මෙතැනින් කොතැනටද? | දිනමිණ

මෙතැනින් කොතැනටද?

‘ජාතික ආණ්ඩුවේ ඉදිරි පවැත්ම’ අද දේශපාලන ක්ෂේත්‍රය තුළ කථාබහ කරන ප්‍රධානම මාතෘකාව බවට පත්ව තිබේ. යහපාලන ආණ්ඩුව මෙතැනින් කොයිබටද යන ප්‍රශ්නය මතුවීම කෙරෙහි බලපෑ ප්‍රධානම හේතු සාධකය වන්නේ නොබෝදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේ දී යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දෙදෙනා අතර හටගත් ආරවුලය. එමගින් පැහැදිලි ලෙසම පෙන්නුම් කළේ, සම්මුති ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම බෙහෙවින්ම වෙහෙසට පත් වී තිබෙන බවය. දෙපාර්ශ්වයටම සම්මුති ආණ්ඩුව එපා වී තිබෙන බවය. පැටලී තිබෙන මරඋගුලින් බේරීමට දෙපාර්ශ්වයටම දැඩි ඕනෑකමක් තිබෙන බවය. පළාත් පාලන මැතිවරණයෙන් පසුව තමන්ගේ පක්‍ෂයෙන් පමණක් සමන්විත තනි ආණ්ඩුවක් පිහිටුවන බවට දෙපාර්ශ්වයම ප්‍රසිද්ධියේ ජනතාව ඉදිරියේ කියා සිටීමෙන් පෙන්නුම් කළේ වෙනත් දෙයක් නොව සම්මුති ආණ්ඩුව කෙරෙහි දෙපාර්ශ්වය තුළම මුල්බැස ගෙන තිබෙන දැඩි අකැමැත්ත සහ එයින් මිදීමට තිබෙන බලවත් වුවමනාවය.

මෙම ආරවුලට බලපෑ හේතු මොනවාද යන්න නිශ්චිත ලෙස කිසිදු පාර්ශ්වයක් ප්‍රකාශ නොකළද දෙපාර්ශ්වය එකිනෙකාට එල්ල කරගත් ප්‍රහාරවලින් පැහැදිලිවම පෙනී ගියේ සම්මුති ආණ්ඩුව තුළ ලෙහෙසියෙන් සහ පහසුවෙන් සමථනය කළ නොහැකි විසම්මුතියක් හටගෙන තිබෙන බවය. මෙම විසම්මුතිය කළමනාකරණය කර ගැනීම සඳහා සාකච්ඡාව, සම්මන්ත්‍රණය සහ සමථනය වැනි සාමකාමී මෙවලම් භාවිතය ගැනීම වෙනුවට මීළඟට දැකිය හැකි වූයේ දෙපාර්ශ්වය විසින්ම සතුරාට ප්‍රහාර එල්ල කිරීම සඳහා ‘මානසික සංග්‍රාමය’ නමැති යුද්ධ උපක්‍රමය භාවිතයට ගන්නා ආකාරයයි.

සතුරු දෙපාර්ශ්වය දෙකක් ගැටුමකට මැදිහත් වූ විට අවි ආයුධ භාවිත කරමින් මුහුණට මුහුණ ලා කරන සන්නද්ධ අරගලයට ප්‍රවිෂ්ට වීමට ප්‍රථමයෙන් සතුරා බියවැද්දීම සඳහා භාවිතයට ගන්නේ මෙම යුද්ධ උපක්‍රමයයි. මෙය කරන්නේ වාග් සංග්‍රාම මගිනි. නැතිනම් වචන වලිනි. එසේ වුවද භාවිත කරන වචන කාලතුවක්කු සහ මල්ටිබැරල් වැනි බර අවිවලට සමාන වේ. මූලිකම අරමුණ වන්නේ වචනවලින් කරන මාරාන්තික තර්ජන මගින් ප්‍රථමයෙන් සතුරා මානසික වශයෙන් අඩපණ කොට දෙවනුව එල්ල කරන බර අවි ප්‍රහාර මගින් සතුරා විනාශ කර දැමීමය.

