වාහන තදබදයයි මහ මඟ ජීවිතයයි | දිනමිණ

වාහන තදබදයයි මහ මඟ ජීවිතයයි

විජයානි එදිරිසිංහ

අද වන ‍විට මේ රටේ ලියාපදිංචි වාහන ලක්ෂ පනහකට වැඩි ප්‍රමාණයක් ඇත. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ත්‍රිරෝද රථ, මෝටර් කාර්, යතුරු පැදි සහ වෙනත් සුළු වාහන වෙයි. ‍මේ ලක්ෂ පනහක් පමණ වූ ලියාපදිංචි වාහන අතරින් දිනකට කොළඹට වාහන ලක්ෂ විස්සක පමණ ප්‍රමාණයක් පැමිණෙන අතර, තවත් නගරවලට මේ හා සමාන නොවුණත් ලක්ෂ ගණනක් වාහන ඇතුළු වෙයි. මෙසේ වාහන පෙරවරුවේ විශේෂයෙන් කොළඹට ඇතුළත් වනවා හා සමානවම සවසට යළිත් එම වාහන නගරවලින් පිටත් වෙයි. මාර්ගවල මේ නිසාම විශාල වාහන තදබදයක් ඇති වෙන්නේ මේ නිසාම වෙයි.

ට්‍රැෆික් හෙවත් මාර්ග තදබදය අද වන විට තදින්ම උග්‍රවී ඇති මහජනතාවට විශාල වශයෙන් බලපා ඇති ප්‍රශ්නයක් බව කිව යුතුය. මේ ප්‍රශ්නය විසඳීම පිණිස සෑම රජයක්ම බොහෝ දේ හඳුන්වා දෙයි. රථවාහන පොලිසිය ඒවා ක්‍රියාත්මක කරයි. එහෙත් දිනෙන් දින වැඩි වෙන මේ ගැටලුව විසඳීමේ හැකියාව ඇත්තේ මහජනතාවගේ සහයෝගය ඇතිව බව කිවහොත් එය නිවැරැදිය.

කෙසේ වෙතත් මීට වසර දහයකට පහළොවකට පෙර මේ රටේ මාර්ගවල රථවාහන තදබදයක් තිබුණත් මීට වසර පහක පමණ සිට ඉතාමත් තදින්ම විසඳා ගත නොහැකි තරමට බරපතළ වී ඇති මේ ප්‍රශ්නය වෙනුවෙන් රජය රථවාහන පොලිසිය ලෝකයේ මේ ප්‍රශ්නය විසඳා ගත් රටවල අනුගමනය කරන වැඩපිළිවෙළද අනුගමනය කිරීමට පියවර ගනිමින් සිටියි. ඒ අනුව මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් වි‍ද්වත් පිරිස මෙන්ම තවත් බොහෝ අයගේ අදහස් ද ක්‍රියාත්මක කරමින් සැලසුම් සහගත වැඩ පිළිවෙළකට යාමට කටයුතු කරමින් සිටියි.

අද වන ‍විට මේ රටේ ලියාපදිංචි වාහන ලක්ෂ පනහකට වැඩි ප්‍රමාණයක් ඇත. මේ අතරින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ ත්‍රිරෝද රථ, මෝටර් කාර්, යතුරු පැදි සහ වෙනත් සුළු වාහන වෙයි. ‍මේ ලක්ෂ පනහක් පමණ වූ ලියාපදිංචි වාහන අතරින් දිනකට කොළඹට වාහන ලක්ෂ විස්සක පමණ ප්‍රමාණයක් පැමිණෙන අතර, තවත් නගරවලට මේ හා සමාන නොවුණත් ලක්ෂ ගණනක් වාහන ඇතුළු වෙයි. මෙසේ වාහන පෙරවරුවේ විශේෂයෙන් කොළඹට ඇතුළත් වනවා හා සමානවම සවසට යළිත් එම වාහන නගරවලින් පිටත් වෙයි. මාර්ගවල මේ නිසාම විශාල වාහන තදබදයක් ඇති වෙන්නේ මේ නිසාම වෙයි.

