විශ්වාසභංගය ස්ථිරවම පරාජය කරනවා | දිනමිණ

විශ්වාසභංගය ස්ථිරවම පරාජය කරනවා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන විශ්වාසභංගය ස්ථිර වශයෙන්ම පරාජයට පත්කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

එම විශ්වාසභංගය පරාජයට පත්කිරීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාව පාර්ලිමේන්තුව තුළ පවතින බව පෙන්වාදෙන ඒ මහතා ජනවාරි 8 දා ජයග්‍රහණයට එක්වූ සියලු කණ්ඩායම් සිටින බවද ඒ සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද කියා සිටී. දෙතුන් දෙනෙකුගේ ක්‍රියාවලියක් හරහා ජනවාරි 8 වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න ඉඩ නොතබන බවද හෙතෙම පෙන්වාදෙයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (3) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. අගමැතිවරයා පරාජයට පත්කොට එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයන් වෙනත් කඳවුරකට පාවා දෙන්න එක්සත් ජාතික පක්ෂය කිසිසේත්ම කටයුතු නොකරන බවත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කළ බවද හෙතෙම පෙන්වා දුන්නේය. යම් හෙයකින් විශ්වාසභංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් විශ්වාසභංගය ඉදිරිපත් කළ පාර්ශවයට ආණ්ඩුවක් පිහිටුවිය හැකිදැයි විමසීමේ හැකියාව ජනාධිපතිවරයා සතු බව පෙන්වාදුන් ඒ මහතා ඒ අතරතුර රජයක් පිහිටුවීමේ හැකියාව තමන් සතු බවට පවසමින් වත්මන් ආණ්ඩුවට හෝ එක්සත් ජාතික පක්ෂයට යෝජනාවක් ඉදිරිපත් කළහැකි බවද එය පවතින තත්ත්වය බවද පෙන්වා දුන්නේය.

මහින්ද අලුත්ගෙදර සහ චන්දිමා කරුණාරත්න

නව අදහස දක්වන්න