පිත්තල භාණ්ඩ රන්වන් කරන මාමයි බෑනයි | දිනමිණ

පිත්තල භාණ්ඩ රන්වන් කරන මාමයි බෑනයි

අලුත් බඩුත් තියනවා; කැඩුණු බඩුත් හදනවා

මෙරට කාන්තාව පිත්තල බඩු භාණ්ඩවලට ඇත්තේ අපමණ ඇල්මකි. කොතෙක් අගහිඟතා තිබුණද ඇතැමුන් පිත්තල පහනක්, මල් පෝච්චියක්, පුන්කලසක් මිලදී ගෙන එය සාලයේ අලංකාරව තබා එයින් තෘප්තියක් ලබති. බොහෝ අපහසුවෙන් වුව තමන් මිල දී ගන්නා පිත්තල භාණ්ඩ අවර්ණ නොවී හැමදාම දිලිසි දිලිසී තබාගන්නටද කාන්තාව දක්වන්නේ අපමණ වෙහෙසකි. ඒ සඳහා ඔවූහු බොහෝ උපක්‍රම ද අනුගමනය කරති. එවන් උත්සාහ බොහෝ විට අවසන් වන්නේ එම භාණ්ඩ තව තවත් පළුදුවීමෙන් හෝ ඉක්මණීන් දුරුවර්ණ වීමෙනි. මෙලෙස දුර්වර්ණවී අවපැහැගැන්වී නිවෙස්වල මුළුගන්වා ඇති පිත්තල භාණ්ඩ නිවෙසටම පැමිණ යන්ත්‍රානුසාරයෙන් අලූත්වැඩියා කොට පෙර තිබූ තත්ත්වයටම සකස් කර දෙන කණ්ඩායමක සාමාජිකයින් දෙපළක් පසුගිය දිනෙක මීගහකිවුල ප්‍රදේශයේදී අපහට හමුවිය .

ඩබ්ලිව්. එම්. නිලන්ත හා ඩබ්ලිව්. එම්. ගුණරත්න නම් වන ඔවූහු ඥාතිත්වයෙන් මාමා සහ බෑනා වෙති.

ඔවුන් සිය ජීවන වෘත්තිය ලෙස මෙම රැකියාව තෝරාගෙන ඇත්තේ ඒ සඳහා ඔවුන් තුළ ඇති පාරම්පරික ශිල්පීය ඥානයද උපයෝගී කරගෙනය. ඩබ්ලිව්. එම්. ගුණරත්න මෙම රැකියාවට අතගසා වසර 30 කට අධිකය. ඔහු සමග මෙම ජීවණ වෘත්තියට එක්වී සිටින ඩබ්ලිව්. එම්. නිලන්ත මේ වන විට වසර 10 කට ආසන්න කාලයක් සිය මාමා සමග මෙම රැකියාවේ යෙදෙන බව අප සමග කීවේ තම රැකියාවෙන් ඉහළ සතුටක් ලබන බවද පවසමිනි.

ඩබ්ලිව්. එම්. ගුණරත්න,

"අපේ ගම, පිළීමතලාවේ හන්දෙස්ස. අපි කාලෙක ඉඳන් මේ රස්සාව කරනවා.

මිනිස්සු පිත්තල බඩු ගන්නේ හරිම ආසාවෙන්. සමහර වෙලාවට ණය තුරුස් වෙලත් බඩු ගන්නවා. හැබැයි කල් යද්දී ඒව අවපැහැ ගැන්වෙනකොට ඒ ආසාව නැතිවෙනවා. සමහරු වෙළෙඳ පොළේ තියෙන විවිධ රසායන වර්ග දාල ඒව මදින්න ගිහින්, තියෙන දිස්නයත් නැති කර ගන්නවා. එහෙමත් නැතිනම් පිත්තල බඩුවල තියෙන ගුණාත්මක බව නැතිකර ගන්නවා. මේ නිසා තමයි, අපේ ශිල්පීය ක්‍රම උපයෝගී කරගෙන අපි මේ වාගේ වැඩකට අත ගැහුවේ. මම පිත්තල කාර්මිකයෙක් විදිහට අවුරුදු 30 කට වඩා වැඩ කරනවා.

