ජනාධිපතිවරණය මගහරින්න පොහොට්ටුවෙන් ගුණ්ඩුවක් | දිනමිණ

ජනාධිපතිවරණය මගහරින්න පොහොට්ටුවෙන් ගුණ්ඩුවක්

* ලන්ඩන් ගිය ජනපති හිස තෙල් ගා වැඩ අරඹයි
* පක්ෂයේ වෙනස ගැන රනිල්ගෙන් ඉඟියක්
* වාසිදායක ඡන්දයකට ඒකාබද්ධය ගණන් බලයි

කොළඹ මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සිදුවුණේ චාම් ආකාරයෙන්. ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය ගඩොල් තබා සදාගත් ලිපක දර යොදා ලිප ගිනි දල්වා කිරි ඉතිරවීම සිදුකළා. එම අවස්ථාවට පාඨලී චම්පික රණවක, නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ඒ. එච්. එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු මැති ඇමැති පිරිසක් සහභාගී වී සිටියා. සියලු අවුරුදු චාරිත්‍ර එහිදී චාම් ලෙස සිදුකරනු ලැබුවා.

අවුරුදු චාරිත්‍ර නිම කිරීමෙන් පසුව ජනාධිපතිතුමා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ එහි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහායි. එම සමුළුව 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මංගල සමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, රිෂාඩ් බදියුදීන් ඇමැතිවරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටිනවා. ජනාධිපතිතුමාත් ජයන්ති සිරිසේන මහත්මියත් ඇතුළු පිරිස 16වන සඳුදා උදේ ලන්ඩන් නුවරට සැපත්වුණා.

ලන්ඩන් නුවරදී ද ජනාධිපතිතුමා අවුරුදු චාරිත්‍ර අමතක කළේ නැහැ. ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ පැවැති හිසතෙල් ගෑමේ උලෙළට ජනාධිපතිතුමා සහභාගී වුණා. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල හිමියන් අතින් ජනාධිපතිතුමාගේ හිසතෙල් ගෑම සිදුවුණා. එරට වෙසෙන බෞද්ධ ජනයා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔවුන් හා සුහද පිළිසඳරක යෙදීමට ද ජනාධිපතිතුමාට අවස්ථාව ලැබුණා.

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් හා ජනාධිපතිතුමන් අතර හමුවක් අඟහරුවාදා පැවැත්වුණා. සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම මෙරට විවිධ ආගම්වලට අයත් උදවිය එම සාකච්ඡාවට සහභාගී වී සිටීම විශේෂත්වයක් වුණා. ඔවුන් ජනාධිපතිතුමාගෙන් නොයෙක් ප්‍රශ්න විමසූ අතර ජනාධිපතිතුමා ඒ සියල්ලටම පිළිතුරු දුන්නා. අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති ලබාගන්නා පිරිස් මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා කීවේ වෙබ් අඩවි බොහොමයක් මගින් අසත්‍ය ප්‍රචාර සිදුකරනු ලබන බවයි. එලෙස වගකීම් රහිතව කරගෙන යන අසත්‍ය ප්‍රචාර නිසා රට අපකීර්තියට ලක්වන බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. එයින් රටේ සංවර්ධනය ද අඩාල වන බව ජනාධිපතිතුමා කීවා.

අන්තර්ජාලය හා වෙනත් මාධ්‍ය මගින් ගෙනගිය වැරදි ප්‍රචාර නිසා පසුගිය කාලයේ තමාට ජාත්‍යන්තරයෙන් අනවශ්‍ය පීඩනයක් එල්ල වූ බවත් ඒ සියල්ලට තමා නොසැලී මුහුණ දුන් බවත් ජනාධිපතිතුමා කීවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව සංවිධානය කොට තිබූ පොදුරාජ්‍ය මණ්ඩලීය ආර්ථික සමුළුවට ජනාධිපතිතුමා බදාදා සහභාගී වුණා. එහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ‍ලෝකයේ රටවල් එක්ව 2030දී ළඟාකරගත යුතු තිරසාර සංවර්ධන ඉලක්ක දැනටමත් සම්මත කරගෙන ඇති බවයි. එම ඉලක්ක සපුරාගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය සියලු රටවල් කැපවිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ද ජනාධිපතිතුමා විස්තර කළා. තිරසර සංවර්ධනය සඳහා අමාත්‍යාංශයක් ඇති කිරීමත් නීලහරිත ආර්ථිකයක් සඳහා රජයේ වැඩපිළිවෙළත් ගැන ජනාධිපතිතුමා පොදුරාජ්‍ය මණ්ඩලීය ආර්ථික සමුළුවේ අවධානය යොමු කළා.

තමාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිප ඇතැමුන් ගෙනා විශ්වාසභංගය ඉතා ඉහළින් ජයගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර සිංහල අවුරුද්දට විදේශගත වීමෙන්ද වැළකී සිටියා.

නව වසර නිවාඩුව ගත කිරිම සදහා අගමැතිවරයා සහ බිරිය මෛත්‍රී තෝරා ගත්තේ නුවරඑළිය ප්‍රදේශයයි.අගමැති නිල නිවසට ගිය පිරිස සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කළේද එහිදීයි. විවේකයට මූලිකත්වය දුන්නද ප්‍රදේශයේ දියුණුවට අදාළ සැලසුම් අධ්‍යයනයටද අගමැතිවරයා ක්‍රියා කළා.සංචාරක කර්මාන්තය සදහා යෝජිත නව පුරවරය ඉදිකිරීම පරීක්ෂා කිරීමට ඔහු ගියේ මන්ත්‍රී කේ.කේ.පියදාස සමගයි.

අනතුරුව ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් ගිනස් වාර්තාවක් සදහා නුවරඑළිය අර්තාපල්වලින් නිර්මාණය කළ කේක් ගෙඩිය කැපීමටද අගමැතිවරයා එක්වුණා. පෞරාණික කඩුවකින් කේක් ගෙඩිය කැපීම සිදුවුණා.අනතුරුව මහනුවරට ගිය අගමැතිවරයා නව වසරේ වැඩ ආරම්භ කිරීමට පෙර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සමග මල්වතු අස්ගිරි මහ නාහිමිවරු බැහැදැක දළදා මාළිගාවද වැඳපුදා ගෙන කොළඹ බලා පිටත්වුණා.

අගමැතිවරයාගේ අලුත් අවුරුදු කිරිබත් සංග්‍රහය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අරලිය ගහ මැදුරේදී පැවති අතර ඊට මැතිඇමතිවරු සංස්ථා සභාපතිවරු, ඉහළ නිලධාරීන් හා ප්‍රමුඛ මාධ්‍යවේදීන් රැසක් එක් වී සිටියා.

අනතුරුව සජිත් ප්‍රේමදාස, අකිල විරාජ්, අලවතුවල මෙන්ම චමින්ද විජේසිරි, මරික්කාර්,තුෂාර ඉදුනිල්,බන්දුලාල්,බණ්ඩාරගොඩ, සිඩ්නි ජයරත්න ප්‍රමුඛ පසුපෙළ මන්ත්‍රීවරු සමඟද අගමැතිවරයා එජාප ප්‍රතිසංස්කරණ මෙන්ම ඇමති සංශෝධනයට අදාළව සාකච්ඡා කළා.

"පසුපෙළ ශක්තිමත් කරන්න. ජ්‍යෙෂ්ඨ අයට තනතුරු දෙන්න. එජාප ප්‍රතිසංස්කරණවලට අදාලව ඔබතුමාට දුන් කමිටුතුනේ වාර්තාව අනුව කටයුතු කරන්න. කල්දාන්න එපා. ජනපතිවරණයට තව වසර1 1/2යි තියෙන්නෙ. ජනතාවට සලකන්නත් තරුණ පරපුරට රැකියා දීමටත් වේගවත් සංවර්ධනයටත් මුලපුරමු. ආණ්ඩුවට දැවැන්ත ජනමාධ්‍ය මෙහෙයුමක් අත්‍යවශ්‍යයි. අපි එකතුවෙලා වැඩ කරමු" චමින්ද විජේසිරි ඇතුළු පසුපෙළ සියලු දෙනා කීවේ එකම අදහසක්.