ගෙවී ගිය සති දෙක තුන තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන පොරපිටියේ දැකිය හැකි වූයේ ඉහත දැක්වූ ආකාර මානසික සංග්‍රාමයක යෙදෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එකිනෙකා මරා ගැනීමේ බිහිසුණු බල අරගලයක යෙදී සිටින ආකාරයයි. එසේ වූවද සටන් පෙරමුණ දෙස බලන විට පැහැදිලිවම පෙනී ගියේ මානසික සංග්‍රාමයේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ලෙස නියැළුණේ එක්සත් ජාතික පක්‍ෂයට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බවය. එක්සත් ජාතික පක්‍ෂය අනුගමනය කළේ සතුරාට පහර දෙනවාට වඩා තමන් ආරක්‍ෂා වීමේ ප්‍රතිපත්තියක්ය. පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිරන්තරයෙන්ම කියා සිටියේ සම්මුති ආණ්ඩුව ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳය. පක්‍ෂයේ සමහර මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයෙන් පසුව සම්මුති ආණ්ඩුවට ආයුබෝවන් කියා එක්සත් ජාතික පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවන බවය. මෙම ප්‍රකාශ කිසිසේත්ම සංග්‍රාමික ප්‍රකාශ නොවීය. එකට එක කිරීම සඳහා කරන ලද වහසිබස් දෙඬීමේ තත්ත්වයක් පෙන්නුම් කිරීම හැරුණ විට වෙනත් දෙයක් එමගින් පෙන්නුම් නොකළේය.

මෙයට පරස්පරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අනුගමනය කළේ ඉතාම දැඩි ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක්ය. එහි පෙරමුණ ගත්තේ ජනාධිපතිවරයාය. ඔහුගේ අංක එක ඉලක්කය වූයේ එක්සත් ජාතික පක්‍ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයාය. දූෂණ විරෝධය එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව දියත් කළ සංග්‍රාමයේ මූලික තේමාව විය. මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය අල්ලා ගෙන ආරම්භ කළ වාග් ප්‍රහාර අවසන් වූයේ එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මට්ටමේ සිටින බොහෝ දෙනා හොරුන් ලෙස හංවඩු ගසමින්ය. ජනාධිපතිවරයා කළ සමහර ප්‍රකාශ මගින් අනියම් ආකාරයෙන් අගමැතිවරයාටද එම චෝදනාව එල්ල කළ ආකාරය දැකිය හැකි විය. සම්මුතිවාදී ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්‍ෂය පන්නා දමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට තමන් සමඟ එක්වන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායමට සහ අනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට විවෘතව ආරාධනා කිරීමට තරම් ජනාධිපතිවරයා දුරදිග ගියේය. පළාත් පාලන මැතිවරණයෙන් පසුව සම්මුති ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සම්බන්ධයෙන් ඉතාම දැඩි තීන්දු තීරණ කිහිපයක් ගන්නා බව ඔහු ඉතාම දැඩි ලෙස කියා සිටියේය. හැකිනම් බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පවත්වන මෙන් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ට ඔහු අභියෝග කළේය.

ජනාධිපතිවරයාගේ මානසික සංග්‍රාමයේ දෙවන ඉලක්කය වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකකාරකාදීන්ය. එක්සත් ජාතික පක්‍ෂයට ප්‍රහාර එල්ල කළ ආකාරයටම ජනාධිපතිවරයා එම පක්‍ෂයේ නායකයන්ටද ප්‍රහාර එල්ල කළේය. එම පක්‍ෂයේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඔහු හැඳින්වූයේ ප්‍රභූ හොරුන් ලෙසය.

මානසික සංග්‍රාමයේ අත්‍යවශ්‍යම කොන්දේසියක් වන්නේ ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතයට ගන්නා වචන අතිශය පරෙස්සමකින් තෝරා ගැනීම සහ අතිශයින්ම සුදුසු අවස්ථාවක දී හා තැනක දී එම වචන නිවැරදිව සහ පරෙස්සමින් භාවිතයට ගැනීමය. ජනාධිපතිවරයා අසාර්ථක වන්නේ මෙතැනදීය. ඉවක් බවක් නැතිව කරන ලද වාග් සංග්‍රාමයෙන් සිදු වූයේ ජනාධිපතිවරයාගේ දේශපාලන හැසිරීම ගැන ජනතා විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වීමය. ජනාධිපතිවරයා සටන් කරන්නේ තම විරුද්ධවාදීන් කෙරෙහි හටගත් හුදු ක්‍රෝධයෙන් සහ වෛරයෙන් මිස සැබෑ දේශපාලන යථාර්ථයක් සඳහා නොවන බව පැහැදිලිවම පෙනී ගියේය. එයට හේතු වූයේ එකම කරුණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් එකිනෙකට පටහැනි අදහස් ප්‍රකාශ කරමින් තමන් විසින් තමන් නිෂේධනය කර ගැනීමය.