හුඟ දෙනෙක් පිත්තල බඩු හදල වික්කත් ඊට පස්සේ පාරිභෝගිකයෝ ගැන හොයන්නේ බලන්නේ නැහැ. ඒ නිසාම හුඟක් පාරිභෝගිකයෝ තමන් ගත්ත බඩු දුර්වර්ණ වුණාම අයින් කරලා දානව.

මේ කටයුත්ත කරන්නේ, මෝටරයක ආධාරයෙන්. ඒකට අපි විශේෂ රෙදි රෝල් ඒ වගේම ඉන්දියාවෙන් ගෙන්වන ලද විශේෂ පොලිෂ් හා රසායන ද්‍රාවණ භාවිතා කරනවා. මේව මේ කර්මාන්තයට යොදා ගන්න දේවල්.

මම මුලින්ම මේ මෝටරෙයි බඩු ටිකයි මල්ලක දාල ඔළුවෙ තියාගෙන ගෙයින් ගෙට ගිහින් තමා මේ වැඩේ කළේ. පයින් යන නිසා හුගක් දුර පළාත්වලට ගියේ කලාතුරකින්.

පස්සේ තමයි ඥාති පුතත් එක්ක එකතු වුණේ. දැන් අපි දෙන්න එකතු වෙලා ත්‍රී වීල් එකක ගමෙන් පිට බොහෝ තැන්වල යනවා. ගෙයින් ගෙට ගිහින් පිත්තල බඩු පොලිෂ් කරල දෙනවා. රෑ වුණොත් ඒ ගමේ පන්සලට ගිහින් නිදාගෙන පහුවදාට රස්සාව පටන් ගන්නවා.

හුඟ දෙනෙකුට මේක අලූත් අත්දැකීමක්. ඒ නිසා මුලදි කවුරුත් මේකට කැමැති වුණේ නැහැ. නමුත් එකක් පොලිෂ් කරනව දැක්කම ඒ ගෙදර අය විතරක් නෙමෙයි අවට ගෙවල්වල අයත් අපි ළඟට බඩු ගෙනත් දීලා පොලිෂ් කරව ගන්නව. මේ නිසා හුඟ දෙනෙක් දැන් අපි ගැන දන්නවා. ඒ අය දුරකථන ඇමැතුම් පවා දීලා අපිව ගෙන්නගෙන වැඩ කර ගන්නවා."

ඩබ්ලිව්. එම්. නිලන්ත මහතා,

"අපි, ගමට ආවම පිත්තල බඩුත් හදනවා. ගම්වලට යන කොට අපි ඒවත් වීල් එකේ දාගෙන තමා යන්නේ. සමහරු ඒව මිලදී ගන්නවා . එක පාර මිල දී ගන්න බැරි අයට අපි පහසු ගෙවීමේ ක්‍රමයට බඩු මිලදී ගන්නත් ක්‍රමයක් හදල තියෙනවා. ඒ වගේම ගෙවල්වල තියෙන අබලන් පිත්තල බඩු ගෙනිහින් හදලා ගෙනත් දෙන සේවයකුත් අපි පටන්ගෙන තියෙනවා. මේක දැන් අපේ රැකියාව. අවුරුදු ගාණනාවක් විශ්වාසයෙන් වැඩ කරන නිසා දැන් අපි ගැන මිනිස්සු අතර විශ්වාසයකුත් තියෙනවා. දැන් හුඟ දෙනෙක් අපිට කතා කරලම අපේ සේවය ලබා ගන්නවා.

එන්. නවරත්න
මීගහකිවුල සමූහ

නව අදහස දක්වන්න