"ඔයාලා එක මතයක ඉන්න එක වටිනවා. කමිටු තුනේ නිර්දේශ අනුවයි එජාප ප්‍රතිසංස්කරණ සිදුවන්නේ. ඇමතිකම්වලට පත් කරන කොට ජනාධිපතිතුමා එක්කත් කතා කරලා වඩාත් හොඳ දේ කරනවා” අගමැතිවරයා කීවා.

“විශ්වාසභංගයෙන් ඔබතුමා අමාරුවේ දාන්නයි ශ්‍රීලනිපයේ සමහරු බැලුවේ. අන්තිමට අමාරුවේ වැටුණේ ඒ අයමයි” ලක්ෂ්මන් කිරිඇල්ල කීවා.

“පොහොට්ටුවේ න්‍යායචාර්ය කෙනෙත් තමයි ආචාර්ය චරිත හේරත්. එයා ළඟදි රූපවාහිනී සංවාදයකදී ඉතා පළල් විග්‍රහයක් කළා. ශ්‍රීලපනිප 16 දෙනා ඇමතිකම් අරන් අගමැති එක්ක වසර 02ක් කටයුතු කළා. මේ ප්‍රශ්න එයාලට ඒ කාලේ මතක් වුණේ නැද්ද කියල චරිත ඇහුවා. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය නිසා එයාල 16 දෙනා තම අනාගතය ගැන බයවෙලා ඉතා ආත්මාර්ථකාමීව විශ්වාසභංගයට පක්ෂ වෙලා දැන් පොහොට්ටුවට පනින්න හදනවා.මේ 16 දෙනාගෙන් ප්‍රවේශම් විය යුතු බව ඇඟවෙන ප්‍රකාශයක් තමයි චරිත හේරත්කළේ. "චමින්ද විජේසිරි කීවා. ඒ ගැන සියලු දෙනාගේ අවධානය යොමු වුණා.

"එජාප කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම ජාතික රජය ඉදිරියට ගෙනියන්න එකඟත්වය දෙනවා. ඒත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙදී ඒ යෝජනාව සම්මත කරගන්න දැන් ඡන්ද කීපයක් මදි කියල ආරංචියි. තීරණාත්මක ඡන්දයක් නම් ඒකට මහින්දත් එන්නලු හදන්නෙ. ඒත් චන්ද්‍රිකාත් ඉන්න නිසා මහින්ද ඒවිද දන්නෙ නෑ" පී හැරිසන් කීව්වා.

ශ්‍රිලනිපය දැන් තුනට කැඩිලා. පළාත් පාලන ඡන්දත් ශ්‍රීලනිපයේ වුවමනාවට කල් දාන්න උදව්කරලා එජාපයත් ඉල්ලංකෑවා" දයා ගමගේ කිව්වා.

"කැබිනට් සංශෝධනය කවදද වෙන්නෙ දන්නෙ දෙයියො තමයි. එජාප ඇමති සංශෝධනයක් කළ නිසා ආයෙත් එජාපයට එහෙම දෙයක් ඕන නෑ. විෂයයන් මාරුවත් ඕන වෙන්නෙ නෑ කියන එකයි එජාපෙ පොදු මතය වෙන්නේ" කිරිඇල්ල කීදේ අගමැතිවරයා ඇතුළු සියලුදෙනාම අනුමත කළා.