රජයේ කාර්යාල සහ පෞද්ගලික අංශයේ වාහනවලින් වැඩි ප්‍රමාණයක් පිට වන්නේ පස්වරු හතරත් රාත්‍රි හතත් අතර කාලයේදීය. මේ වේලාවන්ටම අනෙකුත් කාර්යාල සේවක සේවිකාවන් පොදු වාහනවලින් සේවය අවසන් වී පිටත්ව යන අතර, මේ සියල්ල එකට ගට්ටනය ‍වීම නිසා මහ මඟ විශාල වශයෙන් වාහන තදබදය ඇති වෙයි. බොහෝ රජයේ සහ වෙනත් කාර්යාලවල ඉහළ නිලධාරීන් වෙනුවෙන් එක් පුද්ගලකයකු වෙනුවෙන් එක් වාහනය බැගින් වෙන්වී ඇත. අද වන විට අප දකින වාහන මහ මඟ වැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ එක් පුද්ගලයකු හෝ දෙදෙනකු වෙනුවෙන් පමණක් එක් වාහනයක් මහ මඟට ඇතුළු වී තිබිමයි. ‍‍ ඒ අතර වාහන තදබදය කොයිතරම් තිබුණත් බරවාහනවලට පසුගිය කාලයේ විවිධ ආකාරයෙන් නීති පනවා තිබුණත් එම බර වාහන හෝ කන්ටේනර් ආදිය ද නගර සභාවල කුණු ගෙන යන වාහන පවා මහ මඟ තදබදය ඇති වේලාවල මහ මඟට ඇතුළු කිරීම නිසා මේ තදබදය තව දුරටත් වැඩි වීමට ‍හේතු වී ඇත. තව ද පුද්ගලික බස් රථ වෙනුවෙන් මාර්ගයේ ගමන් කළ යුතු කොටසක් වෙන් කර තිබුණත් ත්‍රිරෝද රථ වෙනුවෙන් ද එවැනිම කොටසක් වෙන් කර තිබුණත් කිසිම ආකාරයකින් ‍ඔවුන් එම නීති පිළිපදින්නේ නැත. පුද්ගලික බස් රථ එකිනෙකට තරගයක් මෙන් සිය රථය ඉස්සර කිරීමට ගන්නා උත්සාහය නිසා මාර්ගය අවුල් ජාලාවක් බවට පත් වෙයි. අනතුරු සිදු වීමට විශේෂ හේතුවක් වී තිබෙන්නේ ද මේ නිසාය. තම රථයට වෙන් වූ කොටසේ ගමන් කරනවා වෙනුවට තම රථය පදික වේදිකාව හරහා හෝ දමා ඉස්සර කිරීමට යාම නිසා පදික ජීවිත අප්‍රමාණයක් බස් රථවලට බිලි වී ඇත. යතුරු පැදි අනතුරු සිදුවන්නේ ද මේ ආකාරයෙන් මහ මාර්ගයේ පිළිවෙළකට ගමන් කිරීමට තරම් පිළිගත හැකි ක්‍රමවේදයක් නොතිබෙන නිසාය. විශේෂයෙන් යතුරු පැදි දිනකට ලක්ෂ ගණනක් මහ මඟ එකතු වෙයි. යතුරු පැදියකට මහ මඟ අවශ්‍ය වන්නේ ඉතා සුළු ඉඩ ප්‍රමාණයකි. එම ඉඩ ප්‍රමාණය බස් කන්ටේනර් ලොරි හෝ වෙනත් විශාල ප්‍රමාණයේ වාහන අතරින් රිංගවමින් ඉදිරියට ගෙන යාමට යතුරුපැදිකරුවන් ගන්නා උත්සාහය ඇග කිළිපොලා යන දර්ශනයක් බවට පත්වෙන්නේ කුඩා දරුවන් කාන්තාවන් සහ තවත් හතර පස් දෙනකු යතුරු පැදිවල දමාගෙන තවත් බඩු මුට්ටුද එහි එල්ලා ගෙන යන ආකාරය දුටු විටය. මේ ආකාරයෙන් ගොස් අනතුරට පත්වන යතුරු පැදි ප්‍රමාණය මෙතකැයි කිව නොහැකිය. මහ මඟට බිලි වන ජීවිත අතර වැඩි ප්‍රමාණයක්ම යතුරු පැදි අනතුරු වෙයි. කෙසේ වෙතත් යතුරු පැදියකින් සේවයට හෝ වෙනත් ඕනෑම කර්තව්‍යයකට යන පුද්ගලයා උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් තම ගමන ‍ යාමටය තව ද යතුරු පැදියකට ඇත්තේ රෝද දෙකකි. එය නවත්වාගෙන තබා ගත යුත්තේ යතුරු පැදිකරුගේ පාදයේ හයිය මතය. දැඩි රථවාහන තදබදයක් ඇති තැන්වල යතුරු පැදියක් ටිකෙන් ටික නවත්වමින් ඉදිරියට ඇදෙන එක තරම් අපහසු දෙයක් තවත් නොමැත. කෙසේ වෙතත් මේ යතුරු පැදි වාහන අතරින් රිංගවමින් ධාවනය වීම නවත්වා ඔවුන්ට ඉතාමත් පහසුවෙන් ගමන් කිරීම පිණිස ත්‍රිරෝද රථ වෙනත් ලොකු වාහනවලට මෙන්ම යතුරු පැදි වලට ද මහ මඟ අයිනෙන් ඉතා සුළු ඉඩක් වෙන් කර දිය හැකිය මෙතෙක් මෙවැනි දෙයක් සිදු වී නොමැති වුවත් රථවාහන පොලිසියට මේ සම්බන්ධව සිය අවධානය යොමු කළ හැකි වන අතර, යතුරු පැදිකරුවන්ට වෙන් කර ඇති කොටසේ ඉඩ පිරිමසාගෙන ඔවුන් එහි ගමන් ගනු ඇත.‍

