ගජබා සුපර්ක්‍රොස් 19දා සාලියපුර දී | දිනමිණ

ගජබා සුපර්ක්‍රොස් 19දා සාලියපුර දී

රෙජිමේන්තු අධිපති හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් නිල වෙබ් අඩවිය එළිදක්වමින්. සාලියපුර ගජබා රෙජිමේන්තු‍වේ මධ්‍යස්ථ අණදෙන නිලධාරී කර්නල් හරේන්ද්‍ර පීරිස් මහතා ද මෙහි සිටී.

සියැට් - ස්ලඩා තරගමාලාවේ බොරළු ධාවන පථයේ අවසන් මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය වන ගජබා සුපර්ක්‍රොස් මේ මස 19 වැනිදා අනුරාධපුර සාලිය පුර ගජබා ධාවන පථයේදී පැවැත්වෙයි.

වාර්ෂිකව සංවිධාන කරන සියැට් - ස්ලඩා මෝටර් රථ හා යතුරුපැදි තරගමාලාවේ මේ වසරේ ශූරතා තරගාවලියට ඇතුළත් බොරළු ධාවන පථයේ අවසන් තරගාවලිය මෙන්ම සමස්ත මෝටර් රථ හා යතුරුපැදි තරග බිමේ අවසන් තරගාවලිය ද වෙයි.

මෝටර් රථ තරග ඉසව් 13කින් හා යතුරුපැදි තරග ඉසව් 11කින් සමන්විතව මේ තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය හා එක්ව කර ඇතැයි පසුගියදා ගජබා සූපර්ක්‍රොස් තරගාවලිය සම්බන්ධව පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී ගජබා රෙජීමේන්තුවේ රෙජිමේන්තු අධිපති හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමයේ සභාපති සංජය කාරියවංශ මහතාගේ සහභාගිත්වයෙන් මේ මාධ්‍ය හමුව පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.

වසර 1999 දී මේජර් ජෙනරාල් ගාමිණි ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් එවකට ගජබා රෙජිමේන්තුවේ සෙන්පතිවරුන් වූ ‍වත්මන් මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මා ඇතුළුව ගජබා රෙජිමේන්තුවේ සමාජිකයන්ගේ එකමුතුවෙන් පළමු ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට හැකිවුණා. එතැන් සිට 2007 වන තෙක් අඛණඩව වසර 9ක් පුරා තරගාවලිය සංවිධාන කිරීමට අප සමත්වුණා. නමුත් 2008 – 2009 දෙව‍සරේ යුද සමයේ තීරණාත්මක වසර 2දී ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට අවස්ථාව නොලැබුණත් යුද තත්ත්වය පහව ගොස් රටට සාමය උදාවීමත් සමග 2010 වසරේදී නැවතත් තරගාවලිය ආරම්භ කර මේ වන තෙක් වසර 17ක් තරගාවලිය පැවැත්වීමට හැකිවුණා.‘ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

විරෝදාර රණවිරුවන් ගෙන් සැදුම් ලක් ගජබා රෙජිමේන්තුව රටට තිරසර සාමය උදා කරලීමේදී රටට අහිමි වු රණ විරුවන්ගේ හා පූර්ණ කාලීන හා කෙටි කාලීන ආබාධයන්ට ලක් වු රණ විරුවන්ගේ හා පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධන කටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කිරීම හා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් නංවාලීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කරනු ලබන බව මේජර් ජෙනරාල්වරයා සඳහන් කළේය.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් සිමා වී තිබූ මෝටර් රථ ක්‍රීඩාව උතුරු මැද පළාතේ අනුරාධපුර සාලිය පුර වැනි ප්‍රධාන ස්ථානයක කේන්ද්‍ර කෙට ගෙන ආරම්භ වීම නිසා උ‍තුර - දකුණ හා බටහිර - නැගෙනහිර සිටින සියලුම ජනතාවට එකට සිට තරගාවලියක් නැරැඹීමේ හැකියාව උදාවුණු බව ද හෙතෙම කියා සිටියේය.

ජපාන ජාතික යතුරුපැදි තරගකරුවන් දෙදෙනෙකු ඇතුළු මෝටර් රථ හා යතරුපැදි තරග කරුවන් 200කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් නවීකරණය කරන ලද ධාවන පථයක මෙවර ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට සියලු කටයතු සම්පාදනය කර ඇතැයි මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති සංජය කාරියවංශ මහතා කීවේය.

මාධ්‍ය හමුව ආරම්භයේදීම රෙජිමේන්තු අධිපති හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් www.gajabasupercross.com නිල වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය.

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියදුරන්ගේ සංගමයේ හිටපු සභාපති මහේෂ් ගම්මන්පිල, මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, ටී.වී.එස්. ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක නායි රාවෝ, සියැට් කැළණි ටයර් පොදු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී බිස්‍ෆ්‍රී ලතී‍ෆ්, මැලිබන් මැනුෆැක්චරීස් සමුහ ව්‍යාපර ප්‍රධාන විධායක රවී ජයවර්ධන හා සාලියපුර ගජබා රෙජිමේන්තු‍වේ මධ්‍යස්ථ අණදෙන නිලධාරී කර්නල් හරේන්ද්‍ර පීරිස් යන මහත්වරුන් ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

මෙවර තරගාවලිය සොෆ්ට්ලොජික් හොල්ඩින්ග්ස් පොදු සමාගමේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සම අනුග්‍රාහකයන් වශයෙන් සියැට් කැළණි ටයර් ශ්‍රී ලංකා පොදු සමාගම ටී.වී.එස්. ලංකා පුද්ගලික සමාගම හා මැලිබන් මැනුෆැක්චරීස් පුද්ගලික සමාගම කටයුතු කරයි.

නිරෝෂන් ප්‍රියංකර සහ ගීෂා මුණසිංහ

 

නව අදහස දක්වන්න