"එජාපය තනතුරුවල වෙනසක් සිදුකළ යුතුයි. දක්ෂ අලුත් අයට තැන දෙන්න ඕනෑ. නව මහාලේකම් කවුරු වුණත් බලතල අඩුවේවි. සභාපතිකමටත් අලුත් මුහුණක් දාන්නඕනෑ" අගමැතිවරයා සිය එජාප ප්‍රතිසංස්කරණවලට අදාළව දැවැන්ත ඉඟියක් පළකළා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට 39 වසරක් සපිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව, වායාඋල්පත “නවතිස් සමරුගම” ජනතා අයිතියට පත් කළ දා උදෑසන ජය ශ්‍රී මහා බෝධිය ඉහළ මළුවේ පැවැති විශේෂ පුද පූජා පිංකම්වලට වැඩම කළ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් සහ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා අතර පැවති පිළිසඳරේදී අසන්නට ලැබුණේ කනගාටුදායක පුවතක්. “විහාර දේවාලවල සේවාවන් වෙනුවෙන් පරම්පරා ගාණක් තිස්සේ කැපවුණු පිරිසක් ඉන්නවා. ඒ අය පාරම්පරිකව පදිංචි වෙලා ඉන්නේ මේ අවට විහාර දේවාලගම් 9 කයි. දැන් ඒ ගම්මානවල ඉඩම් පෞද්ගලික නිවාස හදන්න පිටස්තර පුද්ගලයන්ට විකුණන ඉඩම් කොල්ලයක් ක්‍රියාත්මක වෙනවා. මේක නතර කර දෙන්න” අටමස්ථානාධිපති හිමියන්ගේ ඉල්ලීම වුණා. ‘විහාර පළමුගම’, ‘විහාර හල්මිල්ලකුලම’, ‘විහාර මැදවච්චිය’, ‘විහාර බුලන්කුලම’, ‘විහාර තිරප්පනේ’, ‘විහාර කල්ලංචිය’, ‘විහාර කුසියන්කුලම’, ‘විහාර කැප්පෙටියාව’ සහ ‘විහාර ඉලුප්පුකුලම’ එම ගම්මාන නවයයි. “මේ වගේ දෙයක් මම ඇහුවමයි. අපේ ආණ්ඩුව යටතේ එහෙම දෙයක් වෙන්න විදියක් නෑ. මේ තේවාවල යෙදුණු උදවිය මගේ තාත්තගේ කාලේ ඉඳන් රැක බලා ගත්තා.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරගත් පරම්පරාවල උදවියත්, වෙනත් විහාර දේවාල පුද බිම් රැක බලා ගත් අයත් දිවි හිමියෙන් සුරකින්න ඕනෑ. මම මේ ගැන වහාම පරීක්ෂා කර බලන්නම්” සජිත් කීවා. අටමස්ථානාධිපති හිමියන්ගේ ඊළඟ ඉල්ලීම වූයේ මෙම පාරම්පරික ගම්මානවල ජීවත්වන වත්මන් පරපුර වෙනුවෙන් නව උදා ගම්මාන කීපයක් ඉදිකර දෙන ලෙසයි. සජිත් ඊටද එකඟතාව පළ කළා. “හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනෑ මගේ අනුදැනුම, උපදෙස් අනුවයි” උන්වහන්සේ අවධාරණය කළා. “නවතිස් සමරුගම” විවෘත කිරීමෙන් පසුව ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා රජයේ උසස් නිලධාරීන් සමඟ පිළිසඳරේ යෙදී සිටි සජිත් කීවේ “වසර 2020 වෙනකොට දිස්ත්‍රික් මට්ටමින් ගම්මාන 2,500ක් හැදීමේ ලොකු අභියෝගයක් තිබෙනවා. ඒ ඉලක්කය සපුරා ගන්නට නම් දේශපාලන අධිකාරයත්, පරිපාලන අංශයේ නිලධාරීනුත් වේගයෙන් වැඩ කරන්න ඕනෑ. ඉඩම් ‍සොයා ගැනීම, නිවැරදි ප්‍රතිලාභීන් තෝරා ගැනීම වගේම තෝරා ගන්නා අයගේ ජීවනෝපාය, ගොඩ බෝග වගාව වගේම පරිසර සංරක්ෂණය ගැනත් සොයා බලන්න වෙනවා” කියායි.

සිය පවුලේ අය සමග අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකළ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන වැඩ අල්ලන්නට ගාලු ගියේ පවුලේ සාමාජිකයන් ද සමගින්. ඔහු එහි යනවිටත් උළුවිටිකේ පිහිටි එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයට විශාල පිරිසක් එක්ව සිටියා. පැමිණි අය දුන් බුලත් ඇමතිවරයාගේ මේසය මත ගොඩගැසෙද්දී පැමිණි සියලු දෙනාට බුලත් කොළයක එතූ පඬුරක් දී අලුත් අවුරුද්දට සුබ පැතූ ඇමතිවරයා ඔවුන් සියලු දෙනාටම බද්ධ කරන ලද වටිනා අඹ පැළයක් ද දුන්නේ උදා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සෞභාග්‍යමත් වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කරමින්.