ඇත්ත වශයෙන්ම අද වාහන තදබදයට තවත් හේතුවක් වී ඇත්තේ රථ වාහන පොලිසිය කලර් ලයිට් හෙවත් මාර්ග සාංඥා කුළුණු භාවිත නොකර ඒවා නිවා දමා රථවාහන පොලිස් නිලධාරියකු මහ මඟට බැස රථ වාහන ගමන් කිරීම හැසිරවීම නිසාය. රථ වාහන පොලිසිය මේ ක්‍රමය අනුගමනය කරන්නේ වැඩියෙන් වාහන ගමන් ගන්නා මාර්ගයට ඉඩ සළසා දීම හෝ අවස්ථාව සළසා දී මාර්ගවලින් පිටවන හෝ අතුළුවන වාහනවලට අවස්ථාව ලබා දීමේ හෝ වෙනත් අරමුණක් මත වුවත් මේ ක්‍රමය හරයා විශාල වශයෙන් වාහන තදබදයක් ඇති වන බව කිවයුතුය හේතුව වන්නේ කලර් ලයිට්වලින් සිදුවන ක්‍රමානුකුල වාහන හැසිරවීම කෙසේවත් රථවාහන පොලිස් නිලධාරියකුට කළ නොහැකි වෙයි. මහ මඟ ඇති වන කළබල කාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරියකුගේ මනස ඒ තත්ත්වයටම ගෙන ආ නොහැකි වෙයි . මහ මඟ මාර්ග තදබදයක් ඇති වු විට කවුරුන් හෝ විමසන්නේ පොලිසියේ කෙනෙක් සිටිනවා ද යන්නයි. රථවාහන පොලිසිය මේ ක්‍රමය ගැන නොදන්නා තරම මහජනතාව දනියි සදාචාරාත්මක හොද රියැදුරකු කිසිවිටෙකත් මහ මඟ අවිචාරවත් ආකාරයෙන් සිය රථය ධාවනය කරන්නේ නොමැත. කිසිදු පිළිවෙළකට රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාදාමය නොකර අහුලාගත් රියැදුරු බලපත්‍රයක් මෙන් විවිධ ක්‍රම ඔස්සේ ලබා ගත් රියැදුරු බලපත්‍ර හරහා රිය පදවන්නන් අනිවාර්යයෙන්ම මහ මඟ නිසි ලෙස වාහන ධාවනය සිදු නොකරන බව පැහැදිලි ‍ කරුණකි. කෙසේ වෙතත් කලර් ලයිට් අක්‍රිය කර වාහන ධාවනය සිදු කිරිමේ දී වැඩියෙන් වාහන තදබදයක් ඇතැයි හෝ වාහන එකතු වෙන පැත්තට අවස්ථාව සලසා දීමට කටයුතු කිරිම තුළින් වාහන තදබදයක් නොමැති කොටසේ පවා වාහන එකතු වී තදබදයක් ඇතිවී හතර වටේටම තදබදය ඇතිවි වාහන ගොඩ ගැසීමට හේතු වෙයි. එම නිසා නිරතුරුවම කලර් ලයිට්වලින් ‍සිදුවන සේවය ඒ අකාරයෙන්ම සිදුවිමට ඉ‍ඩ දීම තුළින් පිට වන හෝ ඇතුළුවන වාහන ප්‍රමාණය ඒ ආකාරයෙන්ම පිළිවෙලකට සිදු විමටත් පදික වේදිකාවේ සිට කහ ඉර හරහා ගමන් ගන්නා පදිකයන්ට නිසි පිළිවෙළකට ඊට අවස්ථාව හිමි වීමත් සිදු වෙයි. කලර් ලයිට් තිබිමේ වාසියක් මිස අවාසියක් නොවන්නේ ගිනි ගෙන මහ මග සිය වාහන සියයේ සිමාව පවා ඉකිමවමින් අනතුරු සිදු කරමින් සීමාවක් නොමැති හදිසියකින් ගමන් ගන්නා රියැදුරන්ට මනා පාලනයක් සිදු කිරීමට සිදු වන නිසාය. ඒ අතර මන්තීරු නීතිය වැනි රියැදුරන් පාලනය කරන නීති රීති අනුගමනය කිරීමට ද මොවුන්ට හැකි වෙයි මංතීරු නීතිය වාහන තදබද වේලාවලට අනුගමනය කිරීම අත්‍යවශ්‍ය නොවන බව කීවද කලර් ලයිට්වලින් සිදුවන පාලනයේ දී මංතීරු නීතිය කඩා දැමීමට තරම් අවශ්‍ය නොවන්නේ සෑම රියැදුරකුටම කලර් ලයිට් හරහා නිසි සීමා සහිත කාල සීමාවක් ලැබෙන නිසාය හදිසිකරුවන් පාලනය කරන එකම නීතිය කලර් ලයිට් වෙයි. ඒ අතර රථවාහන පාලනය කරන පොලිස් නිලධාරියාට කළ යුතු කර්තව්‍ය වන්නේ කලර් ලයිට් ඇති තැන සිට ගෙන එම නීතිය හරිහැටි අනුගමනය කරනවාද යන්න බලා සිටීම පමණි. කලර් ලයිට් සහ ‍ඒ අසල පොලිස් නිලධාරියා ඒ අසල බලා සිටින විට රියැදුරන් සිය කර්තව්‍ය නිසි ලෙස ක්‍රියාත්මක කරනු ඇත. පොලිසියටද ඉන් යම් නිදහසක් ඇති වන බව ද කිව යුතු වෙයි.