නිදසුන් ලෙස දූෂණ විරෝධී ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට තමන් සමඟ එක්වන ලෙස ආරාධනා කරන විට එම මන්ත්‍රීවරුන්ගෙන් 30 ට වැඩි ප්‍රමාණයකට දූෂණ හෝ වෙනත් අපචාරී ක්‍රියාවන් හා අදාළ වෝදනාවන්ට ලක් වී අධිකරණ ක්‍රීයාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කරන ලද නිර්දේශ අන්තර්ගත ලිපිගොනු ඔහු අත තිබෙන බව ඔහුට අමතක විය. අනෙක් අතට ඒ වනවිට ඔහුගේ පාර්ශ්වය තුළම හොරකම් සහ වෙනත් දූෂණ චෝදනා එල්ල වූ මැති ඇමතිවරුන් රාශියක් සිටින බව ඔහුට අමතක විය. එයාකාරයටම බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කරන ලද අභියෝගය අගමැතිවරයා විසින් බාරගෙන විවාදයට දින නියම කළ විට ඔහු එය හාස්‍යයට ලක් කළේය. මෙයාකාර ප්‍රතිවිරෝධතා සහගත ක්‍රියාවලින් සිදුවූයේ අවසානයෙදී ජනාධිපතිවරයා මානසික සංග්‍රාමයෙන් පරාජයට පත්වීමය. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මගින් මනාව පෙන්නුම් කළේ එම අවාසනාවන්ත පරාජයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා හැටියට ජනාධිපතිවරයාට හිමිවූයේ ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 8.9 ක ප්‍රතිශතයකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා හැටියට 4.4 ක ප්‍රතිශතයකි. දෙකෙහිම ඒකාබද්ධ එකතුව සියයට 13.3 ක ප්‍රමාණයකි. මෙය යාන්තමින් ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ටිකක් වැඩිවිය.

මානසික සංග්‍රාමයෙන් ජනාධිපතිවරයා පරාජයට පත්වූයේ ඇයි? මේ සම්බන්ධයෙන් බලපෑ හේතු සාධක කිහිපයක් විය. මෙයින් එකක් වූයේ ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමට වඩා තමන්ගේ පෞද්ගලික බලය පක්‍ෂය තුළ මෙන්ම ආණ්ඩුව තුළද තහවුරු කර ගැනීම ඉලක්ක කරගෙන තම ප්‍රහාරක සංග්‍රාමය දියත් කර තිබෙන බව ජනතාවට පෙනී යාමය. 2015 වර්ෂයේ දී බලයට පත් වූ අවස්ථාවේ දී ජනාධිපති තනතුර සහ ඒ වටා එක් රැස් කර තිබෙන බලය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැරූ ස්ථාවරයට ඔහුගේ අලුත් හැසිරීම මුළුමනින්ම පටහැනි විය. පැහැදිලිවම පෙනී ගියේ මුල් තත්ත්වයෙන් වෙනස් වී අලුත් ගමනක් යාමට ජනාධිපතිවරයා දැන් උත්සාහ ගන්නා බව සහ එම ගමනේ තීරණාත්මක සාධකය ලෙස තමන්ගේ පෞද්ගලික බලය වැඩිකර ගැනීම අත්‍යවශ්‍යම දෙය ලෙස ජනාධිපතිවරයා සලකන බවය.

අවුරුදු 40 ට ආසන්න කාලයක් විධායක ජනාධිපති ආඥාදායකත්වයෙන් බැට කා සිටින ජනතාව අපේක්‍ෂා කළේ රාජ්‍ය පාලනයේ දී සංවරණය කරන ලද බලයක් ක්‍රියාවට නැංවීම විනා එක් පුද්ගලයෙක් වටා බලය ඒකරාශී කරන ලද ඒකතන්ත්‍ර අසහාය පාලනයක් නොව්.

ප්‍රංශ ජාතික දේශපාලන චින්තකයකු වූ චාල්ස් මොන්ටෙස්ක්‍යු ප්‍රකාශ කළ දේශපාලන නියමය මෙහි දී සිහිපත් කළ යුත්තේ එබැවිනි. ඔහු සඳහන් කළ ආකාරයට, ‘සදාතනික අත්දැකීම් මගින් අපට පෙන්නුම් කරන්නේ පුද්ගලයකුට බලය පවරා දුන් පසු ටික කාලයක් ගතවන විට එම පුද්ගලයා විසින් බලය අවභාවිත කිරීමට පෙළඹෙන බවය. එය නතර කළ හැක්කේ ඒ හා සමාන බලයක් මගින් එම බලය මර්ධනය කළවිට පමණි’. ජනතාව පළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළේ මෙම දේශපාලන නියමය අනුවද යන්න කල්පනා කර බැලිය යුතුය.

ජනාධිපතිවරයා අසාර්ථක වීම කෙරෙහි බලපෑ දෙවන හේතුව වන්නේ සටන් කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ නොකර සටනට යෑමය. සටන් කිරීමේ කලාවේ පදනම් මූලධර්මය වන්නේ සතුරා තමන්ට වඩා බලවත් නම් සටනට නොයා යුතු බවය. සමාන බලයක් නම් තමන්ගේ බලය වැඩිකර ගන්නා තුරු සතුරා සමඟ උපක්‍රමශීලීව කල් මැරිය යුතු බවය. සතුරා දුබල නම් පමණක් සටනට යා යුතු බවය. මේ කුමන තත්ත්වයක් යටතේ වූවද සටනට යන්නේ නම් මැකියාවලී ‘කුමාරයා’ කෘතිය තුළ ඉදිරිපත් කරන තිබෙන සිංහ-නරි න්‍යාය මැනවින් දේශපාලන බල අරගලයේ යෙදෙන අය ප්‍රගුණ කළ යුතුවේ.