ඉරිදා දවසත් ඇමති වජිර ගාල්ලේ ගත කළා. ඉරිදා තමන් හමුවට පැමිණි මාධ්‍යවේදීන් කිහිපදෙනකු හමුවේ අමාත්‍යවරයා මෙසේ කීවා.

'' ''අපේ පාලනයට විරුද්ධව ජනතාව හමුවේ වේදිකාවල කෑ ගහන ඇතැම් අය බොරුවට කෑ ගහන්නේ. ඔවුන් හොඳින්ම දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව 2020 වෙනකන් පවත්වාගෙන යන බව. නමුත් ඔවුන් ජනතාව හමුවේ වෙන කතාවක් කියනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් දිනාගෙන තිබෙන පිළිගත් දේශපාලන පක්ෂයටයි ආණ්ඩුවක් හැදීමට අවස්ථාව ලැබෙන්නේ. ඒ අනුව වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ඉන්නේ අපේ එක්සත් ජාතික පෙරමුණට. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග එක්වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටවූවා. ඉතින් එය ශක්තිමත් රජයක් බව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු විශ්වාසභංගය පරාජය කිරීමෙන් ම අපි පෙන්වූවා."

වජිර ඇමැතිවරයා සඳුදා සිය අමාත්‍යාංශයේ රාජකාරියේ නිරතවූවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් නීතිඥ එස්.ටී.කොඩිකාර මහතා අඟහරුවාදා වැඩ භාරගත්තා. ගාල්ල දිසාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ඔහු ජනාධිපති අතිරේක ලේකම්වරයකු ද වනවා. තොරතුරු තාක්ෂණය ඇතුළු විෂයයන් තුනකට පශ්චාත් උපාධි හිමිකරගෙන සිටින කොඩිකාර මහතා අමාත්‍යාංශයේ වැඩ භාර ගනිමින් කියා සිටියේ රටේ රාජ්‍ය පාලනයේ දී වැදගත්ම අමාත්‍යාංශයක් වන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති දිස්ත්‍රික් පාලනය හා ප්‍රාදේශීය පාලනය නවීන තාක්ෂණය අනුව වඩාත් කාර්යක්ෂම කිරීමට තමන් කැපවී ක්‍රියාකරන බවයි.

එදිනම රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ පැවැති රැස්වීමකට සහභාගී වූ අමාත්‍යවරයාත් ලේකම්වරයා එය අවසන් කර කෙලින්ම ගියේ කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට. එම කාර්යාලයට ඇමතිවරයා යන බව කලින් දන්වා තිබුණේ නැහැ. හදිසියේ ම පැමිණි අමාත්‍යවරයාත් නව ලේකම්වරයාත් හිටපු ලේකම් නීල් ද අල්විස් මහතාත් දුටු නිලධාරීන් පුදුමයට පත්වෙද්දී අමාත්‍ය වජිර අබේවර්ධන කාර්යාලය පුරා ඇවිදිමින් කොළඹ ඉඩම් පිළිබඳ ලේඛන ගබඩා කර ඇති ආකාරය පරීක්ෂා කර බැලුවා.

'' මේ කාර්යාලයේ තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. වහළට මුක්කු ගහලා. රටේ වටිනාම ඉඩම් පිළිබඳ ලේඛන තබා තිබෙන ආකාරය කිසිසේත්ම සුදුසු නැහැ. මේවා පුස්කාලා, දිරලා, මීයෝ කාලා. මේ කාර්යාලය වහාම වෙනස් කරන්න ඕනෑ. පැත්තක් තෙමෙනවා. පොත් උඩ නැගලා තවත් උඩින් තියෙන පොත් ගන්නවා. අපි මේ කාර්යාලය වෙනත් තැනකට ගෙනිහින් වහාම නවීන තාක්ෂණය අනුව මේ ලේඛන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් සෑදිය යුතුයි."

අමාත්‍යවරයා එහි දී කියා සිටියා.

