ප්‍රදර්ශනයකට එහා ගිය සංවර්ධනයේ තිර මාවත හෙළිකළ දැවැන්ත ප්‍රජා මෙහෙවර | දිනමිණ

ප්‍රදර්ශනයකට එහා ගිය සංවර්ධනයේ තිර මාවත හෙළිකළ දැවැන්ත ප්‍රජා මෙහෙවර

ඈත අතීතයේ පටන් ශ්‍රී ලාංකීය ජාතිය සතු ජාත්‍යන්තර වෙළෙඳාමේ නිරතවීමේ ජීව ගුණය යළිත්, නව ව්‍යවසායක උදානයක් ඔස්සේ ඇතිකොට අප රට ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමට ‍මොණරාගල දී ඉකුත් 29, 30 හා 31 තෙදින පැවැති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා V2025 මහා ප්‍රදර්ශනය තුළින් සාර්ථකව අඩිතාලම දැමුණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල අක්කර 22 ක භූමි භාගයක් පුරා ප්‍රදර්ශන කලාප 12 ක් ඔස්සේ සංවිධානය කර තිබූ ප්‍රදර්ශන කුටි 515 කින් යුතු මේ ප්‍රදර්ශනය දැකබලා ගැනීමට ලක්ෂ 06 කට අධික පිරිසක් පැමිණ සිටියහ.

තමන්ටත් නව ව්‍යාපාරයක්, සේවාවක් ඇරඹීමට අදහස ඇතිව මේ ප්‍රදර්ශනයට එක්වූ අයෙකුට ඒ සඳහා වූ සියලු ක්ෂේත්‍ර මඟපෙන්වීම්, දැනුම්වත්භාවය මෙයින් ලැබුණු බව නොරහසකි.

කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ලියාපදිංචි කිරීමේ සිට ඉදිරියට ඇදෙන සියලු ආයතනික සේවා, ඒවා සපුරා ගන්නා ආකාරය මනාව මේ ප්‍රදර්ශනය තුළ දැනගැනීමට මීට එක්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසට හැකි විය. මේ ප්‍රදර්ශනය මාස තුනකට වරක් ‍රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඉදිරියේදී පැවැත්වීමට නියමිතය. ඒ පිළිබඳව හා ප්‍රදර්ශනය ඇරඹීමේ අරමුණ පැහැදිලි කළ මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා, නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීම මෙහි අරමුණයි. ජනාධිපති - අගමැති නායකත්වයෙන් වසර 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු අප රටේ ජනතාව ලැබූ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, සංවර්ධනය ගැන හා අනාගත දියුණුව ගැන ජනතාවට දැනුම ලබා දෙන්නයි මෙය සංවිධානය කළේ යැයි කීය.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව යන ප්‍රධාන කුළුණු දෙක මත සංවර්ධනය ගොඩනැඟීම සිදු කරනවා. ඒ තුළින් රටේ නව ආයෝජන, නව රැකියා, නව වෙළෙඳපොළ, නවෝත්පාදන බිහිවෙනවා. ඒවා සාර්ථකව ගොඩනැ‍ඟෙන අයුරුයි මෙයින් ප්‍රදර්ශනය කළේ යැයි ද ඇමැතිවරයා කීය.

ප්‍රදර්ශනය සංදර්ශනයක් නොවී, සැබෑ ලෙසම රටේ පොදු ජනතාවට ප්‍රතිලාභ අත්කරදෙමින් රටත්, ජනතාවත් දියුණු කරන වැඩපිළිවෙළ ලොවට කියා දුන් වැඩපිළිවෙළක් වූ බව මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කෙළේය.

මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා -

දේශප්‍රේමී වෙල්ලස්සේ ජනතාවට අවුරුදු 200 කින් නිසි සංවර්ධනයක් උරුම වුණේ නැහැ. ඒ අඩුපාඩුව ඉවත් කිරීම තමයි මේ වැඩපිළිවෙළ පටන් ගත්තේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහනාධාර ණය වැඩසටහන හා ගම්පෙරළිය තුළින් මොණරාගලට විශාල දියුණුවක් ඇතිවෙනවා.

ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා වසර 70 වෙනවා.