වාහන තදබදය ඇති වීමට තවත් බලපා ඇති බරපතළ ගැටලුවක් වී ඇත්තේ පදික වේදිකා අසල වාහන ගාල් කිරීමයි. අඩි පනහක් හැටක් පළල තීරු හතරක් ඉතාමත් පහසුවෙන් සකස් කර වාහන ඉතාමත් පිළිවෙළකට ධාවනය වීමට ඉඩ ලබා ගත හැකිව තිබිය දී මහා මාර්ගවල පදිකවේදිකාවට අඩි හයකටත් වැඩි ඉඩක් වෙන් කර තවත් අඩි හය හතක වාහන ගාල් කිරීම නිසා වාහන ගමන් කිරීමට ඇති ඉඩ ප්‍රමාණය සීමා සහිත වෙයි. බොහෝ නගරවල මහ මඟ අයිනේ ව්‍යාපාරික ස්ථානවලට යන වාහන හෝ වෙනත් වාහන නවතා තැබීම නිසා මාර්ග අවහිරතාවය ඉතාමත් තදින්ම ඇති වී ඇත. බොහෝ විට මගී බස් ‍රථයකින් හෝ වෙනත් පොදු වාහනයකින් බැස ගැනීමට නොහැකි වන පරිදි බස් ‍හෝල්ට් පවා අවහිර වන පරිදි මේ වාහන නැවතීම සිදුවෙයි. මෙවැනි වාහනයක බොහෝ විට පැමිණෙන්නේ එක් පුද්ගලයකු හෝ දෙදෙනකු පමණි. එම රථ සිය ගණනක් මහ මඟ අනාරක්ෂිත වන ආකාරයෙන් නවතා රියැදුරෝ පැය ගණන් ඒවාට වී කාලය ගත කරති. කොළඹ මෙන්ම ඊට ආසන්න බොහෝ ප්‍රදේශවල මේ වාහන ගාල් කිරීම නිසා මාර්ග අවහිර වීම තදින්ම රථවාහන තදබදයට බලපා ඇති කරුණක් වෙයි.

