සමහර කතාවලට හිනා යනවා | දිනමිණ

සමහර කතාවලට හිනා යනවා

කනගරත්නම් තවලිංගම්
පළාත් සභා සීමා නීර්ණ කමිටුවේ සභාපති හිටපු මිණුම්පති

පළාත් සභා සීමා නිර්ණ වාර්තාව යනු මෑත ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වඩාත්ම ආන්දෝළනයට ලක් වූ වාර්තාව බව කීම නිවැරැදිය. හේතුව එම කමිටු වාර්තාවට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් එකාමෙන් එරෙහිව ඡන්දය දුන් බැවිනි. එකී සීමානිර්ණ කමිටු වාර්තාව සකස් කළ කමිටුවේ සභාපති හිටපු මිණුම්පති කනගරත්නම් තවලිංගම් මහතා ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වයි.

* සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජයට ලක්වීම ගැන ඔබතුමාගේ අදහස කුමක් ද?

ඒ ගැන අදහසක් මට නෑ. කමිටු වාර්තාවේ බරපතළ වැරැදි තියෙනවා කියලා, මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මම දැක්කා. මාධ්‍යවේදීන් මගෙන් අහනවා කමිටු වාර්තාව ගැන මොනවද කියන්නෙ කියලා. මම එදත් කිව්වේ මගේ වාර්තාව සියයට සියයක් නිවැරැදියි කියලයි. අද කියන්නෙත් ඒ දේම තමයි. ඒත් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයින් 139ක් වාර්තාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ අය එහෙම කියනකොට මම විතරක් නිවැරැදියි කියනවා. ඒ නිසා මේ කාරණයට මට උත්තරයක් දෙන්න බෑ. ඒ මම පැහැදිලිව කියනවා කමිටු වාර්තාව සම්පූර්ණයෙන්ම නිවැරැදියි කියලා.

* කමිටු වාර්තාව එළිදැක්වුණේ කුමන හෝ පාර්ශ්වයකට වාසි සහගත අයුරින්ද?

එහෙම නම්, සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ කවර මන්ත්‍රීවරයකුවත් වාර්තාවට පක්ෂ නොවුණේ ඇයි. කවුරුවත්ම වාර්තාවට පක්ෂව ඡන්දය පාවිච්චි කරලා නෑ. මම සද්භාවයෙන් මගේ රාජකාරිය කරලා තියෙනවා කියන එක ඒ කාරණයෙන්ම පේනවා.

* පළාත් පාලන ඇමැතිවරයාත් කමිටු වාර්තාවට එරෙහි වුණා නේද?

ඒ ගැනත් මට මොකුත් කියන්න බෑ. මම දේශපාලනය කතා කරන්න කැමැති නෑ. ඇමැතිවරයා මට කිව්වේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලයි. එතැනින් එහාට මම කියන්න දන්නෙ නෑ. සීමා නීර්ණ කමිටුව විදිහට අපි අපේ රාජකාරිය නීත්‍යානුකූලව කළා. පනතේ සඳහන් නොවන කිසිම කාරණයක් කමිටු වාර්තාවේ නෑ. ඇමැතිවරයා විරුද්ධ වීම ගැන අහන්න ඕන ඇමැතිවරයාගෙන්.

* ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි සීමානිර්ණය සිදුවෙලා කියලයි චෝදනා නැඟෙන්නේ?

ඇත්තටම ඔය කතාවලට හිනා යනවා. ජනාධිපතිවරයා අපිට මුණගැහුණේ පත්වීම් දෙනකොට විතරයි. එතුමා මේ වාර්තාව හදන්න බලපෑම් කරලා තියා දුරකථන ඇමතුමක්වත් දීලා නෑ. පත්වීම් දීපු වෙලාවෙ එතුමා කිව්වා, ඔයගොල්ලො ඔයගොල්ලන්ගේ රාජකාරිය කරන්න, ඒක ඔයගොල්ලන්ගේ වගකීමක් කියලා. ජනාධිපතිවරයා මේ වාර්තාවට කිසිම සම්බන්ධයක් නෑ කියලා මට වගකීමෙන් කියන්න පුළුවන්.

* සීමානිර්ණය කිව්වට බොහෝ දෙනෙක් මේක හැඳින්වූයේ, මැතිවරණ කල් දාන්න ගන්න උපක්‍රමයක් විදිහට?