අපේ රටේ විවිධ රජයන් පසුගිය අවුරුදු 70 ක කාලය තුළ රටත්, ජනතාවත් නඟාසිටුවන්න විවිධ වැඩසටහන්, ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. 1978 දී අපේ රටට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නා. ඒ තුළින් පෞද්ගලික අංශය ප්‍රමුඛකොට ගත් ආයෝජන හා ව්‍යාපාර හිතකාමී පරිසරයක් රටේ බිහිවුණා. ඒ ඔස්සේ නව රැකියා, නව නිෂ්පාදන ආවා. ආර්ථිකය ඉදිරියට ගියා.

නව පිරිසක් දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනයක් ඔස්සේ රටේ ආර්ථිකය, ජනතාවගේ ආදායම් මාර්ග වැඩිදියුණු කරන්න පටන් ගත්තා. ඒවායින් රටට ප්‍රතිලාභ අත්වුණා. වේගවත් ආර්ථීක වර්ධනයක් ජනතාවගේ අතමිට හිතූ තරම් වැඩි වුණේ නැහැ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ V2025 දැක්මට අනුව රටේ පෞද්ගලික අංශය ආර්ථීක සංවර්ධනයේ එන්ජිම බවට පත් කරමින් අලුත් මඟක් ගෙන රටපුරා කාර්මික කලාප ඇතිකරන්නට පියවරගෙන තිබෙනවා. ර‍ාජ්‍ය හා පෞද්ගලික අංශ හවුල්කාරීත්ව ව්‍යාපෘති වැඩි වශයෙන් ක්‍රියාවට නංවන්න දිරි දෙනවා. මීට අමතරව අපි ඉතාමත් වේගවත් ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවනවා. ඒ සියලු කරුණු සාර්ථකව ක්‍රියාවට නංවා නව රැකියා දසලක්ෂයක්, අපනයන ආදායම ඩොලර් බිලියන 20 ක්, ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ක් කිරීම අරමුණයි.

මේ ඉලක්ක ජය ගන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ශක්තිය බවට පත්කිරීමයි අපේ ඉලක්කය වුණේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා කීය.

අපේ රටේ නව ව්‍යවසායකයින්ට විශේෂයෙන් තරුණ උපාධිධාරීන්ට ඇපයක් නැතිව, පොලියක් නැතිව ව්‍යාපාරයක් ඇරඹීමට ණය දෙන එකම වැඩපිළිවෙළ මෙයයි. සැමදාම දියව්! දියව්!! කියා මහ පාරේ කෑමොර දුන්න පිරිසකට, වෙනස් විදිහට සිතා පෙරට එන්න මඟපෑදීමයි මෙයින් සිදු කරන්නේ.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය භූමියේ අංක 02 කලාපය ව්‍යවසායකයින්ගේ කලාපය විය. එහි ස්ථාපිත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රදර්ශන කුටියට ආ දහස් සංඛ්‍යාත ව්‍යවසායක පිරිසට දැනුම ලබා දුන් විධායක නිලධාරි (අලෙවි) සමීර හපුආරච්චි මහතා,

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රම 16 න් 06 ක් අපේ බැංකුවෙත් ක්‍රියාත්මකයි. සොඳුරු පියස නිවාස ණය යෝජනා ක්‍රමය වාගේම දිරිමත් ව්‍යවසායකයින්ට අත දෙන්න අප සූදානම්. බැංකුවේ සභාපති අශ්වින් ද සිල්වා, සාමාන්‍යාධිකාරී එස්. ඩී. එන්. පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් ගමනායක, සංවර්ධන බැංකු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලවි) ලාල් කරුණාතිලක මහත්වරුන්ගේ උපදෙස් මත අප මේ වැඩපිළි‍වෙළ ආරම්භ කළා.

ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ හම්බන්තොට ශාඛාවේ ණය නිලධාරි සී. පී. ලියනගමගේ මහතා,

අපි ඌව වෙල්ලස්ස ජනතාව නඟාසිටුවන්න රජයේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. අපි ජනතාව වෙතට ගොස් බැංකු සේවා ලබා දෙනවා. මේ ප්‍රදර්ශනයේදී විශාල පිරිසක් අප සමඟ එකතු වුණා. අපේ සභාපති සුජිත් කාරියවසම්, ප්‍රධාන විධායක නිලධාරි රංජිත් දිසානායක මේ වැඩපිළිවෙළට උදව් වෙනවා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය‍ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන පෞද්ගලික අංශයේ බැංකුවකි හැටන් නැෂනල් බැංකුව. අපි එහි ප්‍රදර්ශන කුටියේදී ජනතාව දැනුවත් කළ බැංකු නිලධාරි ලෝලිත මුතුකුමාරණ මහතාට සවන් දෙමු.

