ඉල්ලා අස්වීමට පක්ෂයෙන් ප්‍රතිචාර | දිනමිණ

ඉල්ලා අස්වීමට පක්ෂයෙන් ප්‍රතිචාර

මඟ හැරුණු මිනිසා 73

මගේ ඒ ලියවිල්ල රහස් පොලිසිය අතට පත් වුණොත් මට නැවතත් යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙන බවට ඒ දිනවල ප්‍රශ්නයක් තිබුණා. ලිපියේ සඳහන් කරන ලද ඇතැම් තොරතුරු රහස් පොලිසිය දැන හිටියේ නෑ. ඒක නිසා සමහර කරුණු ගැන මම සඳහන් කළේ ඉතා සංක්ෂේපයෙන්. ලියුම දීලා සතියකට විතර පස්සේ සුමිත් අතුකෝරල සහෝදරයා මාව හමුවෙන්න ආවා. චිත්‍රා සහෝදරියත් ඒ වෙලාවේ හිටියා. ‘සහෝදරයා පක්ෂය මා සම්බන්ධයෙන් ගත් තීරණය මොකක්ද?’ කියලා මම ඇහැව්වා.

බෝපගේ ගේ ඉල්ලා අස්වීමේ ලිපියේ අඩංගු කරුණුවලින් ඔහුට පෞද්ගලිකව මෙන්ම පොදුවේත් ඇති වන හානිදායක ප්‍රතිඵල පිළිබඳවත්, පක්ෂ සහෝදරවරුන් තුළ ලිපිය විසින් ජනිත කළ හැකි ප්‍රතිචාර පිළිබඳවත් අවබෝධයක් තමා සතු බව සදහන් කළේය. ලිපිය ලිවීමෙන් අනුන් පිට වැරදි පටවා සුදනා වීමට තමා අදහස් නොකරන බවත්, ලිපියෙහි දක්වන හැම තත්ත්වයකට ම පක්ෂ සාමාජිකයකු ලෙස සාමූහිකවත්, පක්ෂයේ සිටි ‘නායකයකු’ ලෙස විශාල වැඩි වගකීම් ප්‍රමාණයකටත් තමා වගකිවයුතු බවත් ඔහු ස්වයං විවේචනාත්මකව පැහැදිලි කළේය.

ලයනල් බෝපගේට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා අස්වීමට බල පෑ බාහිර පිරිස් නොදැන සිටි පක්ෂ නායකත්වයේ අර්බුදය පිළිබඳව ද ඒ ලිපියේ ජනතා විමුක්ති පෙරමුණ ‘ජාතික ප්‍රශ්නය පිළිබඳව’ අනුගමනය කරන ලෙනින්වාදී පිළිවෙත අත්හැර දැමීම ගැන ද බෝපගේ සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සදහන් කළේය.

‘ජාතික ප්‍රශ්නය පිළිබඳව අප අනුගමනය කරන පිළිවෙත, නියම පාර්ලිමේන්තුවාදී පක්ෂයක් ජාතික ප්‍රශ්නය පිළිබඳ දක්වන පිළිවෙතකින් වෙනස් වන්නේ කෙසේ දැයි මට දැකිය නොහැක. අප අනුගමනය කොට ඇත්තේ දෙබිඩි පිළිවෙතකි.ස්වයං තීරණය සඳහා තිබෙන අයිතිය ලෙනින්වාදී ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා අතරම ජනතා විමුක්ති පෙරමුණේ රජයක් තුළ දෙමළ ජනතාවට අත්වන ඉරණම ගැන වෙනම ප්‍රතිපත්තියක් ඇත්නම් එය දෙබිඩි පිළිවෙතක් හැර අන් කුමක් ද? ආර්ථික අර්බුදය දැවැන්ත ලෙස උත්සන්න වන හැම විටක දී ම ධනපති පංතිය ජනතා අවධානය ජාතික ප්‍රශ්නය වෙත යොමු කරන්නේය. එබැවින් කෙතරම් දැඩි ආර්ථික දරිද්‍රතාවයන්ට ලක් වූවත් අපේ රටේ පවතින විශේෂ සමාජ ඓතිහාසික තත්ත්වයන් හේතුවෙන් ධනපති ක්‍රමයේ පැවැත්මේ මූලික කොන්දේසියක් ලෙස ජාතික ප්‍රශ්නය කරළියට ගෙනැවිත් ඇත. එම ජාතික ප්‍රශ්නය විසින් සමස්ත ධනපති ක්‍රමයම ප්‍රත්‍යාවර්ත නොවන අර්බුදයකට ලක් කොට තිබේ. ඉදිරියේ දී ද ධනපති ක්‍රමය යටතේ එය එසේම සිදු වෙනවා ඇත. එහෙයින් විප්ලවවාදී පක්ෂයක් විසින් සැලකිල්ලට ගත යුතු එක් ප්‍රධාන කර්තව්‍යයක් නම් ලාංකික සමාජවාදී විප්ලවයේ දී ජාතික ප්‍රශ්නය ඊට බද්ධ කොටගෙන කටයුතු කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ පර්යේෂණාත්මක ලෙස ගවේෂණය කොට ඒ අනුව ක්‍රියා කිරීමයි.’

