ඉලෙක්ට්‍රික් බස් රථයකින් හරිත ලොවකට | දිනමිණ

ඉලෙක්ට්‍රික් බස් රථයකින් හරිත ලොවකට

තඹරු විජේසේකර

සීමිත ඉන්ධනයක් වන බොරතෙල්වලින් උකහා ගන්නා ඩීසල් සහ පෙට්‍රල් ලොව මූලික ඉන්ධනයක්ව පවතිද්දී නව තෙල් නිධි සොයාගත්ත ද දිනෙන් දින පෘථිවි ගැබ තුළ ඇති තෙල් ප්‍රමාණය අවසන් වීගෙන යනවා. මේ හරහා තෙල් මිල උච්ඡාවචනය වන අතර තෙල් නිධි සහිත රටවල්වලට තමන්ගේ ආධිපත්‍යය ලොව පුරා වක්‍රාකාරව පතුරුවාලන්නට ද ඉන් හැකියාව ලැබී තිබෙනවා. ලෝක බලවතා ඇමරිකාව වූවත් වැඩි තෙල් නිධි ප්‍රමාණයක් සහිත මැද පෙරදිග රටවල්වලට තවමත් හිස ඔසවා සිටින්නට හැකියාව ලැබී ඇත්තේ මේ නිසායි. බල අරගලය කෙසේ වතුදු, ලෝකයේ පරිසර හානිය පිළිබඳ සැලකීමේදී ද රටකට ආර්ථික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් වැඩි විනාශයක් තෙල් මත යැපීමෙන් සිදුවන අතර එය සමස්ත ලෝකයේ මට්ටමෙන් සැලකූ විට විශාල බලපෑමක් එල්ල කරන දෙයක් බවට පත්ව තිබෙනවා.

වායුවට එක්වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩිවීම, ඕසෝන් වියන ක්ෂය වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, අයිස් දිය වීම තෙල් දහනයේ ප්‍රතිඵල ලෙස ලැබෙද්දී නිවාස සහ ගොඩනැගිලි වෙනුවෙන් ඉඩ සලසා ගන්නට ගස් කැපීම ද එක්ව ගිය විට සහ ගස් කපන උපකරණවලට ද බොරතෙල් නිෂ්පාදනයක් යොදා ගත් විට මිහිතලයේ කොළ පැහැයට කණ කොකා හඬන්නේ ඉගිලෙන විට කොන්ක්‍රීට් සුද පෙනෙන කාන්තාරයක් ම බිහි කරලමින්. මේ පැනයට වඩාත් ම උචිත විසඳුම වන්නේ සූර්ය ශක්තිය, මුහුදු රළ, සුළඟ සහ අනාගතයේදී හැකි වුවහොත් අකුණු හරහා විදුලිය උත්පාදනය කරගෙන ඉන් ලෝක අවශ්‍යතාවන් ඉටු කර ගැනීමයි. එහි මූලික අදියරක් වශයෙන් යුරෝපයේ බොහෝ රටවල දැන් පොදු මගී ප්‍රවාහනය වෙනුවෙන් ඉලෙක්ට්‍රොනික් බස් රථ යොදාගෙන තිබෙනවා.

දැනට 250kWh බැටරියක් සහිත සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික බසයකට ඩිපෝවෙන් තනි ආරෝපණයක් දිනකට ලබාගෙන කිලෝ මීටර් 166ක් ගමන් කරවන්නට වැය වන්නේ කිලෝමීටරයකට ඩොලර් 0.99ක් හෙවත් රුපියල් 156ක් පමණ වන අතර ඩීසල් එන්ජිමක් සහිත බස් රියක එය ඩොලර් 1.05/km නොහොත් රුපියල් 166ක් පමණ වෙනවා. කිලෝමීටරයක් සඳහා එහි පරතර අගය රුපියල් 10ක් පමණක් වුවත් දින, සති, මාස ගණන් ඊට එක් වෙද්දී වැඩි වන කිලෝමීටර් ප්‍රමාණය සමඟ බස් හිමිකරුවකුට හෝ රජයට ඉන් ඉතුරු වන මුදල විශාල ප්‍රමාණයක් වෙනවා. එසේම ඉන්ධන මිල එන්න එන්නටම වැඩි වන නිසා ඊට සාපේක්ෂව උද්ධමන අගය ද සැලකූ විට ලැබෙන ලාභය පිළිබඳ අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ.

වාහනයේ නඩත්තු වියදම සමඟ බැටරිය සැලකූ විට ඩීසල් එන්ජිම ලාභය අතින් ඉදිරියෙන් සිටිය ද මිල වැඩි වන ඩීසල්, අවසන් වෙමින් පවතින බොරතෙල්, පරිසරය විනාශ කරවන එහි දුම සලකා බැලූ විට නැවතත් කිරුළ බැටරි බලයෙන් දිවෙන වාහනවලට ම හිමි වෙනවා. නමුත් එදා වේල ගැන පමණක් සිතමින්, හෙට දිනයේ තෙල් මිල සහ ලෝකයේ පරිසර තත්ත්වය පිළිබඳ නොසලකමින් සිටින තෙවැන ලෝකයේ රටවල්වලට විදුලි බලයෙන් දිවෙන රථයකට වැඩි මිලක් දී කරනු ලබන ආයෝජනය පෙනෙන්නේ වියදමක් ලෙස පමණයි. එහි ප්‍රතිඵල ලැබෙන අනාගත දිනයේදී ඒ ගැන පසුතැවීම් ද බොහොම ලැබෙන්නට පුළුවන්.