මේ අතර රථ වාහන පොලිසිය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු වන දෙයක් දැයි හෝ ‍එහි වෙනත් අරමුණක් තිබේ දැයි නොදන්නා නමුත් බස් ර්ථ නැවතුමක් ඇති තැනට මීටර් කිහිපයක් හෝ ආසන්නයෙන් පදික මාරුව හෙවත් කහ ඉර තිබිය යුතු යැයි අපට හැඟුනත් බස් රථ නැවතුමට මීටර් පන්සියයක් පමණ දුරින් බො‍හෝ පදික මාරු පිහිටා ඇත. මෙහි දී සිදුවන්නේ බස් රථ හෝ වෙනත් පොදු වාහනයකින් බසින මගියා පාර හරහා මාරු වීමට දුර ඇති කහ ඉර වෙත නොයා බස් රථයෙන් බැස ගත් ස්ථානයෙන්ම පාර හරහා මාරු වෙයි. මෙය ඉතාමත් අනතුරු දායක තත්ත්වයක් වෙයි. විශේෂයෙන් මෙවැනි ස්ථාන ගණනාවක් කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවලත් ඇත‍.

මාර්ගවල වාහන තදබදය හෙවත් ට්‍රැෆික් නිසා විශාල වශයෙන් ඉන්ධන නාස්තියක් වන බව අප කවුරුත් දන්නා දෙයකි. එක් පුද්ගලයකු හෝ දෙදෙ‍නකු වශයෙන් සිටින වාහන දහස් ගණනක් දිනපතා මේ ආකාරයෙන් මහ මඟ සිරවී තිබීම නිසා සිදුවන ඉන්ධන නාස්තිය තම පුද්ගලික ධනයෙන් වුවත් රජයේ හෝ වේවා පුද්ගලික ආයතනයක ධනයෙන් හෝ වේවා රටට සිදුවන විශාල හානියකි. ඉන්ධන දහනය අඩු කර ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කිරීමට ලෝකයේ රටවල් උත්සාහ කරන යුගයක අපට ද ඒ තත්ත්වයට යා හැකි නම් රටක ආර්ථිකයට ඉන් සිදුවන්නේ මහත් වූ පිටුවහලකි.

වාහන තදබදය ගැන කතා කරන විට අනිවාර්යයෙන්ම එහි තවත් ප්‍රතිඵලයක් වන්නේ මහ මඟ ඇති වන අනතුරුය. පසුගිය වසර තුළ මහ මඟ වාහන අනතුරු නිසා දෙදහසකට වැඩි ප්‍රමාණයක් මිය ගොස් පනස් දහසක් පමණ එම අනතුරුවලට භාජනය වී ඇත. පසුගිය වසර දහය තුළ සිදු වී ඇති අනතුරුවලින් සදාකාලික අබාධිතයන් බවට පත්වී ඇති පිරිස පන්දහස ඉක්මවයි. වාහන තදබදය මෙන්ම මහ මඟ මාර්ග නීති අනුගමනය නොකිරීම නිසා රියැදුරන් අතින් සිදුවන අනතුරු පාලනය කිරීමට වර්තමාන රජය විසින් දැඩි නීති රීති ක්‍රියාත්මක කර ඇත. ඒ අතර දඩ මුදල් ප්‍රමාණය වැඩි කිරීමත් බීමත් රියැදුරන් නොසැලකිලිමත් ලෙස වාහන ධාවනය කරන පිරිස මෙන්ම රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම මෙන්ම විවිධ වැරැදි සඳහා කිසිදු සමාවක් නොදීමට පියවර ගෙන ඇත. රජයක් විසින් රථවාහන පොලිසිය හරහා මහ මඟ නීති පද්ධතියක් හඳුන්වා දී ඇත්තේ මේ අනතුරු සංඛ්‍යාව මර්දනය කිරීමත් නිසි ක්‍රමවේදයක් හරහා මහ මඟ වාහන ධාවනය සිදු කළ යුතු වීමත් නිසාය. එහෙත් මේ නීති රීති අනුගමනය කරනු ලබන්නේ රියැදුරු බලපත්‍රයක් ඇති හෝ මහ මඟ වාහන ධාවනය කරන පිරිසෙන් ඉතා අඩු පිරිසක් පමණි. තම අවශ්‍යතාව මිස නීතිය අනුගමනය නොකරන ඇතැම් රියැදුරන් මරණයට ආසන්නව රෝගියකු ගෙන යන ගිලන් රථයක නලා හඬට ඉ‍ඩ දීමට හෝ මානුෂික නොවන රියැදුරන් සිටින අතර, ඇතැම් විට එම ගිලන් රිය පිටුපස යමින් තම අවශ්‍යතාව පමණක් කර ගැනීමට පොරකන අවිචාරවත් රියැදුරන් සිටින බව ද කිව යුතු වෙයි.