සීමානිර්ණයක් කියන්නේ පුරවැසියා නියෝජනය වන නියෝජිතයකු තෝරා ගැනීමට ජන පදනම හා මහජන අවශ්‍යතා මෙන්ම භූ විෂමතාවයන් පිළිබඳ විමර්ශණය කරලා කොට්ඨාස වෙන් කිරීමක්. ඒක එක් එක් ප්‍රදේශයේ ජන අවශ්‍යතා හා වුවමනා අනුව වෙනස් කරලා, ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නියෝජිතයකු පත්කර ගැනීමට තියෙන අවස්ථාවට ඉඩ දීමක්. මැතිවරණ කල් දාන්න මේක භාවිතා කරන්න බෑ. කමිටු වාර්තාව දීලා මාස ගාණක් වෙනවා. ඒක ගැසට් කරපු ගමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැතිවරණයට දින නියම කරයි.

* සීමානිර්ණ කමිටු වාර්තාව සම්පාදනය කරන්න වැය වූ මුදල් ගඟට කැපූ ඉනි වගේ කියලා කියනවා, එහි ඇත්ත නැත්ත කුමක් ද?

ඒකට උත්තරයක් මට තියෙනවා. අපිට සීමානිර්ණ කොමිෂන් සභාවක් කියලා එකක් තියෙනවා. පළාත් සභා සීමානිර්ණ කමිටුව කියලත් එකක් තියෙනවා. මේ කමිටුවේ ඉන්නෙ පස් දෙනයි. කමිටුවට පත් කරනකොට කොමිසමේ අයම කමිටුවට ගන්න කියලා අපි ඉල්ලුවා. සීමානිර්ණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් අරගෙන කමිටුව පත් කළේ ගිය වසරේ ඔක්තෝබර් මාසේ. සීමානිර්ණයට වෙන් කරන්න ඕන ප්‍රතිපාදන පළාත් සභා පනතේ සඳහන් වෙලා තියෙනවා. ඒවා කමිටුව වියදම් කරන්න ඕන කොහොම ද කියලත් තියෙනවා. අපි කමිටුවට පත් වුණාට පස්සේ සීමානිර්ණයට යන වියදම මිලියන 21.2 ක් කියලා තක්සේරු කළා. ඒ තක්සේරු කළ වියදම සඳහන් ලියකියවිලි පාර්ලිමේන්තුවට යොමු කළාට පස්සේ, ඒකට අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ලැබුණා. අපි ඒ මුදල් එකවර ගත්තෙ නෑ. වැඩ කරගෙන යනකොට අවශ්‍ය ප්‍රමාණයට ටික ටික ගත්තා.

ඒ ගත්තෙත් සීමානිර්ණ කොමිෂන් සභා ගිණුම හරහායි. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ඉදලා මේ අවුරුද්දේ මාර්තු මාසය වෙනකොට අපි අරන් තියෙන්නේ මිලියන 10.75ක් විතරයි. අපි සීමානිර්ණ කොමිෂන් සභාවේ වැඩ කරන අය. ඒකෙ ඉන්න කාර්යය මණ්ඩලයට වැටුප් ගෙවන්න ඕන. ඒ ගෙවපු වැටුපත් වියදම් විදිහට අපි මේකට එකතු කළා. එතකොට සියලුම වියදම විදිහට මිලියන 16.17ක වියදමක් ආවා. මෙතනදී ඉතිරි සල්ලි කෝ කියලා තමයි මාධ්‍ය මගෙන් අහන්නෙ. අපි තක්සේරු කළ මිලියන 21.2කම භාණ්ඩාගාරයෙන් ගත්තෙ නෑ. අපි අරන් තියෙන්නෙ මිලියන 16.17ක් විතරයි. ඉතිරි ටික මහා භාණ්ඩාගාරයේ ඇති. මේ කාරණා ගැන නොදැන අහන ප්‍රශ්න තමයි මේ. සල්ලි ගඟට කැපූ ඉණි කියලා පත්තරවලත් ලොකු අකුරින් දානවා. මේ ගැන හොඳට හොයලා බලලා වාර්තා කළා නම් කාටවත් අගතියක් වෙන්නෙ නෑ.

* දින 60ක් ඇතුළත සීමානිර්ණ කමිටු වාර්තාව ගැසට් කරනවා කියලා ජනාධිපතිවරයා කියලා තියෙනවා. එහෙම ගැසට් කරන්න හැකියාවක් තියෙනව ද?

මම හිතනවා එහෙම පුළුවන්කමක් එතුමට ඇති. මට වැඩ දෙකක් පැවරිලා තිබුණා. පළමු කාරණය තමයි සීමානිර්ණය කරද්දී කොට්ඨාස කඩන්නෙ කොහොම ද, දෙවැනි කාරණය එහෙම කරන්නෙ මොන පදනමෙන් ද කියන එක. ඒ හැම එකක්ම පනතේ පැහැදිලිව කියලා තියෙනවා. පනතට අනුව සකස් කරලා අවශ්‍ය නම් සංශෝධන එකතු කරලා ගැසට් කිරීමේ බලය ජනපතිවරයාට ඇති.

