මම කටකතාවලට බය නැහැ | දිනමිණ

මම කටකතාවලට බය නැහැ

කවින්ද්‍යා දුල්ෂානි

තරුණ කථිකාචාර්යවරියක ලෙස "සිඳූ" ටෙලි නාට්‍යයේ රඟපාන ඇය, මේ වනවිට ටෙලි නාට්‍ය ප්‍රධාන චරිත කිහිපයකට ම දායක වෙමින් සිටින්නීය. වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස ද ප්‍රේකෂකයා හමුවට පැමිණෙන ඇය,කවින්ද්‍යා දුල්ෂානි ය.

* රංගන ක්ෂේත්‍රයට පා තැබීමට ඔබට මඟ පෑදු‍නේ කොහොමද?

2015 අවුරුද්දේ මම ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා. ඒ තරගයෙන් අවසන් දොළොස් දෙනා අතරට තේරෙන්න මට හැකි වුණා. ඒ අවස්ථාවේ ස්වාධීන රූපවාහිනියෙන් නිර්මාණය කළ, ශාන්ත සොයිසා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයකට අලුත් නළු නිළියන් තෝරා ගැනීමේ තිර පරීක්ෂණයක් පැවැත්වුණා. එතැනදි ඒ ටෙලි නාට්‍යයේ රඟපාන්න තෝර ගත්තේ මාව. ඒ තමයි මගේ රංගන දිවියේ ආරම්භය.

* මේ වෙද්දි ඔබ ක්ෂේත්‍රයේ කාර්යබහුල චරිතයක්. ඒ ගැන පැවසුවොත්?

මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක වැඩ වැඩියි. පහුගිය කාලයේ මට සැලකිය යුතු නිර්මාණ ප්‍රමාණයක රඟපාන්න අවස්ථාව ලැබුණා. මේ වෙනකොට මම රඟපාන ටෙලි නාට්‍ය දෙකක් විකාශය වෙනවා. "සඳ එළිය" කියන්නෙ "සිඳු" ටෙලි නාට්‍ය ඇතුළුව මම රඟපෑ ටෙලි නාට්‍යවලින් විකාශය වන හය වැනි ටෙලි නාට්‍යයයි.

*"සිඳූ" හි අංජනාගේ චරිතය ඔබට කළ බලපෑම කෙබඳුද?

"සිඳූ" ටෙලි නාට්‍යයට මම අතරමැදින් සම්බන්ධ වුණාට, මට ප්‍රධාන චරිතයක් ලැබිලා තියෙනවා. මෙහි එන'අංජනා' කථිකාචාර්යවරියක් වුණාට, තරමක් කපටි, දඟකාර චරිතයක්. අංජනා වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර බොහොමයි. ඒත්, බොහෝ අය අංජනාට දොස් කියනවා. මම එහෙම කියනවට කැමැතියි. චරිතයටනෙ මිනිස්සු එහෙම කියන්නෙ. මම අංජනාගෙ චරිතයට සාධාරණයක් කරලා තියෙනවා කියලා, ඒ වෙලාවට මට හිතෙනවා. ඒ වගේ ම මේ දවස්වල විකාශය වන "සඳ එළිය" ටෙලි නාට්‍යයේ නිර්මලීටත් බොහෝ දෙනා කැමැතියි. "සඳ එළිය" ටෙලි නාට්‍යයෙත් මම කරන්නෙ ප්‍රධාන චරිතයක්. හැබැයි සඳ එළියේ 'නිර්මලී' කියන්නෙ අංජනාට හාත්පසින් ම වෙනස්, අමාරුවෙන් ජීවත් වන, අහිංසක යුවතියකගේ චරිතයක්.

* ඔබ පූර්ණකාලීනව රංගනයේ නියැළෙන්නද හිතාගෙන ඉන්නේ?