බස් රථයට ගොඩවන මගියාට නිදහසේ එම බස් රථයෙන් බැස ගැනීමට ඉඩක් නොතබාම ඇතැම් රියැදුරන් බසයෙන් බාගයක් බසින විට බස් රථය නැවත ධාවනය කරයි. විශේෂයෙන් බස් රථ අතර පවතින තරගය නිසා එකිනෙකා පරදවා මුදල් එකතු කර ගැනීමේ අරමුණ මිස මගියාගේ ආරක්ෂාව ගැන නොසිතන රියැදුරන් නිසා බස් රථවලට යට වීමෙන් මෙන්ම බස් රථවලින් වැටීමෙන් අනතුරට ලක්වන ජීවිත බොහෝය.

මෙවැනි බස් රථ හෝ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බස් රථ මගී ප්‍රවාහන කොමිසම් තිබුණත් ‍ඉදිරිපත් වන පැමිණිලිවලින් විසඳා රියැදුරන්ට දඬුවම් ලැබෙන්නේ කීයෙන් කීයද යන්න පවා ගැටලු සහගතය. අධිකරණයෙන් දඬුවම් වශයෙන් වසරකට රියැදුරු බලපත්‍ර පන්දහසකට වැඩි ප්‍රමාණයක් බිලැක් ලිස්ට් හෙවත් අසාදු ලේඛන ගත වුවත් මෙසේ අසාදු ලේඛන ගත කළ රියැදුරන් වෙනත් ව්‍යාජ ක්‍රමවලින් ලබා ගත් රියැදුරු බලපත්‍ර භාවිත කරමින් නැවතත් රිය පදවන බව රහසක් නොවේ.

කෙසේ හෝ වේවා මහ මඟ සිදුවන රථ වාහන තදබදය විශේෂයෙන් දිනපතා රැකියාවට යන එන මගීන්ගේ මානසික ප්‍රශ්නයක් බවට පත්වී ඇති බව නම් කිව යුතුමය. සේවය අවසන් වී පැය තුන හතරක් තිස්සේ බස් රථයේ හෝ වෙනත් වාහනයක පැය ගණනක් ගත කරන කාලය තුළ ඔවුන් දැඩි මානසික පීඩනයකට පත් වෙයි.

නිවෙසට ගොස් බතක් මාළුවක් උයා පිහා ගන්නට වේලාවක් නොමැතිව කඩ කෑමක් රැගෙන ගොස් කන්නට බොන්නට සිදුවන මොවුන්ට ඊළඟට මුහුණ දෙන ගැටලුව ආර්ථික ප්‍රශ්නයයි. වස විස විවිධ වූ රසායනික රස කාරක විෂබීජ අතුළත් ආහාරවල ඊළඟ ප්‍රතිඵලය ලෙඩවීමයි. මේ ආකාරයෙන් එක් කරුණක් හරහා දිගින් දිගටම සිදුවන මේ කරුණ විසඳා ගැනීමට රජයකට හෝ රථවාහන පොලිසියට හෝ තනිවම කළ නොහැකි වන දෙයක් වන අතර, රියැදුරන් මෙන්ම මගින්ද රටේ සෙසු ජනතාවගේ ද සහයෝගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගත හැකි පහසු ක්‍රම ඇත.

නව අදහස දක්වන්න