තනි ඉලෙක්ට්‍රොනික් බස් රථයකට සාමාන්‍ය බසයකට, වසරකට ධාවනයට ඩීසල් බැරල් 178ක් ප්‍රතිස්ථාපනය කරන්නට හැකි අතර ඉන් වායුවට විමෝචනය කරලන ටොන් 13.7ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද සම්පූර්ණයෙන් නවතාලනවා. එක්සත් රාජධානියේ දිවෙන බස් රථ 344න් 191ක් ඉලෙක්ට්‍රොනික් බස්රථවලින් සන්නද්ධ කර ඇති අතර නෙදර්ලන්තයේ බස් රථ 296 ම, ලිතුවේනියාවේ බස්රථ 192 ම සහ ඔස්ට්‍රියාවේ බස්රථ 164 ම ඉලෙක්ට්‍රොනික් බස් රථ වන අතර ප්‍රංශයේ බස් රථ 75න් ඩීසල් බස් රථයක් ලෙස දැන් ඇත්තේ 1ක් පමණයි. මෙම බස්රථවලින් ඇතැම්වා හයිබ්‍රිඩ් ඒවා ද වෙනවා.

බ්‍රිතාන්‍යයේ අගනුවර වායු දූෂණය අවම කිරීම සඳහා ලන්ඩනයේ පුරපති සදීක් ඛාන් විසින් මෑතකදී ගත් තීරණයක් අනුව යූරෝ මිලියන 19ක් වැය කොට පූර්ණ ඉලෙක්ට්‍රොනික් බස් රථ යෙදවීමට කටයුතු කර තිබෙනවා. චීනයේ ‘බිල්ඩ් යෝ ඩ්‍රීම්ස්’ආයතනයේ සහ ස්කොට්ලන්තයේ ඇලෙක්සැන්ඩර් ඩෙනීස් පෞද්ගලික සමාගමේ නිෂ්පාදිත ‘එන්වයෝ200’නමැති විමෝචන රහිත, කාර්යක්ෂමතාව ඉහළ බස් රථ මේ සඳහා යොදාගෙන තිබෙනවා. දොර දෙකක් ඇති මේ බස් රථවල ලංකාවේ සාමාන්‍ය බස්රථවලට සාපේක්ෂව සුඛෝපබෝගී සාධක ලෙස වායු සමීකරණය කර තිබීම, සුව පහසු අසුන්, ස්වයංක්‍රීය දොරවල් ආදිය ලෙස දැක්විය හැකි අතර මේවා අධිවේගී මාර්ගයේ යොදවා ඇති ඒවාට සමානකමක් දරනවා.

මෙහි ඇති වෙනස් නම්, බස් රථයේ ඉහළ, පසුපස සිට මධ්‍යය පමණ තෙක් දිග මඳක් එසැවුණු තට්ටුවක් වැනි කොටසක් තිබීමයි. එම කොටසෙහි 324kWh ලිතියම් අයන- පොස්පේට් බැටරි දෙකක් තිබෙනවා. එයින් බලය ලබා ගන්නා, ජලයෙන් සිසිලනය වන 90kW වීල් හබ් මෝටර් දෙකකින් පසුපස රෝද එලැවුම් රථයක් බවට මෙය පත් වෙනවා. තනි ආරෝපණයකින් කිලෝ මීටර් 250ක් යා හැකි මේ රථයෙන් ලැබෙන ලාභය මගීන්ට ලබා දෙමින් බස් ගාස්තු අවම මට්ටමක පවත්වා ගැනීමේ හැකියාව ද ලැබෙනවා. චීනයේ ‘බිල්ඩ් යෝ ඩ්‍රීම්ස්’ආයතනය වෙත මේ වන විට ලන්ඩනය හැරුණු කොට ලැබුණු විශාලතම ඇණවුම් ලෙස ඇම්ස්ටර්ඩෑමයේ ස්කිපෝල් ගුවන් තොටුපොළ සඳහා බස්රථ 35ක් ලබා ගැනීම දැක්විය හැකියි.

මාර්ගවල තිබෙන වාහන තදබදයේ කෙළවරට දිනෙන් දින එකතු වන බොරතෙල් නිෂ්පාදනයන්ගෙන් දිවෙන වාහන වෙනුවට හරිත වාහන සහ විශේෂයෙන් පොදු ප්‍රවාහන භාවිතයට ද ජනතාව පෙළඹවීමක් මෙම යුරෝපීය රටවල් විසින් ලබාගන්නා ලද පියවර හරහා දකින්නට ඇති අතර ඔවුන් මේ වන විටත් ඩීසල් බැරල් සංඛ්‍යාව දිනකට 279,000 පමණ ඉතිරි කර දෙන්නේ තනි ඉලෙක්ට්‍රික් බසයකින් ඩීසල් බැරල් 500ක් පමණ ලාභයක් ලබා දෙමින්. ආර්ථික වශයෙන් දීර්ඝකාලීනව ප්‍රතිඵල ලබා දෙන මෙම විසඳුම සුළු වශයෙන් හෝ මෙරටට ගෙන එමින් තෙල් මත ම යැපීම අවම කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබෙනවා. තෙල් ව්‍යාපාරයේ අතරමැදි බලපෑම මත ලොව බොහෝ රටවල් සූර්ය කෝෂ තාක්ෂණයට පවා යොමු නොවී සිටින අතර මේ නිසා දිනෙක ලොව දෙවන හා තෙවන පෙළ රටවල් රැසකට දිනෙක බලශක්ති සහ ආර්ථික අර්බුදයකට නිතැතින්ම පත් වනු ඇති බව නම් විතර්කයෙන්ම දත හැකියි.

නව අදහස දක්වන්න