මේ වෙද්දි මම උසස් පෙළ අවසන් කරලා, කළමනාකරණ ක්ෂේත්‍රයෙන් උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒත්, මේ වෙද්දි වැඩි කාලයක් වෙන් කරගෙන ඉන්නෙ රංගනයටයි. මුලින් ම නම් මම හිතුවෙ නැහැ මට කවදාවත් රඟපාන්න ලැබෙයි කියලා. ඒත්, මම රඟපෑ නිර්මාණ මිනිසුන් අතරට යද්දි, මිනිසුන්ගේ ආදරය ලැබෙද්දි, රංගනයට ඇති කැමැත්ත තව තවත් වැඩි වුණා. මේ තරම් කෙටි කාලයකින්, මෙතරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබුණු නිසා, මේ ක්ෂේත්‍රයේඉදිරියටම යන්න හැකියාව තිබෙනවා කියන විශ්වාසය දැන් මට හැඟිලයි තිබෙන්නේ.

*කලාව තුළ රැඳෙන්න වගේ ම, කලාව වෘත්තිය කර ගැනීම වෙනුවෙන් ප්‍රේක්ෂක ආදරය පමණක් සෑහෙනවද?

මට තවම ක්ෂේත්‍රය ගැන ලොකු දැනුමක් නැහැ. ඒකට හේතුව මම තවම නිර්මාණ බොහොමයකට දායක වෙලා නැති නිසයි. ඒත්, අපි කිසියම් ඉලක්කයක් තියාගෙන කරන දේ හරියට කරනවා නම්, අපට ඕන ම තැනක රැඳෙන්න පුළුවන් කියලා මම හිතනවා. හැබැයි රංගනය කියන්නෙ, මට අනුව නම් බොහොම අමාරු කාර්යයක්. මම රඟපෑම ගැන කිසි දෙයක් දැනගෙන හිටියෙ නැහැ. පළමු වැනි ටෙලි නාට්‍යයේ රඟපෑවට පස්සෙ, රංගනය කියන්නෙ අප තුළ සහජයෙන් ම තිබෙන දෙයක් බව මට හැඟුණා. මේ කලාව, ප්‍රවීණයන්ගේ ඇසුර හා වෙනත් කාරණා ඇසුරු කරගෙන දියුණු කර ගන්න ඕන දෙයක්.

* ඔබගේ රංගන දිවියේ බලාපොරොත්තු සිනමාව දක්වා ම විහිදී යනවද?

ඔව්. මම සිනමාවට එන්න කැමැත්තෙන් හිටියෙ. මේ වෙද්දි මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒක වාණිජ චිත්‍රපටයක්. මම ඒ චරිතය අනිවාර්යයෙන් රඟපායි. ඒක මට සිනමාවට පය තියන්න ලැබුණ හොඳ අවස්ථාවක්.

* රංගනය පිළිබඳ අත්දැකීම් වැඩිකර ගන්න, ඔබට තිබෙන සැලසුම් මොනවද?

ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න මම කැමතියි. ඒකට හේතුව, මම මේ ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් වීමයි. ඒ නිසා, හැම දෙයක් ගැන ම මම ඉගෙන ගනිමින් ඉන්නේ. ප්‍රවීණයන්ගෙ ඇසුර හා ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීම, අධ්‍යයනයකට හොඳ අවස්ථාවක්. ක්ෂේත්‍රයේ නවකයන් හා ප්‍රවීණයන් අතර මත ගැටුම් නොපවතිනවා නෙමෙයි. ඒත්, බොහෝ අය මාත් එක්ක සුහදයි. මම ඉක්මනින් ම සුහදතාව ගොඩනගා ගන්නා කෙනෙක්.

* ජනප්‍රියත්වය, ඔබගේ ජීවිතය සාර්ථකත්වයට බලපෑවෙ කොහොමද?

ජනප්‍රියත්වය කියන එක හොඳයි. හැබැයි, ජනප්‍රිය නොවුණා කියලා, කෙනකුට සමාජයේ හොඳ විදිහට ජීවත් වෙන්න බැරිකමක් නෑ. කොහොම වුණත්, මිනිස්සුන්ගෙ ආදරය ලැබෙනවා කියන්නෙ වාසනාවක්.

