උඩවලව ජාතික වන උයනට බලංගොඩින් පිවිසුමක් | දිනමිණ

උඩවලව ජාතික වන උයනට බලංගොඩින් පිවිසුමක්

උඩවලව ජාතික වනෝද්‍යානය සදහා බලංගොඩ හදගිරිය ප්‍රදේශය හරහා නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට රජය කටයුතු කරයි.

සබරගමුව පළාත් සභාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සබරගමුව විශ්වවිද්‍යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

උඩවලව ජලාශය ඇතිකිරීමෙන් අනතුරුව එහි ජලපෝෂක ප්‍රදේශය වශයෙන් සහ එම ප්‍රදේශයේ අලි ඇතුන් ඇතුළු අනෙකුත් වන සතුන් ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් 1972 වසරේ දී ජාතික වනෝද්‍යානයක් ලෙස උඩවලව ප්‍රකාශයට පත්කර ඇත. මෙහි වපසරිය හෙක්ටයාර් 30 821කි.

රත්නපුර හා මොනරාගල දිස්ත්‍රික්ක දෙක මධ්‍යයේ පිහිටා ඇති මෙම වන උද්‍යානයේ දැනට ඇති එකම ප්‍රවේශ මාර්ගය පිහිටා ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයේ උඩවලව තණමල්විල මාර්ගයේ 7 කණුව ආසන්නයේය.

දැනට බලංගොඩ හදගිරි ප්‍රදේශයෙන් ආරම්භ කෙරෙන උඩවලව දෙවන පිවිසුමට අදාළව මේ වන විට උද්‍යාන පිවිසුම සහ උද්‍යාන අභ්‍යන්තර මාර්ග පද්ධතිය ද සකස් කර ඇත.

පරිසර හිතකාමී ලෙස සකස්කර ඇති එම මාර්ගය කිලෝමීටර් 20 සමන්විතයි. එමෙන්ම දෙස් විදෙස් සංචාරකයන් සදහා අවශ්‍ය සියලු පහසුකම් ද මේ වන විට මෙම උද්‍යානයේ නිර්මාණය වෙමින් පවතී.

උඩවලව ජාතික වනෝද්‍යානයේ වනාන්තර, තෘණභූමි, ජලාශ, තෙත්බිම්, ගංගා ධාරා සහ ලඳුකැලෑවලින් සමන්විත වූ සංචාරක ආකර්ෂණීය උද්‍යානයක් වේ.

මේ ආශ්‍රිතව පවුල් 62 අයත් ශාක විශේෂ 135 පවතී. අලි ඇතුන් 900 පමණ මෙහි සිටින අතර ක්ෂීරපායී සත්ත්ව විශේෂ 46 හඳුනාගෙන ඇත. ශ්‍රී ලාංකික පක්ෂීන් 195, උරගයින් 51,විශේෂ සර්පයන් 17, සමනල වර්ග 16, උභය ජීවී විශේෂ 17, මත්ස්‍ය විශේෂ 30 පමණ මෙහි ජීවත්වන බව මේ වන විට හඳුනාගෙන ඇත.

මෙම වනෝද්‍යානයේ ගෝනවිද්දගල, සීනුග්ගල, වෙහෙරගොල්ල, තිඹිරිමංකඩ හා පොකුරුතැන්න යන ස්ථානවල සංචාරක බංගලා මේ වන විට ස්ථාපිත කර ඇති අතර පිලිමද්ධාර සහ වසම්පෙඌව යන ප්‍රදේශවල නව සංචාරක බංගලා දෙකක් ඉදිකිරීමට යෝජිතය.

මීට අමතරව කඳවුරු බිම් කිහිපයක් ද පවතී.

මෙම වනෝද්‍යානය මුහුදු මට්ටමේ සිට අඩි 381ත් 1223 අතර උසකින් පිහිටා ඇත. එමෙන්ම හදගිරිය කලාපයේ හත්කිඳ ප්‍රදේශයේ ඉදිකර ඇති කදවුරුබිමට ආසන්නයේ කුඹුක්ගස් මංඩිය කේන්ද්‍ර කරගනිමින් Tree Hut Center ඉදිකිරීමට කටයුතු කර ඇත.

මේ හරහා දෙස් විදෙස් සංචාරකයන් විද්‍යාර්ථයන්ට, ගවේෂකයන්ට සේවාවන් ඉටුවේ.

එමෙන්ම ප්‍රදේශයේ ජනතාව සදහා රැකියා හා ආර්ථිකමය අවස්ථා රැසක් ද ජනනය වේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබද නිරීක්ෂණය කිරීමට පළාත් ආණ්ඩුකාරවරිය පසුගිය දා (10) බලංගොඩ හදගිරිය ප්‍රවේශය ඔස්සේ උඩවලව ජාතික වනෝද්‍යානය වෙත පිවිසියාය.

පසුගිය දා (9) මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ රැස්වීම සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවත්විණි.

වන උද්‍යානයේ සියලු ජෛව පද්ධති සුරැකෙන ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය මෙහිදී සදහන් කළාය.

නව අදහස දක්වන්න