බරපතළ වංචා-බැඳුම්කර කොමිසන් වාර්තා දෙමළ සහ ඉංග්‍රීසි බසින් නෑ | දිනමිණ

බරපතළ වංචා-බැඳුම්කර කොමිසන් වාර්තා දෙමළ සහ ඉංග්‍රීසි බසින් නෑ

ස්වර්ණා විජේකෝන්
රෝෂන් තුෂාර
චමීර ඇල්ලදෙණිය

බරපතළ වංචා දූෂණ මහා පරිමාණ අපරාධ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් සභා වාර්තාව හා බැදුම්කර පිළිබඳ ජනාධිපති වාර්තා දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් නොතිබීම හේතුවෙන් පාර්ලිමේන්තු විවාදය කල්තැබීමට කතානායකවරයා ඊයේ (20) කටයුතු කළේය.

අදාළ වාර්තා දෙමළ, සිංහල හා ඉංග්‍රීසි භෂාවලින් පරිවර්තන ලබාදීමට නොහැකිවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව කතානායකවරයා සඳහන් කළේය.

කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (20) රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභා‍වේ කටයුතු ආරම්භ විය.

බැඳුම්කර වාර්තාව හා බරපතළ වංචා දුෂණ ජනාධිපති කොමිසන් වාර්තා පිළිබඳ කල් තැබූ විවාදය ආරම්භ කරමින් කතා කළ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා

“මෙම බැඳුම්කර වාර්තාව දෙමළ භාෂාවෙන් ලබාදී නැහැ. පරිවර්තන නොමැතිව මේ විවාදය කරන්න බැහැ.

වසුදේව නානායක්කාර මහතා

“බැඳුම්කර වාර්තාව ඉංග්‍රීසියෙන් තිබෙන්නේ.

සුමන්තිරන් මහතා

“බැදුම්කර වාර්තාව ගැන පමණක් මට කතා කරන්න බැහැ. අනෙක් වාර්තා ගැනත් කතා කළ යුතුයි. නමුත් මේ වාර්තා තිබෙන්නේ සිංහල භාෂාවෙන් පමණයි. මට නොතේරෙන භාෂාවක් කියවා විවාද කරන්න මට බැහැ. බැදුම්කර වාර්තාවයි මහාපරිමාණ වංචා දූෂණ ජනාධිපති වාර්තාව ගැනයි මා කතා කළ යුතුයි.

දිනේෂ් ගුණවර්ධන මහතා

“ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙනවා නම් විවාද කරන්න පුළුවන් කියා මීට පෙර එකඟ වුණා.

සුමන්තිරන් මහතා

“බැඳුම්කර වාර්තාව ඉංග්‍රීසියෙන් තිබෙනවා. නමුත් බරපතළ දූෂණ වංචා වාර්තාව සිංහලෙන් තිබෙන්නේ. අපි එකක් ගැන පමණක් බැලිය යුතු නැහැ.

කතානාකවරයා

“සුමන්තිරන් මහතා කියන කතාව ඇත්ත. මොකද තමන් දන්නා භාෂාවෙන් විවාද කිරීමට අවස්ථාව තිබෙනවා. එසේ නම් සභාව කල් තබන්න මන්ත්‍රීවරුන් එකඟද?

පිටු අටදහසක් පමණ මේ වාර්තාවලට අඩංගුයි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට මේ කාර්ය කිරිමට කාලයක් අවශ්‍යයි. මන්ත්‍රීවරුන් එකඟ නම් සභාව එකඟ නම් වෙනත් දවසකට විවාදය කල් තබන්න මා යෝජනා කරනවා.

පාර්ලිමේන්තුව අද (21) පස්වරු 1.00 යළි රැස්වෙයි. 

නව අදහස දක්වන්න