නව අගවිනිසුරුට ජනතා ලිපියක් | දිනමිණ

නව අගවිනිසුරුට ජනතා ලිපියක්

නිදහස් ශ්‍රී ලංකාවේ 46 වැනි අගවිනිසුරුවරයා ලෙසින් පත් වූ ඔබතුමාට පළමුව අපි සුබ පතමු. මහේස්ත්‍රාත්වරයකු ලෙස අධිකරණ සේවයට පිවිස ක්‍රමයෙන් එහි ඉහළම තනතුර දක්වා පියමන් කරන්නට ලැබීමද ඔබ ලද භාග්‍යයක් කොට සලකමු. අධිකරණ ක්ෂේත්‍රය වඩාත් කතා බහට හා ජනතාවගේ අවධානයට ලක්ව තිබෙන වකවානුවක එහි මුල් පුටුවට ඔබතුමා පැමිණීම කෙරෙහි සමස්ත ජනතාව මහත් බලාපොරොත්තු තබා ගෙන සිටින වගද පැවසිය යුතුව තිබේ.

අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද සියයට සියයක් සතුටු විය හැකි තත්ත්වයක් නොපවතින බවද කිව යුතුවේ. හැකිතාක් දුරට එය ජනතාවගේ හිත සුව පිණිස යෙදවිය හැකි වේදිකාවක් බවට එය පත් කරන්නේ නම් එය ර‍ෙට් මෙන්ම ජනතාවගේද ජයග්‍රහණයක් වනවාට කිසිම සැකයක් නැත.

නඩු යන්නෝ වැනසෙන්නෝ යයි ප්‍රසිද්ධ කියමනක් සමාජය තුළ තිබේ. ජනතාව අධිකරණ පද්ධතිය තුළ සිදු වන ක්‍රියාදාමය හඳුන්වාදීමට එය කියනවාද විය හැකිය. එසේ නැතිනම් පවතින එකී තත්ත්වය සියුම් ලෙස විනිශ්චය කිරීමට එය කියනවා වන්නටද පුළුවන. එකී තත්ත්වය අද ඊයේ ඇති වූ දෙයක්ද නොවේ.

නමුත් එම තත්ත්වය යම් පමණකින් හෝ වෙනස් කරන්නට ක්‍රමවේදයක් ඇතිකරන්නේ නම් එය රටට වැඩදායි කටයුත්තක් වනු ඇත.

රටේ නීතිය එක් එක් ආකාරයෙන් ක්‍රියාත්මක වන බවටද චෝදනා නැ‍ඟෙයි. පොඩි මිනිසකු වරදක් කළ විට වේගයෙන් නීතිය ක්‍රියාත්මක වුවත් බල පුළුවන්කාරයකු වරදක් කළ විට නීතිය මන්දගාමීව ක්‍රියාත්මක වීමක් සිදුවන බව කියති. එය වෙනස් කිරීම කෙරෙහිද ඉක්මන් අවධානය යොමු වන්නේ නම් මැනවි. යම් චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවන හා අධිකරණය තීන්දුවක් හරහා වැරදිකරුවන් කෙරෙන ප්‍රභූන් ක්ෂණිකව බරපතළ රෝගීන් බවට පත්ව බන්ධනාගාර රෝහල තුළ ඇදන් මතට වී සුවසේ කාලය ගත කිරීමට අවසර ලබාදීම කෙතරම් දුරට නීතියට එකඟද යන්න විමසා බැලිය යුතුය.

රෝගියෙකුට ඒ අයුරින් වරප්‍රසාදයක් ලබාදීම කිසිම ප්‍රශ්නයක් නොවේ. එහෙත් මෑතක සිට මෙම තත්ත්වය බහුල ලෙස සිදුවන අතර බන්ධනාගාරයන්හි සේවයෙහි නියුතු ඇතැම් වෛද්‍යවරු ක්ෂණිකව මෙ පිරිස් බරපතළ රෝගීන් බවට තීන්දු කෙරෙන රහස කුමක්ද කියා පසු සොයා බැලීමක් හෝ කරන්නේ නම් අගනේය. මෙම බරපතළ රෝගීන් ඇප ලැබුණු විගසම හෝ නිදහස ලැබුණු සැණින්ම හෝ එකී සියලු රෝගද සුවවන වෛද්‍ය හාස්කම කුමක්ද? මේ කෙරෙහිද ඔබතුමාගේ අවධානය යොමු කර කිසියම් හෝ ක්‍රමවේදයක් ඇති කරන්නේ නම් යහපත්ය.