* ඔබගේ රංගන කටයුතුවලට පවුලෙන් ලැබෙන ශක්තිය කෙබඳුද?

මුලින් ම මම රඟපාන්න එනවට මගේ තාත්තා කැමැති වුණේ නැහැ. පළමු ටෙලි නාට්‍යයේ පරීක්ෂණයට අම්මා තමයි මා එක්කගෙන ගියේ. හැබැයි මම රඟපාපු පළමු වැනි ටෙලි නාට්‍ය විකාශය වෙද්දි, තාත්තා ඒකට බොහෝ සේ කැමැති වුණා. දැන් නම් අම්මටත් වඩා තාත්තා තමයි මට වැඩියෙන් උදවු කරන්නෙ. එහෙමයි කියලා මම රූපගත කිරීම්වලට අම්මා, තාත්තා එක්ක යන කෙනෙක් නෙමෙයි. මොකක් හරි වැඩකට ඇරියුමක් ලැබුණහම, පළමු වැනි දවසෙ මම අම්මා හරි, තාත්තා හරි එක්ක යනවා. ඒ මට එතැන නුහුරු නිසයි. මම එතැන අය හඳුනා ගත්තට පස්සෙ, මම තනිවම මගේ වැඩවලට යනවා.

* ඔබ, නිදහසේ තමන්ගේ වෘත්තිය තුළ ගමනක් යනවා වගේ ම, ඕනැම චරිතයක් රඟපාන්න බාර ගන්න කෙනෙක්ද?

මම හැදුණු පරිසරයත් එක්ක මට සීමාවක් තියෙනවා. මම බොහෝ සෙයින් සිරුර නිරාවරණය වන විදිහට ඇඳුම් අඳින කෙනෙක් නෙමෙයි. ඒ සීමා ඇතුළත ඉඳන් මම මගේ චරිත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

* ඔබගේ පාසල් විය ගෙවුණේ, කලාවට සම්බන්ධ කටයුතුත් සමඟද?

නැහැ .පාසල් යන කාලෙ මම දක්ෂ ක්‍රීඩිකාවක්. මම බලාපොරොත්තු වුණේ මට ක්‍රීඩාවෙන් යමක් කරන්න පුළුවන් වෙයි කියලයි. මම වැඩියෙන් ම කැමැත්තෙන් හිටියෙ කරාටේ ක්‍රීඩාවට. මම කරාටේ ඉගෙන ගත්තා. තරගවලට සහභාගි වෙලා, ජයග්‍රහණ ලැබුවා. ඊට අමතරව පාසල් වොලිබෝල් හා නෙට්බෝල් කණ්ඩායම්වලත් ක්‍රීඩා කළා.

* ජනප්‍රිය චරිත හා බැඳෙන කටකතා ගැන ඔබටට තියෙන්නෙ මොන වගේ හැඟීමක්ද?

මම කටකතාවලට බය නැහැ. සමාජයේ යහපත් විදිහට ජීවත් වන අයටත් කතා හදනවනෙ. 'මම' ඉතින් 'මම' විදිහටම ජීවත් වෙනවා. මගේ අම්මා, තාත්තා මං නිසා සමාජය ඉදිරියේ අපහසුතාවට පත් වන විදිහට, මම ජීවත් වෙන්නෙ නැහැ.

* ජනප්‍රිය යොවුන් චරිතයක් වන ඔබගේ දිවියේ, ප්‍රේමයට දී තිබෙන ඉඩ කොතරම්ද?

ජනප්‍රිය නිසාද කියලා මම දන්නෙ නැහැ.හැබැයි විවාහ යෝජනා නම් නිතර ම එනවා. ඒත් මම, ක්ෂේත්‍රයේ කෙනෙක් එක්කම විවාහ වෙනවද? ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක් එක්ක විවාහ වෙනවද? කියලා තීරණයක් අරගෙන නැහැ. මම කැමති, මගේ මවුපියනුත් කැමැති වෙන, හොඳ කෙනෙක් සමඟ විවාහ වෙන්නයි .

ධමිමිකා සුරංජි පතිරණ

නව අදහස දක්වන්න