අපේ බැංකුව විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අයට උදව් කරන්න ගොවි නවෝදා, ජය ඉසුර වාගේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. අපේ සාමාන්‍යාධිකාරී ජොනතන් අලස් මහතාගේ උපදෙස් මත සංවර්ධන ණය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජූඩ් ප්‍රනාන්දු මහතා මෙයට සහාය ලබා දෙනවා.

ජන හද හඳුනන මහජන බැංකුව මාධ්‍යවේදීන්ට හඳුන්වා දුන් ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බැංකුවයි.

එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු, සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිලධාරි එන්. වසන්ත කුමාර් මහතාගේ උපදෙස් මත ඌව ජනතාවට මේ ණය යෝජනා ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කරන බව සුළු හා මධ්‍ය පරිමාණ බැංකු අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී වික්‍රම නාරායන මහතා කීය.

මොණරාගල පැවැති ප්‍රදර්ශනය අවස්ථාවට පැමිණි ව්‍යාවසායකයින් අතුරින් 1500 - 2000 ක් දෙනා අපි සමඟ එක්වුණා. ප්‍රාදේශීය කළමනාකරු ප්‍රසාද් මාරසිංහ මහතා කීය. එහි ප්‍රාදේශීය ණය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී මංජුලා අනූපා අමරසිරි මහත්මිය ද අප සමග අදහස් දැක්වූවාය.

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සභාපති කස්තුරි අනුරාධනායක, ප්‍රධාන විධායක නිලධාරි හා සාමාන්‍යාධිකාරී ටී. ඒ. ආරියපාල මහත්වරු නව ණය වැඩසටහන් නිර්මාණාත්මක හා නිර්මාණශීලීව ජනතාව වෙත ගෙන යාමට වෙහෙස වෙති.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ඌව පළාත් සම්බන්ධීකරණ නිලධාරි සංජීවනී දීප්ති කුමාරි මහත්මිය,

මේ මොණරාගල තිබෙන ලොකුම සම්පත මානව සම්පතයි. කෘෂිකර්මයයි. මෙහි කැරෙන නිෂ්පාදනවලට හොඳ වෙළෙඳපොළක් නැහැ. ඒවාගේම අගය එකතු කරලා, වෙළෙඳපොළ දාමයට ඒවා එකතු කිරීම සිදුවන්නේ නැහැ. අපි ඒ සඳහා ප්‍රදේශයේ ව්‍යවසායකයෝ දැනුම්වත් කළා. අපි සමඟ 5000 ක් දෙනා එකතු වුණා. මේක විශාල ජයක්.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට එක්වූ මහනුවර රසකැවිලි නිෂ්පාදකයකු වන රඛිත ගයාන් වීරසේකර මහතා ප්‍රකාශ කළේ, සාම්ප්‍රදායික රසකැවිලිවලට නව නිර්මාණයක් අපි එකතු කළා. අපි කුරුඳු තෙල්, පොතු ආදිය යොදා අග්ගල වැනි දේ අලුත් රසයකින් හැදුවා. හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. නිෂ්පාදන වැඩිදියුණු කරගන්න, නව තාක්ෂණයයි, මුදල් තමයි අවශ්‍යය. ඒ දේ මේ ප්‍රදර්ශනයට එක්වීම තුළින් ලබාගන්න දැනුවත් වුණා.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මේ ප්‍රදර්ශන භූමියේදී තමන් වෙත පැමිණෙන ජනයාට, ලබාගත හැකි සේවා පිළිබඳව දැනුම්වත් කෙළේය. එහිදී නව ව්‍යාපාරයක් ආරම්භ කරන අයෙකුට ඒ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ පිටරටින් ගෙන්වීමේදී කිසිදු බදු මුදලක් අය නොකරන බව අනාවරණය කැරිණි. අපනයනය සඳහා නිෂ්පාදන සැකසුම් වෙනුවෙන් ආනයනය කරන්නා වූ අමුද්‍රව්‍ය මත බදු සහන ලබාදෙන අයුරු ඔවුන් පැහැදිලි කෙළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, තම සේවා ගැන ජනතාව දැනුවත් කෙරෙන අයුරු අපට දැකගත හැකි විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය මඟින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි.

