ආර්ථික ගැටලු අවම කිරීමට වසරකට කෝටි 5000ක් | දිනමිණ

ආර්ථික ගැටලු අවම කිරීමට වසරකට කෝටි 5000ක්

රැකියා උත්පාදනය කරමින් ආර්ථික ගැටළු අවම කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය වසරකට කෝටි 5000ක් වෙන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. 2019 වසරේ සිට 2021 වසර දක්වා එළඹෙන වසර තුනක කාල සිමාව ඉලක්ක කරගනිමින් එක වසරකට කෝටි 5000ක් වෙන්වන පරිදි වසර තුන සඳහා කෝටි 15000ක ආයෝජනය යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බවයි රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේ.

ජාතික ආර්ථික සභාව මගින් යෝජිත මෙම විශේෂ ව්‍යාපෘතිය සියලු දිස්ත්‍රික් සහ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන පරිදි අවම වශයෙන් ව්‍යාපාර එක්ලක්‍ෂ හතලිස් දහසක් (1,40,000) ආරම්භ කිරීමට නියමිතයි.

මුලික වශයෙන් රැකියා උත්පාදනය හා ආර්ථික වර්ධනය කේන්ද්‍ර කර ගත් ශක්තිමත් ආර්ථික වැඩසටහනක් ශ්‍රී ලංකාව වැනි රටකට පැවතීම ඉතා වැදගත්. විශේෂයෙන් රටේ පවතින අඩු වර්ධන අනුපාතය, රාජ්‍ය මුල්‍ය සහ ගෙවුම් ශේෂ ගැටළු, ඉහළ රාජ්‍ය ණය, තරුණ ප්‍රජාව තුල පවතින විරැකියාව, ඉහළ යන ජිවන වියදම, සංවර්ධන විෂමතා වැනි සාර්ව ආර්ථික සහ සමාජ අසමතුලිතතාවන්ට පිලියමක් ලෙස මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වියයුතුයි. විශේෂයෙන් ආර්ථික ගැටළු විසදමින් පුරවැසියන්ට ස්ථිරසාර අනාගතයක් උදා කිරීම සඳහා රටක් ලෙස සැලකිය යුතු ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම අවශ්‍යයි.

මෙම වැඩසටහන මගින් සේවා නියුක්තිය ඉහල නැංවීම අරමුණු කරගනිමින් පුද්ගලයින්, ව්‍යවසායකයන්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කරනු ලබන ආයෝජන ඉහළ දැමීමට දිරි ගැන්වීමක් සිදු වෙතැයි අපේක්ෂා කරනවා. සේවා උත්පාදනය, නව ආයෝජන, භාණ්ඩ නිෂ්පාදනය ඉහල තලයකට ගෙන ඒම තුලින් දේශීය සහ ජාත්‍යන්තර ආර්ථික පුනර්ජීවනයක් ඇතිකිරීමට ද හැකි වනු ඇති බවයි රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න