වැට තිබුණත් අලි ගමේ | දිනමිණ

වැට තිබුණත් අලි ගමේ

  • අලි වැටේ විදුලිය නෑ
  • ප්‍රශ්න කියන්න වනජීවියට ගියාම වනජීවියේ ප්‍රශ්න මිනිස්සුන්ට කියනවා

සාලියවැව අලුත්ගමට සහ අවට ප්‍රදේශයන්ට වන අලි ගැටලුව උග්‍ර වී ඇතැයි කීවොත් නිවැරදිය. මේ ප්‍රදේශයේ මීට වසර අටකට පමණ පෙර ඉදිකළ විදුලි වැට අක්‍රිය වීමත් සමඟම වන අලි ගම් වැදීම ඉහළ ගොස් තිබේ. දේපළ, නිවාස, වගාබිම්වලට වන අලින්ගෙන් දැඩි හානි නිරන්තරයෙන්ම සිදුවීමෙන් ගම්වාසීන් ඉතා අසීරු තත්වයකට පත්වී තිබේ.

විදුලි වැට නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද එය පිළිසකර කිරීම දිනෙන් දින සිදු කළද වනජීවී දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයකින් තොරව එය සිදුවෙන බව ගම්මු පෙන්වා දෙති. දිනපතා වන අලි මෙලෙස ගම් වැදීම හේතුවෙන් අලි මිනිස් ගැටුමක් නිර්මාණය වී මිනිසුන්ගේ ජීවිතවලට ද තර්ජනයක් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති. වන අලි ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස විදුලි වැට ඉදිකර තිබුණද, එම වැටෙහි අසාර්ථකත්වය වන අලි ගම් වැදීමට මූලික හේතුව වී ඇති බව සැකයකින් තොරව ජනතාව පෙන්වා දෙති. වැටෙහි විදුලිය නොමැතිකම නිසාවෙන් වන අලින් එය පෙරළා ඉතා පහසුවෙන් ගම්මානවලට කඩා වැදී තම භව භෝග විනාශ කරන බවට ඔවුහු මැසිවිලි නඟති.

පසුගිය නියං සමයේදී ජලය පොම්ප කරමින් ආරක්ෂා කරගත් පොල්, කෙසෙල්, අඹ සහ කොස් ගස් සියල්ල වන අලින් විනාශ කරමින් සීමා මායිම් නොතකා සෑම තැනකම සැරිසරමින් මිනිස් ජීවිතවලට තර්ජනයක් විය. මෙම ගැටලුවට විසඳුමක් දීම සඳහා කඩිනමින් වන අලි තබ්බෝව අභය භූමියට පලවා හැර සහනයක් සලසා දෙන්නට මැදිහත් වන ලෙස ජනතාව රජයෙන් ඉල්ලා සිටීති.

චමින්ද ජානක පෙරේරා මහතා - "අපේ වත්තේ කජු, අඹ, පොල්, කොස් වගා කරලා තිබුණා. අලි ඒ සේරම කාලා විනාශ කළා. අවට ගම්වල පොල් ගස් දෙසිය පනහක් තුන්සීයක් විතර සතියට පෙරළලා විනාශ කරනවා. අලි පන්නල දැම්මේ නැත්නම් මම හිතන විදිහට අපට විතරක් නෙවෙයි මේ අවට ගම්වල කාටවත්ම ගොවිතැනක් බතක් කරන්න හම්බ වෙන එකක් නෑ. ඒ තරමටම මේ අලි ප්‍රශ්නය උග්‍ර වෙලා. අපි කොච්චර එලෙව්වත් අලි ගමට ඒම නතර කරන්න බැහැ.

අපේ අලි වැටේ විදුලිය නැහැ. පසුගිය දවස්වල වනජීවී කාර්යාලයට ගියා මේ ගැන කියන්න. එතකොට එයාලට තිබෙන ප්‍රශ්න අහලා අපට එපා වුණා. මේ අලි පන්නන්න හමුදාව මැදිහත් කර ගත්තා නම් හොඳයි."

එස්. එම්. අරුණ මහතා - "අලි වැට ගහලා තිබෙනවා කිසිම වැඩක් නැහැ. රෑට එන අලි එළිවෙන කොට ලොකු විනාශයක් කරනවා. සාලියවැව අලුත්ගම පැත්තේ හැමෝම මේ වන අලි ගැටලුවෙන් පීඩා විඳිනවා."

ආර්.ඒ. ජයන්ත මහතා - "මේ වත්තේ පීදෙන්න තියෙන පොල් පැළ හැටක් කාලා. එහා පැත්තෙ කුඹුරු වලටත් අලි පනිනවා. මේ සැරේ ගොවිතැන් කළා කියලා අපිට ඒ ගැනත් විශ්වාසයක් තියා ගන්න බැහැ. වනජීවී එකේ අය එනවා, අලි එළවනවා, යනවා. ගැටලුව හැමදාම තියෙනවා."

චාමර මධුශංක මහතා - "මම ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරලා ඉන්නේ. මේ වන තෙක් රැකියාවක් නෑ. අපේ රටේ තියෙන වාතාවරණය අනුව රැකියාවක් ගන්න අමාරු නිසා තමයි මම තීරණය කළේ රටට බරක් නොවී රජයට බරක් නොවී මගේ ස්ව උත්සාහයෙන්ම ගොවිතැන් කරලා රටට සේවයක් කරන්න. මගේ ආර්ථික කටයුතුත් සංවර්ධනය කරගන්න. මම මේ වත්තට ලක්ෂ පහළොවක්, විස්සක් වියදම් කරලා තියෙනවා. මේ වන විට ඒ සියලුම දේ වතුරේ යන තත්ත්වයට පත් වෙලා. අනාගතය ගැන හිතා ගන්න අමාරුයි. රජය වුණත් මේ වන තෙක් අපට කිසිම පිළිසරණක් වෙලා නෑ."

මේ පිළිබඳ විමසීමේදී කරුවලගස්වැව වනජීවි කාර්යාලයේ නිලධාරීන් පැවසුවේ වෙලාවක් කලාවක් නොමැතිව නිතර අලි එළවීමේ කටයුතු කරන බවත් අලි කොපමණ පන්නා දැමූවත් රාත්‍රී කාලයේදි යළි ගමට එන බවත්ය. වනජීවී නිලධාරීන් විදිහට කළ හැකි උපරිම සේවයක් ජනතාවට ලබා දෙන බවද වනජීවි කාර්යාලයේ උසස් නිලධාරියකු පැවසීය.

සටහන සහ ඡායාරූප කේ.ප්‍රියංකර වනාතවිල්ලුව සමූහ

නව අදහස දක්වන්න