ඒ මොහොතේ ම ලේකම්වරයා සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් දුන් ඇමතිවරයා කියා සිටියේ ලේඛන ආරක්ෂා කිරීම සඳහා අලුතෙන් කණ්ඩායමක් බඳවාගෙන පුහුණු කළ යුතු බවයි.

බ්‍රහස්පතින්දා උදෑසන ඇමති වජිර අබේවර්ධන අරලියගහ මන්දිරයට ගියේ අලුත් අවුරුදු තේ මේසයට සහභාගී වීමටයි. එහි දී අගමැති රනිල් වික්‍රමසිංහ වජිර අබේවර්ධන අමාත්‍යවරයාට ලොකු වැඩක් පැවරුවා.

ඒ වෙසක් උත්සවය රට පුරාම මහ ඉහළින් සැමරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ඉටුකරන ලෙසයි. පකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සිට වැඩම කරවනු ලබ සර්වඥ ධාතූන් වහන්සේලා සහ ඉන්දියාවේ සාරානාත් වරනාසී සර්වඥ ධාතූන්වහන්සේලා දිස්ත්‍රික්ක හතක ප්‍රදර්ශනය කිරීමේ කටයුතු සංවිධානයේ වැඩි බරක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරුණා.ඒ අනුව වෙසක් සතිය මුළුල්ලේ සර්වඥධාතූන් වහන්සේලා ගාල්ල දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක හතක ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ පසුගිය දහ අටවෙනිදා රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සඳහා කොළඹ දී රැස්වූණා. මෙම හමුවේ දී ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20වැනි සංශෝධනය, පාර්ලිමේන්තු කල්තැබීම සහ ශ්‍රීලනිප පක්ෂ අර්බුදය නිසා රට අර්බුදයට යෑම පිළිබඳව අවධානය යොමු වුණා.

”පාර්ලිමේන්තුවට විශේෂ පනතක් සහ ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් වීමට තිබිය දී පාර්ලිමේන්තු කල් තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්. විගණන පනත අප්‍රේල් 19 පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න නියමිතව තිබුණා. මේක මාස ගාණක් කල් දාපු පනතක්. මේ ආණ්ඩුව වැදගත් දේවල් හැම එකක්ම පස්සට දානවා. අනික අපේ 20 සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න තිබුණෙත් 19වෙනිදා. දැන් හැම එකක්ම කල් යනවා.” බිමල් රත්නායක කියා සිටියා. ”පාර්ලිමේන්තුව කල් දාන්න සිදු වුණේ ශ්‍රීලනිප පක්ෂ අර්බුදය නිසයි. මේ පාර්ලිමේන්තු සභාවාරයේ දී ශ්‍රීලනිප කණ්ඩායම විපක්ෂයේ වාඩි වෙන්න තමයි සැලසුම තිබුණේ. නමුත් ජනාධිපති කල්පනා කළා, තමන් රටේ නැති වෙලාවක පක්ෂයේ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන්න එක එයාට වෙන දේශපාලන අවුලක් කියලා. ඒ වගේම එයාට පොදු රාජ්‍ය මණ්ඩල නායකයින්ටත් මුහුණ දෙන්න බැරි වෙන තත්ත්වයක්” ටිල්වින් සිල්වා කියා සිටියා. ”පක්ෂයේ අර්බුද යටගහන්න රටේ නායකයා මුළු රටම අර්බුදයට යවනවා. ජනාධිපති පක්ෂය බදාගෙන මේ වෙනකන් කළෙත් රට අර්බුදයට යවන එක. පාර්ලිමේන්තුව කියන්නේ ඒ අයම කියන විදියට රටේ ජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදයට වගකියන රටේ උත්තරීතර ආයතනය. එහෙම ආයතනයක් තමන්ගේ පක්ෂයේ අර්බුදය විසඳගන්න තමන්ට ඕන ඕන වෙලාවට කල් තියනවා. මේක ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න ආපු අයම ප්‍රජාතන්ත්‍ර විරෝධීව වැඩ කරනවා.” පක්ෂ නායක අනුර දිසානායක පෙන්වා දුන්නා.

