අසරණ අම්මටයි-දුවටයි පිහිටක් වෙන්න හැකිනම් පිනක් | දිනමිණ

අසරණ අම්මටයි-දුවටයි පිහිටක් වෙන්න හැකිනම් පිනක්

 ගලේවෙල පදිංචි අසරණ මවක් සිය දියණියගේ අධ්‍යාපන කටයුතුවලට පරිත්‍යාගශීලින්ගෙන් උපකාර බලාපොරොත්තු වන්නීය .ඇය ගලේවෙල අලුත්වැව පදංචි ජේ.ඒ.ඩී.චාන්දනී ජයලත්ය.ඇයගේ සැමියා වකුගඩු රෝගය වැළදී මීට වසරකට පෙර මියගොස් ඇත.දහසකුත් එකක් අගහිගකම් මැද්දේ 16 හැවිරිදි තම එකම දියණිය සමඟ මේ මව කටුමැටි ගෙයක ජීවිතය ජය ගැනීමේ අරගලයක යෙදී සිටින්නීය.කුමන බාධක පැමිණියත් තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබා දීම මේ මවගේ එකම අරමුණයි.

ඇය මෙසේ පැවැසුවාය. සැමියා මියගිය පසු මමත් දුවත් ජීවත් වන්නේ අමාරුවෙන්.දුව මේ වසරේ අ.පො.ස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිිනවා.මෙතෙක් කල් මම කුලී වැඩ කර ජීවත් වූවත් වැටිලා අතක් පණ නැති වීම නිසා එ් ආදායමත් දැන් නෑ.මගේ පපුවේ සිදුරක් තිබෙනවා. ඊට ප්‍රතිකාර ගැනීමට කුරුණෑගල රෝහලට යාමට අවශ්‍යයි.මුදල් නැති නිසා ප්‍රතිකාර ලබන්නේ නෑ.එ් නිසා දුව අමතර පන්ති යන්නෙත් නෑ.අපිට ලැබෙන එකම ආදායම සමෘද්ධියෙන් ලැබෙන 2500 පමණයි.පසුගිය දිනක ගලේවෙල පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් පැමිණ දුවට පාසල් උපකරණ කීපයක් තෑගි දී ගියා.එ් මහත්වරුන්ට ගොඩක් පිං.මගේ දුව පාසල් යන්නේ කිලෝ මීටර් 2ක් පමණ දුර කැලෑ පාරක් ඔස්සේ .එ් නිසා මම ඇයගේ තනියට යනවා.මගේ අනාගත බලාපොරොත්තුව මේ දුක් කරදර මැද වුවත් දුවට හොඳ අධ්‍යාපනයක් ලබාදී යහපත් පුරවැසියෙකු කිරීමයි.මගේ අසනීප තත්ත්වය එ් සඳහා කෙසේ ප්‍රතිචාර දක්වයිද කියා කිව නොහැකියි.අපේ දුක්බර ජීවිතය ජය ගැනීම සඳහා ඔබට දායක විය හැකිනම් ලොකු පිනක් .

සටහන සහ ඡායාරූප
ගලේවෙල මධ්‍යම සමුහ පී.ජී. ගුණතිලක 

නව අදහස දක්වන්න