දුර්ලභ වාලම්පුරියක් විකිණීමට යෑමේදී අල්ලයි | දිනමිණ

දුර්ලභ වාලම්පුරියක් විකිණීමට යෑමේදී අල්ලයි

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද
අලෙවි කිරිමට සුදානම්කර තිබු අධික මිලකින් යුත් වාලම්පුරිය වැටලිම් සිදුකළ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරිහූ පරික්ෂා කළ අයුරු ඡායාරුප -ත්‍රි/මලය විශේෂ

රුපියල් කෝටියකට අලෙවි කිරිමට සුදානම් කර තිබු වාමාවෘත්ත වාලම්පුරියක් සමග සැකකරුවන් හතර දෙනෙකු පෙරේදා (02) දහවල් අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසිය සමත්වුහ.

මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතාට ලද තොරතුරකට අනුව ත්‍රිකුණාමලය ඕර්ස්හීල් කෙසෙල් තුඩුව පාරේදි මෙම වැටලිම සිදුකළ අතර සැකකරුවන් පැමිණි වැන් රථයද අත්අඩංගුවට ගැනිමට හැකිවි තිබේ. සැකකරුවන් අතර එක් කාන්තාවක්ද සිටින අතර ඔවුන් කින්නියා මුතුර් හා ත්‍රිකුණාමලයේ පදිංචිකරුවෝ වෙති. වාලම්පුරියේ දිග අඟල් 15ක් වන අතර එය පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ එහි තුළ සිටි බෙල්ලා සජිවිව සිට ඇති අතර පසුව මියගොස් තිබේ. සැකකරුවන් මෙම වාලම්පුරිය රෙජිපෝම් පෙට්ටියක බහා අයිස් දමා තිබිණැයි පොලිසිය කියයි.

වාමාවෘත්ත මෙම වාලම්පුරිය මිල කළ නොහැකි අතර “ටර්බිනෙල්ලා පයිරම්“ යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අතර දුර්ලබ ඝනයේ වාලම්පුරියක් බව මෙය පරික්ෂාකළ ධිවර පරික්ෂකයන්ගේ නිගමනය වි තිබේ.1996 අංක 02 දරණ ධිවර හා ජලජ පනතෙන් මෙවැනි වාලම්පුරි සන්තකයේ තබාගැනිම, ප්‍රවාහනය කිරිම තහනම් බව පොලිසිය පැවසිය.

පොලිසිය වැටලිම් සිදුකරන අවස්ථාවේ මෙම වාලම්පුරිය මිලදි ගැනිමට ගැනුම් කරුවන් හයදෙනෙකු පැමිණ ඇතැයි කියයි. ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේඋපදෙස් මත පොලිස් අධිකාරි 1 ඩබ්.තිලකරත්න මහතාගේ මෙහෙයවිමෙන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමක් මෙම වැටලිම සිදුකළේය. සැකකරුවන් වාලම්පුරිය සමග වාහනය වැඩිදුර පරික්ෂණ වලින් අනතුරුව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.නැගෙනහිර දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

 

 

නව අදහස දක්වන්න