“සිංහල හෝ දෙමළ ජාතිවාදයට නතු වීමෙන් මෙය කළ නොහැකි බව මම එදා ලිව්වා. දෙමළ ජනතාව අතරෙන් බිහි වන ඇතැම් සටන්කාමී ව්‍යාපාර මුලින් ත්‍රස්තවාදී කටයුතුවල නිරත වුවද පසුව ඔවුන් ප්‍රගතිශීලීන් ලෙස ඉදිරියට ගමන් කිරීමට සූදානම් නම් ඔවුන් සමඟ යම් පමණක හෝ සබඳතාවක් ඇති කොට ඔවුන් නිවැරදි ප්‍රතිපත්ති වටා රොක් කරවා ගැනීම විප්ලවවාදී ව්‍යාපාරයක කටයුත්තක් නොවන්නේ කෙසේද කියල මම ප්‍රශ්න කළා. එසේ නොමැතිව රජයේ මර්දනයට ලක්වේය යන කරුණ පමණක් හේතුවක් ලෙස යොදා ගනිමින් එවැනි සම්බන්ධතා ඇති කර ගැනීමෙන් වැළකී සිටීම ලාංකීය සමාජවාදී විප්ලවයට හිත සුවදායක වේ යැයි කියන්නේ කොහොමදැයි යන්න මම ප්‍රශ්න කළා.”

සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ හැම සාමාජිකයෙකුට ම ඉදිරිපත් කිරීමට ක්‍රියා කරන ලෙසත්, ලිපියෙහි සඳහන් කරුණු පිළිබඳව පක්ෂය එකඟ නම් කළ හැකි හොඳම දෙය වන්නේ සමස්ත පක්ෂ නායකත්වය ඇතිවී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව වගකීම මුළුමණින් භාර ගනිමින් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී පක්ෂ සමුළුවක් තුළින් නව නායකත්වයක් තෝරා පත් කර ගැනීමට ඉඩකඩ ලබා දීම බවත් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ කීය.

“මම සුමිත් සහෝදරයාට ඒ ලියවිල්ල බාර දීලා පක්ෂය ඒ පිළිබඳව ගන්නා තීරණය මට දැනුම් දෙන්න කියලා කිව්වා. මම කල්පනා කළා පක්ෂය මේ කරුණ පිළිබඳව අවංකවම උනන්දුවක් දක්වනවා නම් ඒ පිළිබඳව මා සමඟ අඩු තරමේ ගැඹුරු සාකච්ඡාවක් කරන්නට ඉදිරිපත් වෙයි කියලා. කොහොම වුණත් මෙවැනි ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරනවා නම් ඒ සාකච්ඡාව කරන්නට හැකියාව තිබුණේ රෝහණ සහෝදරයාට විතරයි. මම බලාපොරොත්තු වුණා මතුගම දී නොකෙරෙනු සාකච්ඡාව නැවතත් කරන්නට අවස්ථාවක් උදා වෙයි කියලා. එහෙම ‘අවස්ථාවක් නොලැබුණොත්?’ යන අදහස ඊටත් වඩා ප්‍රබලව මතු වී තිබුණා. ඒ හේතුව උඩ තමයි මම සඳහන් කිරීමට අවශ්‍ය කරුණු ටික සඳහන් කරලා ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන්නේ. මේ අතරේ මට සමාන ආකාරයේ ම දේශපාලන ප්‍රශ්න තිබුණු පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ඒ. ඩී. පී. රත්නායක සහෝදරයාත් පක්ෂයෙන් කලකට පෙර ඉවත්ව ඇති බව මට ආරංචි වුණා.”

“මගේ ඒ ලියවිල්ල රහස් පොලිසිය අතට පත් වුණොත් මට නැවතත් යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිද්ධ වෙන බවට ඒ දිනවල ප්‍රශ්නයක් තිබුණා. ලිපියේ සඳහන් කරන ලද ඇතැම් තොරතුරු රහස් පොලිසිය දැන හිටියේ නෑ. ඒක නිසා සමහර කරුණු ගැන මම සඳහන් කළේ ඉතා සංක්ෂේපයෙන්. ලියුම දීලා සතියකට විතර පස්සේ සුමිත් අතුකෝරල සහෝදරයා මාව හමුවෙන්න ආවා. චිත්‍රා සහෝදරියත් ඒ වෙලාවේ හිටියා. ‘සහෝදරයා පක්ෂය මා සම්බන්ධයෙන් ගත් තීරණය මොකක්ද?’ කියලා මම ඇහැව්වා. පක්ෂය ගත්ත කිසිදු තීරණයක් ගැන ඔහු මට කීවේ නැහැ. සුමිත් සහෝදරයා මට පක්ෂයට අයිති එතෙක් මා භාරයේ තිබුණු සියලූම දේවල් වහාම පක්ෂයට බාරදෙන්න කියලා. පක්ෂය මගේ ඉල්ලා අස්වීමේ ලියවිල්ල පිළිඅරගෙන තිබෙන බව ඒ අනුව මම දැන ගත්තා.”

