නව අදහස දක්වන්න