යල්පැන ගිය ක්‍රමවේද ඉවත දමා අධ්‍යාපනය ගුණාත්මකව දියුණු කරනවා | දිනමිණ

යල්පැන ගිය ක්‍රමවේද ඉවත දමා අධ්‍යාපනය ගුණාත්මකව දියුණු කරනවා

 යල්පැන ගිය ක්‍රමවේද පසෙකලා අධ්‍යාපනයේ ගුණාත්මක බව දියුණු කිරීමේ කාර්යය දිගටම පවත්වාගෙන යන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ පැවැසුවේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ iii වන ශ්‍රේණියේ නවක විදුහල්පතිවරුන් 37 දෙනකුට විදෙස් පුහුණු සංචාර සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගියදා පැවැති උත්සවයට එක්වෙමිනි.

විදෙස් පුහුණු සංචාරවල නිරත වීමට නියමිත නව විදුහල්පතිවරුන්ගෙන් අමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටියේ, මෙරට අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක බව තව තවත් වර්ධනය කිරීම සඳහා එම පුහුණුවේදී ලබාගන්නා දැනුම සහ අත්දැකීම් හොඳින් අදේශ කරන ලෙසයි.

යල්පැන ගිය සහ රාමුගත වූ ක්‍රමවේදයන් සහ සංකල්පවලින් ඔබ්බට ගිය නව සංකල්ප සහ සැලැසුම් මෙන්ම තරුණ අදහස් සහ තරුණ ජවය ද මෙරට අධ්‍යාපන පද්ධතියේ උන්නතිය සඳහා බෙහෙවින් වැදගත් බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසීය.

එමෙන්ම, හුදු සංදර්ශන සහ මාධ්‍ය ප්‍රචාරයන් වැඩි වශයෙන් නොවූව ද රටේ අධ්‍යාපන පද්ධතිය දියුණු කිරීමට අදාළ ක්‍රමවේද රැසක් අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කර ඇති බවද කී ඇමැතිවරයා, එම කටයුතු පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දුන්නේය.

නව අදහස දක්වන්න