මහින්දානන්දට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් | දිනමිණ

මහින්දානන්දට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක්

සිරන්ජනි කුමාරි

නිල කටයුත්තකට යොදා ගැනීමේ මුවාවෙන් දාම් බෝඩ් හා කැරම් බෝඩ් ඉන්දියාවෙන් ආනයනය කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට රුපියල් 53, 113, 975.17ක් පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ ඊයේ (19) සංශෝධිත පැමිණිල්ලක් ගොනු කළේය.

තාක්ෂණික දොෂයක් උද්ගතවීම හේතුවෙන් 59720 දරන නඩුව ඉල්ලා අස් කර ගත් අල්ලස් කොමිසම දෙවන චුදිත වන ගලගෙදර අජිත් නිශාන්ත ගුණසේකර නමැත්තා නව පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස සඳහන් කරමින් මේ සංශෝධිත පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කරනු ලැබිණ.

මේ වන විටත් මේ සිද්ධියට අදාළව නඩුවක් පවරා ඇති හෙයින් පැමිණිල්ලට මේ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන බව පැවැසූ මහෙස්ත්‍රාත්වරයා විත්තිකාර හිටපු ක්‍රීඩා ඇමැතිවරයාට අධිකරණය විසින් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරමින් ඔහු එම නඩුවෙන් මුදා හැරිණ.

වර්ෂ 2014 සැප්තැම්බර් මස ක්‍රීඩා ඇමැතිවරයාව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකා සතොස ආයතනයේ එවකට සභාපති නලින් රුවන්ජීව ප්‍රනාන්දු නමැති අයට දුරකථන ඇමතුමක් දී තෝරාගත් පාසල් හා ක්‍රීඩා සංගම්වල‍ට ලබා දීම සඳහා කැරම් බෝඩ් 14000ක් හා දාම් බෝඩ් 11000ක් ආනයනය කරන ලෙසට වාචිකව උපදෙස් දුන් බවත් පුද්ගලික ලේකම් නිමාලි යන අය ද කැඳවා උපදෙස් දුන් බවට පැමිණිල්ලේ සඳහන්ය.

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව වාචික උපදෙස් මත සතොස ආයතනයෙන් ආනයනය කරන ලද භාණ්ඩ මාබිම පිහිටි පුද්ගලික ගබඩාවක ගබඩා කර දේශපාලන කටයුතු කළ බවට පැමිණිලෙන් චෝදනා කර තිබේ.

නො 70/3/1 කිංසි පාර, කොළඹ 7 පදිංචි මීතලාවේ මහින්දානන්ද අලුත්ගමගේ හා නො 489, දඩුගම, ජා ඇළ පදිංචි එවකට සතොස සභාපති නච්චිකඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙසේ නඩු පවරා තිබිණ.

නඩුව යළි කැඳවීම මාර්තු දෙවැනි දිනට කල් තැබිණ. 

නව අදහස දක්වන්න