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුව කල්තැබීමත් සමඟ පසුවට තැබීමට ජවිපෙට සිදුවුණා.මේ සංශෝධනයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමු වී ති‍බෙනවා. ”20 සංශෝධනය පාර්ලිමේන්තුවට දාන්න වෙන්නේ මැයි මාසයේ මුල් සතියේ රැස්වෙන පාර්ලිමේන්තු සභාවාරයේදී. දැනටමත් 20 ගැන සංවාදයක් ඇතිවෙලා තියෙනවා. සමහරු මේක අල්ලගෙන ආපහු අපිට අවලාද ගහන්න පටන් අරගෙන.” විජිත හේරත් කියා සිටියා. ”ඔව්, ඇතැම් බංකොලොත් දේශපාලන විචාරකයෝ මේකත් අපිව රනිල්ට හේත්තු කරන්න මාතෘකාවක් කරගන්න හදනවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටනේ අතීතය හිතාමතා අමතක කරලා දාලා තමයි මේ විචාරකයෝ කතා කරන්නේ.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ උළෙලට සහභාගි වූයේ පොළොන්නරුවේදීයි. ගිරිතලේ දියබෙදුම ඥානෝද්‍යාරාමයේ හිසතෙල් ගෑමේ උත්සවයට රාජපක්ෂ මහතා සමඟ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී පිරිසක්ද එක්ව සිටියා. බැසිල් රාජපක්ෂ, එස්. එම්. චන්ද්‍රසේන, ලොහාන් රත්වත්තේ, රොෂාන් රණසිංහ සහ එස්. එම්. රංජිත් මහත්වරුන් එයට එක්වුණා. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කීවේ මැයි දිනය සැමරීමට වෙනත් දිනයක් නියම කිරිමේ ආණ්ඩුවේ තීරණයේ වරදක් තමන් නොදකින බවයි. මැයි දිනය ගැන මෙන්ම ආගමික සංස්කෘතික කටයුතු ගැනද අවධානය යොමු කළ යුතු බව රාජපක්ෂ මහතා කීවා.

එහිදී නැඟූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා කීවේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් 16 දෙනා භාර ගැනීමට තම පක්ෂය සූදානමින් සිටින බවයි.

අවුරුදු දින තංගල්ලේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට රැස් වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් එහිදී දේශපාලන ගණන් බැලීමක්ද කළා. එහිදී ඔවුන්ගේ තීරණය වූයේ ජනාධිපතිවරණයකට මුහුණ දීමට වඩා මහ මැතිවරණයකට මුහුණ දීම තමන්ට වාසිදායක බවයි. ජනාධිපතිවරණයකදී එජාප අපේක්ෂකයාට දිස්ත්‍රික්ක 13 ක වාසිදායක තත්ත්වයක් පවතින බව ඔවුන් අතර ඇතැමුන් කීවා. යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, මඩකළපුව, මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, කොළඹ, පුත්තලම දිස්ත්‍රික්ක ඒ අතර වන බව කියැවුණා. කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල, අම්පාර තමන්ට වාසිදායක බව ඔවුන්ගේ තක්සේරුව වී තිබුණා. එජාපයට වැඩි වාසි හිමිවන ජනාධිපතිවරණයකට නොයා යුතු බව ඔවුන්ගේ නිගමනය වුණා.

මහ මැතිවරණයකදී සුළු ජන වර්ග නියෝජනය කරන පක්ෂවලට ඡන්ද කැඩෙන නිසා ජනාධිපතිවරණයේ තිබෙන වාසිය එජාපයට අහිමි වන බව ඔවුන්ගේ තක්සේරුව වුණා. එම නිසා ජනාධිපති ක්‍රමය අහෝසිකොට මහ මැතිවරණයකට යාමට උපක්‍රම තෝරාගැනීමට පොහොට්ටු පක්ෂයේ තීරණය වී තිබෙනවා.

ඒ අනුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන්නේ නම් එක් කොන්දේසියක් යටතේ එයට පක්ෂවන බවයි. එම කොන්දේසිය නම් ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම මහ මැතිවරණයක් පැවැත්වීමයි. එවිට ඇතිවන විධායක අගමැති තනතුරට තරග කිරීමේ අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතාටද හිමිවනවා.

නව අදහස දක්වන්න