මැකියාවලී දක්වන ආකාරයට, ‘දේශපාලනයේ යෙදෙන කුමාරවරුන් අනිවාර්යයෙන්ම සිංහ-නරි න්‍යාය දැන සිටිය යුතුය. සිංහයා කැලේ සිටින ශක්තිමත්ම සතාය. ඔහු වෘකයන්ට බය නැත. නරියා කැලේ සිටින සතුන් අතුරින් කපටිම සතාය. එසේ වුවද ඔහු වෘකයාට බයය. සිංහයා ශක්තිමත් වූවද කපටි නැති බැවින් ඔහු ඇල්ලීම පිනිස අටවා තිබෙන උගුල්වලට හසු වේ. නරියා උගුල්වලින් බේරී යාමට කපටි වුවද වෘකයාට හසු වූ විට මැරුම් කෑමට සිදුවේ. මෙයින් පෙන්වා දෙන්නේ කුමාරයා තමන්ගේ සතුරන් සමඟ සටන් සටන් කොට ඔවුන් පැරදවීමට තරම් ශක්තිමත් විය යුතු බවය. අනෙක් අතින් තමන් ඇල්ලීම සඳහා අටවා තිබෙන උගුල්වලින් බේරී යාමට තරම් කපටි නුවණකින් යුක්තවිය යුතු ය. එකක් නොමැතිව අනෙකින් ඇති වැඩක් නැත. කුමාරයා කපටි නුවණක් නැතිව සිංහයකු වීමට ගියහොත් බොරු සිංහයකු බවට පත් වී සතුරන් අතින් මැරුම් කෑමට සිදු වේ. එයාකාරයටම කපටි නුවණ තිබුණද සිංහ ශක්තිය නොමැත්තේ නම් එහිදීද වෘකයින්ට හසු වී මැරුම් කෑමට සිදු වේ’. පැහැදිලිවම පෙනී ගිය දෙය වූයේ මෙම න්‍යාය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව ජනාධිපතිවරයා බල අරගලයේ යෙදුණ බවය. එවැනි තත්ත්වයක් තුළ සටනින් පරාජය වීම කිසිසේත්ම පුදුමයට හේතුවක් නොවේ.

ජනාධිපතිවරයා අසාර්ථක වීම කෙරෙහි බලපෑ අනෙක් හේතුව තේරුම් ගැනීම පිණිස මෙයට වසර 3000 ට පමණ පෙර දී ග්‍රීක දේශපාලන දාර්ශනිකයකු වූ පෙලේටෝ තම ‘සමූහාණ්ඩුව’ කෘතිය තුළ දක්වා තිබෙන අදහස ප්‍රයෝජනවත් වේ. ‘ මා හිතවත් ගල්‍යුකෝන් මිත්‍රය, අප විසින් විස්තර කරන ලද සමාජය යථාර්ථයක් වීමට නම් සහ අද දවසේ ආලෝකය අප දැකීමට නම්, අපි විසින් රජවරුන් ලෙස හඳුන්වන අය දාර්ශනිකයන් විය යුතුය. දේශපාලනය සහ දර්ශනය එක්තැන් කළ හැකි වන්නේ එමගින් පමණි. එබැවින් දාර්ශනිකයින් පාලකයින් වනතෙක් හෝ පාලකයින්ට දර්ශනයේ සාරය අන්තර්ග්‍රහනය කිරීමට හැකිවන තෙක් රාජ්‍යයන් මුහුණ දී ඇති අර්බුදවලින් මිදීමට ඒවාට නොහැකි වනු ඇත’.

මෙතැනින් කොයිබටද? කොතැනට වුණත් යාමට ප්‍රථමයෙන් ජනාධිපතිවරයා විසින් එක් දෙයක් කළ යුතුය. ඒ වූ කලී වෙනත් දෙයක් නොව; අපේ සල්ලි වියදම් කොට, අපේ ඡන්දයෙන් බලයට පත් කළ ජනාධිපතිවරයා අපිට මෙහෙම කළේ ඇයි යනුවෙන් සෑම යූ. ඇන්. පී. ප්‍රධාන ජනතාවගේ සිත් තුළ පවතින වේදනාව, කළකිරීම හා පශ්චත්තාපය නැතිකොට හොඳ හිත වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීමය. එසේ නැතිව මෙතැනින් එහාට ඉදිරි ගමනක් යහපාලනයට තිබේයැයි කිසිසේත්ම සිතිය නොහැකිය.

නව අදහස දක්වන්න