“ඉල්ලා අස්වීමෙන් පස්සේ පක්ෂයේ නායකත්වය මා සම්බන්ධයෙන් මොන අන්දමේ කරුණු ඉදිරිපත් කළත් ‍ඉල්ලා අස්වීමේ ලියවිල්ල ඉදිරිපත් කරන තෙක් පක්ෂය මා සම්බන්ධයෙන් වෙනත් තීරණයක් අර ගෙන තිබුණෙ නැහැ. සුමිත් සහෝදරයාගේ ඉල්ලීම අනුව මා සතුව තිබුණු පක්ෂයේ සියලු දේවල් බාර දෙන්නටත් පක්ෂයේ සියලූම වගකීම්වලින් ඉවත් වූ බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දෙන්නටත්, මා නියෝජනය කළ ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන සභා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙන්නටත් තීරණය කළා. ඒ වන විට මා සතුව නොයෙක් අවස්ථාවල දී ගන්නා ලද පක්ෂයේ ඡායාරූප, ඇතැම් ලියවිලි, විමුක්ති ගී මුල්ම -ඔරිජිනල්- පටිගත කිරීමේ පට, විමුක්ති ගී ප්‍රසංගයේ සියලූම සංගීත භාණ්ඩ, බස් රථය වගේම පක්ෂයේ ශක්ති මුද්‍රණාලයේ සංවිධාන කටයුතු භාරව පූර්ණ කාලීනව වැඩ කටයුතු කළ පියදාස ඇල්ලෙවෙල සහෝදරයාගේ නමින් ලියා පදිංචි කර තිබුණු පක්ෂයට අයත් මම පාවිච්චි කළ කාර් එක තිබුණා.”

‘විමුක්ති ගී’ ප්‍රසංගයට යොදා ගත් බස් රථයත් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති නිසා පක්ෂය තහනම් කළ කාලයේ නතර කර තිබුණේ බේරුවල සංචාරක හෝටලයකය. පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ සාමාජිකයන්ව සිටි පෝල් පීරිස් සහ ක්ලැරන්ස් පීරිස්ගේ වැඩිමහල් සොහොයුරා වූ බර්ටි පීරිස් ඒ වන විට බේරුවල සංචාරක හෝටලයක ප්‍රධාන කළමනාකරු ලෙස සේවය කරමින් සිට ඇත.

“බර්ටි පීරිස් සහෝදරයා පක්ෂය තහනම් කළ අවස්ථාවේ ‘විමුක්ති ගී’ බස් රථය එයා සේවය කළ හෝටලයේ තියා ගන්න එකඟ වුණා. ‘විමුක්ති ගී’ සංගීත භාණ්ඩ භාර දී තිබුණේ ‘විමුක්ති ගී’ ප්‍රසංගවල දී සංගීත භාණ්ඩ සවි කරලා ප්‍රසංගවලට සූදානම් කරන්නට සහාය වුණු විල්සන් සහෝදරයාගේ මාර්ගයෙන් ඒ සඳහා සුදුසු තැනක තබන්නට. මා පක්ෂයෙන් සමු ගන්නා විට ඒ සියල්ලම නැවත පක්ෂයට ලබා දෙන්නට මම කටයුතු කළා. මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දුන්නා මම පුද්ගලික හේතූන් මත ජනතා විමුක්ති පෙරමුණේ සියලු වගකීම්වලින් ඉවත් වෙන බව. මා පාවිච්චි කළ පක්ෂයේ වාහනය රාගම සෝමෙ සහෝදරයාගේ මව නැවතී සිටි නිවසේ දී නන්දතිලක ගලප්පත්ති සහෝදරයාට ගෙන ගොස් භාර දුන්නා.මා ළඟ තිබුණු පක්ෂයට අයත් ඡායාරූප, ලිය කියවිලි සහ ‘විමුක්ති ගී’ මුල් පටි ගත කිරීමේ පට යනා දී සියලූම දේවල් සුමිත් සහෝදරයාට බාර දුන්නා.”

සිසිර යාපා

හෙට අස්වූ පසුව බොරු ප්‍රචාර...

නව අදහස දක්වන්න