බෝක්කු කට ප්‍රමාණවත් නෑ ජනතාවට ගංවතුරින් පීඩා | දිනමිණ

බෝක්කු කට ප්‍රමාණවත් නෑ ජනතාවට ගංවතුරින් පීඩා

සෑම වර්ෂයකම මැයි මාසයේ ඇදහැළෙන වර්ෂාවත් සමඟ ගලා එන ගංවතුර හේතුවෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළම, පහළම, මැදගම, කොස්ඕවිට හා කිරිඳිවිට යන ප්‍රදේශයන් ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව දැඩි අසීරුතාවනට පත්වන බවට ඔව්හු මැසිවිලි නඟති.

අත්තනගලු ඔය ඔස්සේ හා ඌරුවල් ඔය ඔස්සේ ගලා එන මහා ජලකඳ බැසයාමට ගම්පහ තානායම අසලින් ඉදිකර ඇති බෝක්කු කට ප්‍රමාණවත් නොවන හෙයින් එසේ පැමිණෙන ජලධාරාව කෙටවල ඇළ මාර්ගය ඔස්සේ නැවත ගම තුළට ගලායාම හේතුවෙන් ඉහළගම ජනතාවගේ නිවාස යටවන බව ඔව්හු පෙන්වා දෙති.

තවද ඉහළගම ගම්මානය හදිසි ගංවතුර අවස්ථාවකින් ආරක්ෂා කර ගැනීම පිණිස ඉදිකර ඇති සොරොව්ව, නිසි කළමනාකරණයකින් තොරව ඔසවා තැබීමද එම ගම්මානය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙන්වා දෙන ගම්වැසියන් එම සොරොව්ව අඟල් අටක ප්‍රමාණයට වඩා නොඋස්සන ලෙසට වාරිමාර්ග ඉංජිනේරුවන් විසින් දැනුම් දී තිබුණද එම සොරොව්ව යතුර භාරකරු එම උපදෙස් නොපිළිපදිමින් ඔහුට අවශ්‍ය පරිදි වාන් දොරටුව උස්සා තැබීම මේ තත්ත්වයට බලපා ඇති බවද පවසති.

මේ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කළද යහපත් ප්‍රතිචාරයක් නැති බව පෙන්වා දෙන ඔව්හු ගම්පහ තානායම අසලින් ජලය බැසයාමට සකසා ඇති බෝක්කු කට පළල් කර සාදාදීමට පියවර ගන්නා මෙන් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

 

ඡායාරූපය - යක්කල විශේෂ - රුවන් සමන්ත අධිකාරි 

නව අදහස දක්වන්න