* පාර්ලිමේන්තුවේ සම්මත වුණ පළාත් සභා නව පනතට අනුව කමිටු වාර්තාව සැකසුණා නම් මන්ත්‍රීවරු ඒ පනත ගැන දන්නෙ නැද්ද?

ඔව්. ඒ පනත මේ කමිටු වාර්තාවට මාර්ගෝපදේශකයක් වගෙයි. ඒ පනත තමයි 2017 අංක 17 කියලා සම්මත වුණ පළාත් සභා පනත. එහි සඳහන් කාරණා අනුව තමයි අපි කොට්ඨාස කැඩුවේ. පනතේ සඳහන් න්‍යාය අනුව ප්‍රායෝගිකව අපි අපේ වැඩේ කළා. පනතට අනුව ඒ ඒ පළාත්වලට ගිහින් ජනතාවගෙ අදහස් විමසුවා. ඊට පස්සෙ භූගෝලීය සාධක ගැන හොයලා බැලුවා. අපි දිස්ත්‍රික්කවල කොට්ඨාස කඩන්න කලින් ජනතාවගෙ අදහස්වලට කන් දුන්නා. ඒ අදහස් අපි සියලුම පළාත් සභා නියෝජිතයන්ට යැව්වා. සියලුම පක්ෂවලට යැව්වා. අපි දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් ගානේ යන්න කලින් ඒ ජනතාව දැනුවත් කළා. මේ වාර්තාව හදලා තියෙන්නෙ මේ රටේ පුරවැසියාගේ අදහස් එකතු කරලා, පුරවැසියාටම අවශ්‍ය දේ ලබා ගන්න මිසක් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවයට නෙවෙයි.

* පළාත් පාලන සීමානිර්ණයත් පළාත් සභා සීමානිර්ණයත් අතර වෙනසක් තියෙනවා ද?

ලොකු වෙනසක් නෑ. පළාත් සභාවල බෝනස් ආසන තියෙනවා. පළාත් පාලන මැතිවරණයේ දී බෝනස් ආසන නෑ. ඒ නිසා මම යෝජනාවක් විදිහට බෝනස් ආසන වැඩි කරන්න කියල කතානායකවරයාට කිව්වා. ඒත් ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලැබුණේ නෑ.

* පනතට අනුව නිර්මාණය වුණ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප වුණ හේතුව මොකක් ද?

පනත සම්මත වුණේ පාර්ලිමේන්තුවේ දී. පනතේ තියෙන කාරණා මන්ත්‍රීවරු දන්නවා ඇති. පනතට පිටින් කිසිවක් කරලා නෑ. ඒ අය තර්ක කරන්න ඕන කමිටු වාර්තාව ගැන නෙවෙයි. කමිටු වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ සීමා ගැන. දේශපාලනඥයෝ කතා කරන්නේ මැතිවරණ ක්‍රමය ගැන. මැතිවරණ ක්‍රමය ගැන කමිටු වාර්තාවේ අඩංගු වෙලා නෑ. ඒ අය කතා කරන්න ඕන පනත ගැනයි. අපි මේ කමිටු වාර්තාව හදන්න විශාල වෙහෙසක් ගත්තා. සීමානිර්ණ කමිටුවක් පිහිටෙව්වාම කියන්නේ ඡන්දෙ කල් දාගන්න තමයි කමිටුව දැම්මේ කියලා. ඒත්, අපිට කමිටු වාර්තාව බාර දෙන්න දුන්නේ මාස 6යි. මාස 4න් අපි අපේ රාජකාරිය අවසන් කරලා කමිටු වාර්තාව බාර දුන්නා. එහෙම දීපු වාර්තාව පාර්ලිමේන්තුවට යන්න මාස 5ක් ගියා. කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන හේතුව මම ඇර සියලුම පුරවැසියෝ දන්නවා ඇති.

* බරපතළ දෝෂ ඇති බව පවසන කමිටු වාර්තාව නැවත විමසා බැලීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල සමාලෝචන කමිටුවක් පත් කළා නේද?

මම කියනවා නැවත වරක් මේ කමිටු වාර්තාව සීයයට සීයක් නිවැරැදියි. එහෙම කියන්නෙ මම විතරයි. මේ රටේ සියලුම ජනතාව නියෝජනය වන ජනතා නියෝජිතයෝ කියනවා වැරැදියි කියලා. එහෙම විවිධ තර්ක තියෙන්න පුළුවන්. ඒ නිසා දෝෂ තියෙනවා නම් ඒවා සොයා බලා නිවැරැදි කරන්න ඒ අයට පුළුවන්.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප - චමින්ද නිරෝෂණ 

නව අදහස දක්වන්න