උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට තීරණ ගෙන නෑ | දිනමිණ

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට තීරණ ගෙන නෑ

මහින්ද අලුත්ගෙදර

අගමැති

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේදී ඊයේ (22) පැවසීය.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන බවට සති අන්ත පුවත්පතක පළ වී ඇති ප්‍රවෘත්තියට පදනමක් නොමැති බව කී අගමැතිවරයා මෙවැනි පදනමක් නැති කතා පතුරවා රට ගිනි තියන්න එපායැයි ඉල්ලා සිටින බවද කීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ තමා මීට පෙරත් පාර්ලිමේන්තුවේදී උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන බවට ප්‍රකාශ කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය. “ අද උදේ මම සති අන්ත පත්තර කියෙවුවා. “උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්න දින 45ක් තුළ නියෝගයක්” කියා ඉරිදා දිවයින සංග්‍රහයේ තියෙනවා. උතුරේ මහ ඇමතිතුමාවත් එලෙස නියෝගයක් දි ඇත්දැයි මම බැලුවා. එතුමාත් එවැනි නියෝගයක් ලබා දී නැහැ. හමුදාපතිගෙනුත් මේ ගැන ඇසුවා. ඒ අය දන්නේත් නැහැ. එසේනම් මෙම නියෝගය දුන්නේ කවුද? දිවයින කතෘවරයාද?

යුද්ධ හමුදාවේ බළඇනි ප්‍රතිසංවිධාන වෙනවා. එසේ කරන විට සමහර නිලධාරින්ට පරිපාලන තනතුරු දෙනවා. ක්‍රමානුකූලව ත්‍රස්තවාදය දුරුවෙමින් තියෙනවා. යාපනය යනු කොළඹ යටත් විජිතයක් නොවේ. රටේ තත්ත්වය දියුණු වීමත් සමග හමුදාව ඉවත්වේවි. ඒවා අපි වහලා කරන්නේ නැහැ. කරන දෙයක් කියලා කරන්නම් යනුවෙන්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

උතුරු පළාත් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරිමට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

නව අදහස දක්වන්න