මේ වන විට අධිකරණයන්හි විශාල නඩු ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි කියති. මෙය එසේ මෙසේ කරුණක් නොවේ. නඩු ගොඩගැසීම තුළින් කියා පානුයේ අධිකරණ පද්ධතිය තුළ පවතින මන්දගාමීත්වයයි. මෙනිසා යුක්තිය ඉටුවීමට වසර ගණන් බලා සිටීමට රටවැසියන්ට සිදුව තිබේ. එය කිසිසේත්ම යහපත් ප්‍රවණතාවයක් නොවේ. මෙලෙස ගොඩ ගැසී ති‍ෙබන ඇතැම් නඩු වසර 10, 15, 20 වැනි කාලයක තිස්සේ පවතින බව කියති. ඇතැම් නඩු විනාඩි කිහිපයක කැඳවීමකින් පසුව අවසන් කළ හැකි ආකාරයේ ඒවා වන බවද කියති. සාධාරණය ඉටුවන විට නඩුවලට සම්බන්ධ සමහර පිරිස් ජීවතුන් අතරත් නැත. ගොඩ ගැසී තිබෙන වර්ගීකරණයකට ලක් කර ක්ෂණිකව විසඳුම් ලබාදිය හැකි ඒවාට විසඳුම් ලබා දීමත්, සුළු වැරදි සම්බන්ධයෙන් වන නඩු කෙටි කලක් තුළ විභාග කර තීරණයකට එළැඹීමත් සඳහා ක්‍රමවේදයක් සකසන්නේ නම් එය අතිශය වැදගත් වනු ඇත.

අධිකරණ කාර්යාලයන්හි වැඩ කටයුතු ද ඉබි ගමනින් සිදු කෙරෙන ආකාරයක් දැකිය හැකිය. මෙනිසා නියමිත ලිපි ලේඛන විත්ති පාර්ශ්වයනට මෙන්ම පැමිණිලි පාර්ශ්වයනටද ලබාගැනීමට දුෂ්කර ක්‍රියාවක නිරතවීමට සිදු වන බව දැන ගන්නට ලැබේ. නීතිඥ මහත්ම මහත්මීන් මෙම තත්ත්වය හොඳින්ම දන්නා පිරිසයි. එබැවින් කාර්යාලීය සේවාවන් වඩාත් කාර්යක්ෂමව කෙරෙන වැඩපිළිවෙළකටද යොමු කරවිය යුතු කාලය දැන් පැමිණ තිබේ. නවීන තාක්ෂණය නිසි ලෙසින් මේවා තුළට එක් කර නැත. එය බලවත් අඩුපාඩුවකි. පවතින සීමිත සම්පත් . යටතේ වුව වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයිය හැකි ස්ථානයක් බවට මෙම ස්ථානයන් පත්කරන්නේ නම් එය අගනා කටයුත්තක් බවද පවසා සිටිමු.

අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තව බොහෝ කරුණු ඇතත් ඒ සියල්ල මෙහි සඳහන් කිරීමට අදහස් නොකරමු. පවතින ප්‍රධාන ගැටලු කිහිපයක් පමණක් මෙසේ ඉදිරිපත් කළෙමු. එකී මූලික කරුණු කෙරෙහි හෝ ඔබතුමාගේ අවධානය යොමු කර පවතින තත්ත්වයෙන් තවත් එක අඩියක් හෝ ඉදිරියට අධිකරණය ගමන් කරවීමට පියවර ගන්නේ නම් එය මේ රටේ ජනතාවට යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් ඔබතුමා විසින් සිදු කරනු ලබන අනභිභවනීය සේවාවක් වනවාට කිසිම සැකයක් නැත.

රට හා රටේ ජනතාව වෙනුවන් වැදගත් මෙහෙයක් කිරීමට ඔබතුමාට ශක්තිය හා ධෛර්ය ලැබේවායි පතමු.

ආර්. එම්.ජයන්ත කෝට්ටේ

නව අදහස දක්වන්න