භික්ෂූන්වහන්සේට රක්ෂණයක් | දිනමිණ

භික්ෂූන්වහන්සේට රක්ෂණයක්

මුදල් ඇමැති සමඟ සාකච්ඡා

භික්ෂූන්වහන්සේ සඳහා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා ඉදිරි දිනයක දී මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

පන්සලින් ගම දියුණු කිරීම හරහා ආර්ථික සංවර්ධනයත් , තිරසර සංවර්ධනයත් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීවේය. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම ද සිදු වූ බව පැවසූ ඒ මහතා එමඟින් කතෝලික බැතිමතුන් සඳහා පල්ලියත්, ඉස්ලාම්, හින්දු බැතිමතුන් සඳහා ඒ ආගමික ස්ථාන ද ගොඩනැඟීම සිදු කරීමට අවස්ථාව ලැබෙන බවත් කීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (13) පැවති අනගාරික ධර්මපාල තුමාගේ 154වන ජන්ම සංවත්සරික ජාතික මහොත්ස්වය ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

දහම් පාසල් අනිවාර්යය කිරීම සම්බන්ධව කතෝලික අගරදගුරුතුමන්ලා ඇතුළු අනිකුත් ආගමික නායකයන් ද ඉල්ලීම් කළ බවත්, එයට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා සාකච්ඡා කළ බවත්, පැවසූ අමාත්‍යවරයා ඒ සඳහා අනුමැතිය ස්ථීරවම ලැබෙනු ඇති බවත් සඳහන් කළේ ය.

දුම්වැටි, මත්කුඩු, මත්ද්‍රව්‍ය වලින් තොර දැහැමි සමාජයක් ගොඩනඟන්න බලාපොරොත්තු වන බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න