දරුවන් සුරකිමු! තිරසාර පාසල් වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක ‍බළකාය, මතින් නිදහස් රටක් වැඩපිළිවෙළ Òමෛත්‍රී පාලනයක් තිරසර යුගයක්Ó තේමාව යටතේ මෙහිදී එළිදක්වා තිබුණි.

බාල, තරුණ, වැඩිහිටි සියලු දෙනාගේම බෝනොවන රෝග, බෝවන රෝග නිවාරණය පිළිබඳව දැනුම්වත් කිරීමේ හා ප්‍රතිකාර ලබාදීමේ සායන ද මේ ප්‍රදර්ශනයේදී පැවැත්විණි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට ආ සියලු දෙනාටම නොමිලේ රක්ෂණාවරණයක් ලබා දී තිබුණි.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා - ස්මාර්ට් පන්ති කාමරය

නූතන සන්නිවේදන තාක්ෂණය සමඟ නූතන සුහුරු ස්මාර්ට් පන්ති කාමරය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පාසල් දරු දැරියන්ගේ ආකර්ෂණයට ලක්ව තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැත්වෙන ප්‍රදර්ශන කුටියේ මෙම සුහුරු පන්ති කාමරය පැවැත්වෙයි.

පාසල් දූ දරුවන්ට නූතන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් තාක්ෂණය ජය ගැනීම සඳහා වූ අත්දැකීමක් හා දැනුවත් වීමක් මෙහිදී ලබාගත හැකිය.

පාසල් දරුවන්ට සුහුරු තාක්ෂණය සමඟින් නව අධ්‍යාපනික මායිම් ජය ගැනීම සඳහා වන සියලු තාක්ෂණික උපාංග ලබාදීමට එනම් දරුවන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදීම, පාසල් සඳහා තාක්ෂණ විද්‍යාගාර ලබාදීම ආදී වශයෙන් රජය මේ වන විටත් පියවර ගෙන තිබේ.

සේවක අර්ථසාධක අරමුදලේ තමන්ට හිමි ශේෂය දැනගැනීමට කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශන කුටිය තුළ අවස්ථාව සළසා දී තිබෙන අතර ප්‍රදර්ශන කලාප 03 හි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රදර්ශන කුටියේ මෙම සේවාව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවැතිණි.

තමන්ට හිමි ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් සේවකයන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල කොපමණ තිබෙනවාදැයි දැනගැනීමට හැකි බවත් ශේෂ පත්‍රයේ මුද්‍රිත පිටපතක් එසැණින් ම ලබාදීමට කටයුතු කර ඇති බවත් මොණරාගල දිස්ත්‍රික් සහකාර කම්කරු කොමසාරිස් බී. ගී. එස්. අනුර කුලතුංග මහතා පැවැසීය.

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ හා නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

මේ ප්‍රදර්ශනය හා ගම්පෙරළිය තුළින් අපේ දිස්ත්‍රික්කයට විශාල සංවර්ධනයක් ගෙන ආවා. මංමාවත්, වැව් අමුණු, පාසල්, රෝහල්, සතිපොළ දියුණු කරනවා.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී. එස්. පද්මා කුලසූරිය මහත්මිය -

අපේ දිස්ත්‍රික්කය විශාලත්වය අතින් දෙවැනි ලොකුම දිස්ත්‍රික්කයයි. දුප්පත්කම අතින් අපි ශ්‍රී ලංකාවේ දෙවැනි දිස්ත්‍රික්කය. එයින් අපිට නිදහස්වීමට මේ වැඩපිළිවෙළ දෙක ඉවහල් වෙනවා.

දිළිඳුකමින්, විරැකියාවෙන් හා අඩු යටිතල පහසුකම්වලින් පිරුණු පසුගාමී දිස්ත්‍රික්කයක් වන මොණරාගල දියුණු කිරීමට රජය ඇරඹි නව වැඩපිළිවෙළ දෙකින් හැකිවනු ඇතැයි මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ. ආර්. දේශප්‍රිය සහ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරල් ප්‍රියංක අතපත්තු මහත්වරු පැවසුහ .

ජයසිරි මුණසිංහ
ඡායාරූප - මාලන් කරුණාරත්න,උදිත් ඉන්දික

නව අදහස දක්වන්න