නායක කේන්ගේ ගෝල ද්විත්වයෙන් එංගලන්තයට ජය | දිනමිණ

නායක කේන්ගේ ගෝල ද්විත්වයෙන් එංගලන්තයට ජය

වොල්ගොග්‍රාඩ් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාලෝලීන් 41,064ක් තම වසඟයට ගත් එංගලන්ත පාපන්දු පිලේ නායක හැරී කේන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ටියුනීසියාව සමග පැවැති තරගයේ අවසන් මොහොතේ හිසින් එල්ල කළ විශිෂ්ට ගෝලයෙන් සිය කණ්ඩායමට ගෝල 2-1ක ජයක් අත්කර දුන්නේය. එංගලන්ත පිල ලැබූ ගෝල 2කම වාර්තා කරනු ලැබුවේ හැරී කේන් විසිනි.

එංගලන්ත ක්‍රීඩකයන් නොසිතූ අන්දමේ අභියෝගයක් එල්ල කළ ටියුනීසියානු කණ්ඩායම තරගයේ පළමු භාගය ගෝල 1-1ක් ලෙස සම කරගැනීමෙන් පසුව දෙවැනි භාගය එහෙම පිටින්ම උණුසුම් මුහුණුවරක් ගත්තේය. දෙපිලේහිම ක්‍රීඩකයන් එකිනෙකා පරයා ජයග්‍රහණය හඹා යද්දී අවස්ථා ගණනාවක්ම එංගලන්තයට මඟ හැරිණි. එහෙත් අවසන් මොහොතේ දී සිය වගකීම අකුරටම ඉටු කළ එංගලන්ත පිලේ නායකයා සිය කණ්ඩායමට ගෙන දුන්නේ නොතිබු ජයකි. එංගලන්ත පිල ලෝක කුසලාන පාපන්දු තරගාවලියක පළමු තරගයෙන් ජයගත්තේ 2006 පැරගුවේ කණ්ඩායම පරාජය කිරීමෙන් පසුවය.

තරගයේ 11 වැනි මිනිත්තුවේදී ජොන් ස්ටෝන්ස් හිසින් එල්ල කළ වේගවත් පහර වැළැක්වීමට ටියුනීසියානු ගෝල් රකින්නා වන මොයිස් හසින් සමත්වූවත් එය ඔහුගේ අතෙහි වැදි නැවත පිටිය තුළ පතිතවීමත් සමග ඉදිරියට ගිය හැරී කේන් පහසු ගෝලයක් වාර්තා කිරිමෙන් ගෝල 1-0කින් පෙරමුණ ගැනීමට එංගලන්තය සමත්විය. එහිදී තුවාල ලැබූ ටියුනීසියානු ගෝල් රකින්නා පසුව පිටියෙන් ඉවත්විය.

එසේ වුවත් 35 වැනි මිනිත්තුවේදී කයිල් වෝකර් ටියුනිසියානු ක්‍රීඩක ෆක්රිඩින් බෙන් යූසුෆ්ට දඬුවම් පහරට හසුවන සීමාවේදී වැලමිටෙන් පහරදීම නිසා ලැබූ දඬුවම් පහර සාර්ථක කරගත් ෆෙර්ජානි සසී තරගය ගෝල 1-1කින් සමකරගත්තේය. දෙවැනි භාගයේදී එංගලන්ත පිලට ගෝලයක් රැස් කිරිමේ අවස්ථා ගණනාවක්ම වැළකි ගිය අතර දඬුවම් පහරට හසුවීමේ සීමාවේදී එංගලන්ත පිලේ නායකයාට නීතිවිරෝධී බාධා කිරීම් දෙකක්ම සිදුවිය. එහෙත් ප්‍රධාන විනිසුරුට හෝ වීඩියෝ සහය විනිසුරුට එය හසුනොවීම විමතියට කරුණක් විය. කෙසේවුවත් අවසන් මොහොතේ හැරී මැගුයිරි ලබාදුන් පන්දුවට හැරී කේන් හිසින් එල්ල කළ පහරින් ටියුනීසියාවේ ඉරණම තීන්දු විය.


ස්වීඩනයට ගෝල 1-0ක ජයක්

වසර 12කට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කරන ස්වීඩනය දකුණු කොරියාව ගෝල 1-0කින් පරදවා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත්විය. පළමු භාගය ගෝල රහිතව නිමාවට පත්වූ අතර දෙවැනි භාගයේ 65 වැනි මිනිත්තුවේදී වීඩියෝ සහාය විනිසුරුවරයාගේ තීරණය අනුව ස්වීඩනයට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගනිමින් තරගයේ වාර්තා වූ එකම ගෝලයේ හිමිකාරයා බවට පත්වූයේ නායක ඇන්ඩ්‍රිස් ග්‍රැන්කුවිස්ට්ය.

සිය 9 වැනි පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන දකුණු කොරියාවට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුණත් වොං හී චැන් හිසින් එල්ල කළ පහර ස්වීඩනයේ ගෝල් කණුවට එපිටින් අපතේ ගියේය.

33 හැවිරිදි ස්විඩන් පිලේ නායකයා වසර 2010දී ආජෙන්ටිනා පිල මෙහෙයවූ 36 හැවිරිදි මාටින් පැලෙමෝගෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සිය මංගල තරගයේදීම ගෝලයක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා බවට පත්විය.


ලුකාකු බෙල්ජියම ඉහළට ඔසවා තබයි

මිනිත්තු 6ක් ඇතුළත පිට පිට ගෝල 2ක්ම වාර්තා කළ රොමේලු ලුකාකු පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ක්‍රීඩා කරන පැනමා කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක විශිෂ්ට ජයක් බෙල්ජියමට අත්කර දීමට සමත්විය.

තරගයේ පළමු භාගයේ දෙපිලම ගෝල රැස් කිරීමට අසමත්වූ අතර දෙවැනි භාගයේ සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසි ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරිම්වල තුන්වැනි තැන පසුවන ප්‍රබල බෙල්ජියමට ගෝල 1-0කින් පෙරමුණ ගෙනදීමට 47 වැනි මිනිත්තුවේදී ඩ්‍රයිස් මාටින්ස් සමත්විය. ඔහු ඉහළින්ම එල්ල කළ පහරින් පන්දුව ගෝල් රකින්නා අභිබවා දැල තුළට වේගයෙන් ඇදී ගියේය.

කෙසේවුවත් 54 වැනි මිනිත්තුවේදී තරගය සමකරගැනීමට ටියුනීසියාවට ඓතිහාසික මොහොතක් උදාවූ අතර මයිකල් මුරිලෝ එල්ල කළ පහර බෙල්ජියමේ ගෝල් රකින්නා වන ටිබෝට් කෝටොයිස් විශිෂ්ට අයුරින් වළක්වාගත්තේය.

ක්‍රීඩාලෝලීන් 43,257ක පිරිසක් මැද සොචී හී ෆිෂ්ට් ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වෙමින් 69 වැනි මිනිත්තුවේදී ලුකාකු හිසින් එල්ල කළ අනගි පහරින් ඔහුගේ පළමු ගෝලය වාර්තා වූ අතර ඊට මිනිත්තු පහකට පසුව 75 වැනි මිනිත්තුවේදී නැවතත් බෙල්ජියමට තුන්වැනි ගෝලය ලබාදුන්නේ පැනමා පිලේ ගෝල් රකින්නා අන්දමන්ද කරමිනි.

සටහන-ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න